වයස වැඩි කරන ඩාක් සර්කල්ස්
වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම රූපලාවණ්‍ය ගැටළුවක් වන්නේ මුහුණේ ඩාක් සර්කල්ස් ඇතිවීමයි. මේවා බොහෝ විට ඇස් වටා සහ ඇස් යට ඇතිවිය හැකියි. මෙලෙස ඇතිවන ඩාක් සර්කල්ස් මඟින් ඔබගේ තරුණ පෙනුමට හානිවිය හැකියි. එමෙන්ම වයසේ ප්‍රමාණයට වඩා වැඩි පෙනුමක් මේ නිසා ඇති විය හැකියි. ඇස් යට සහ ඇස් වටා ඇතිවන ඩාක් සර්කල්ස් සහමුලින්ම ඉවත් කිරීම අපහසු වුවත් රූපලාවණ්‍ය සත්කාර සමඟ ජීවන රටාවේ යහපත් වෙනස්කම් ඇති කර ගැනීම මඟින් මෙම තත්ත්වය අවම කරගත හැකි වේ. මේ සටහන ඒ පිළිබඳවයි.
- මෙම ඩාක් සර්කල්ස් බොහෝ දෙනාට පරම්පරාවෙන් පරම්පරාවට එන තත්ත්වයක් වශයෙන්ද හැඳින්විය හැකියි.
- එමෙන්ම වයස්ගත වීමත් සමඟද මෙම තත්ත්වය ඇතිවිය හැකියි.
- කාර්යබහුල ජීවන රටාවත් සමඟ විවේකයක් නොමැති වීම නිසාද මෙම ඩාක් සර්කල්ස් ඇතිවිය හැකියි.
- එමෙන්ම ස්වභාවිකවම සමේ පැහැය අඳුරු අයගේ කැපී පෙනෙන ලෙස මෙම කළු ලප කැළැල් ඇතිවිය හැකියි.
මෙහිදී ඇස් වටා ඇතිවන අඳුරු පැහැය ඔබගේ සමේ වර්ණයට අනුව විවිධ විය හැකියි. එනම් ඇතැම් අයගේ ඇස් යට සහ ඇස් වටා නිල් පැහැයට හුරු අඳුරු බවක්ද, අළු පැහැයට හුරු අඳුරු බවක්ද, කළු පැහැයට හුරු අඳුරු බවක්ද දැකගත හැකි වේ. වයස ගත වීමේදී ඇස් යට පවතින සම ක්‍රමයෙන් තුනී බවට පත්වේ. මේ නිසා ඇස් යට පවතින රුධිර නාල පෙනීමට පටන්ගන්නා අතර එයින් ඇස් යට අඳුරු වී ඇති බවක් පෙනෙයි.
- ඇල්කොහොල් ප්‍රමාණය වැඩි වූ විටද අඳුරු ලප කැළැල් ඇතිවිය හැකියි.
- එමෙන්ම සැලකිය යුතු කාලයක් නිදිවර්ජිතව සිටින විටද මෙම තත්ත්වය ඔබට ඇතිවිය හැකියි.
- ඔබගේ දෛනික කාර්යයන් වලදී නිරන්තරයෙන් ඔබ අධික හිරු රශ්මියට නිරාවරණය වනවා ඇති. එහිදී එන අහිතකර කිරණ නිසා සමට ආසාදන තත්ත්වයන් ඇති විය හැකියි. එවිට ද මුහුණේ අඳුරු පැල්ලම් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතී.
එහිදී සිදු වන්නේ මෙලනින් වර්ණකය ඉහළ යාම නිසා හයිපර් පිග්මන්ටේෂන් ඇති වී සමෙහි අඳුරු පැහැ ලප මතු වීමයි.
මෙම තත්ත්වය මග හරවා ගැනීමට
- දෛනිකව අවශ්‍ය වතුර ප්‍රමාණය ශරීරයට ලබා දීම කළ යුතුමය. එහිදී වතුර ලීටර තුනක් හෝ හතරක් පානයට ගැනීම ඉතා වැදගත් වේ.
- එමෙන්ම පැය 6-8 පමණ කාලයක් සුවදායී නින්දක් සඳහා වෙන් කිරීමද ඉතා වැදගත් වේ. එහිදී ඉතා සුවපහසු කොට්ට දෙකක් භාවිත කිරීමෙන් ඇස් යට රුධිර නාළිකා වලට රුධිර ගමනාගමනය නිසිපරිදි ලැබී, ඇස් වටා ඉදිමුම වැනි ස්වභාවය අවම කරගත හැකියි.
ඇස් වටා ඇති අඳුරු පැහැය නැති කරගැනීමට.
- මේස හැන්දක් ගෙන ෆ්‍රිජ් එකේ තබා එය හොඳින් සිසිල් වූ පසු ඇස් වටා සෙමෙන් තබන්න.
- පිපිඤ්ඤා පෙති කපා ඇස් වටා තැබීමද ඉතා ගුණදායක වේ. එහි ඉහළ මට්ටමින් ජලය සහ විටමින් අන්තර්ගත වන නිසා ඇස් වටා අඳුරු පැහැය නැති කිරීමට හැකියාවක් පවතී.
- තේ සකස් කරගැනීමට ඔබ විසින් භාවිත කරනු ලබන ටී බෑග්ස් ෆ්‍රිජ් එකේ මද වේලාවක් තබා ඇස්වටා සම්බාහනය සඳහා යොදා ගැනීමද යෝග්‍ය වේ. එහි පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය සමට උරාගන්නා අතර කැෆේන් මඟින් රුධිර ගමනාගමනය නිසිලෙස සිදු වේ.
- බ්ලැක් කොෆී වලට මී පැණි සහ දෙහි බින්දුවක් කලවම් කර ඇස් වටා ආලේප කර තැබීමද ඉතා සුදුසු වේ.
මීට අමතරව ඩාක් සර්කල්ස් නැති කිරීම සඳහා රූපලාවණ්‍යාගාර වලින් සිදු කිරීමට බොහෝ සත්කාර පවතී. එහිදී ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් භාවිත කර අඳුරු පැහැ ස්වභාවය ඉවත් කිරීම සිදු වේ. ලේසර් ප්‍රතිකාර මඟින් ද අඳුරු පැහැය ඉවත් කරගත හැකියි. ඒවා නිලලත් රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ උපදෙස් සහිතව සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.
සටහන: විශ්වනී හසලා
උපදෙස්: ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ශනිත් ප්‍රනාන්දු
Leave a comment