දේපළ ලිව්වේ හොඳ සිහියෙන්ද?

 

ලිව්වට පස්සේ වෙනස් කරන්න බැරිද?

 

පුද්ගලයෙකුගේ බලපෑමකට යටත් වී හෝ තර්ජනයකට යටත්ව, හෝ බියවද්දා අත්සන් ගෙන ඇත්නම්, එම බලපෑමෙන් තමන් නිදහස් වූ වහාම ඒ සම්බන්ධයෙන් පොලිසියට හෝ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කර නඩු පැවරිය හැකිය.

 

දේපළ බෙදා හදාගැනීමේ ගැටලුවලදී හුඟක් දෙනෙක්ට සහෝදරකම්, මවුපිය බැඳීම්, හිතවත්කම් අමතක වන්නේ නිරායාසයෙනි. තමන්ගේ මවුපියන්ට සහෝදරයින්ට අසීමිතව ආදරය කරන, යුතුකම් ඉටුකරන වැඩි දෙනෙක් අතර, අවසානයේ ඔවුන්ව නොසලකා හරින තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන පිරිස් ද නැතිවා නොවේ. ඒ නිසාම අපේ සමාජයේ හුඟක් දරුවන් තමන්ගේ මවුපියන් ලෙඩ ඇඳේ සිටියදී ඔවුන්ට සැලකීම කෙසේ වෙතත් ඔවුන්ට හිමි වත්කම්, දේපළ බෙදා හදාගැනීමේ සටන්වල නියැළීමට අමතක කරන්නේ නැත. මවුපියන්ට, සහෝදරයින්ට පමණක් නොව පවුලේ දේපළ ඉඩ කඩම් සම්බන්ධයෙන් ඕනෑ තරම් විවිධ වංචනික ක්‍රියා සිදුවන අවස්ථා තිබේ. විශේෂයෙන් අසනීපව හෝ ලෙඩ ඇඳක සිටියදී, එසේත් නැතිනම් පියවි සිහිය නොමැති තැනැත්තකුගේ දේපළක් තවත් කෙනකුට වංචනික ලෙස පවරා ගත හැකිද? එසේ සිදුකර ඇත්නම් එහි නීතීමය රාමුව කුමක්ද? මේ ඒ පිළිබඳ නීතිමය තත්ත්වයයි. 

 


ඔප්පුවක් ලියනවා කියන්නේ මොකක්ද? 
ඔප්පුවක් ලියා සහතික කරනවා යනු යම්කිසි කෙනකුගේ දේපළක් සම්බන්ධව සකස් කරගන්නා ලේඛනයයි. එම දේපළ පැවරීමක්, බදු දීමක් අන්තිම කැමති පත්‍රයක්, උකස්කිරීමක් යන ඕනෑම අවස්ථාවකදී මේ දේපළ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් ලේඛනයක් සකස් කරගත යුතුය. විශේෂයෙන් මෙවැනි ලේඛනයක් සකස් කර ගැනීමේදී එහි නීත්‍යනුකූලභාවය සහ කරුණුවල නිවැරදිභාවය ඉතා වැදගත් වේ.

 


උපදෙස් - නීතිඥ 
මනෝජී ගුණවර්ධන

අත්සන් කළේ අවසිහියෙන් ද? 
යම් පුද්ගලයකුගේ දේපළක් සම්බන්ධයෙන් කුමක් හෝ කටයුත්තක් කරන විට ඒ දේපළේ හිමිකරු විසින් තමන් අත්සන් තබන ලේඛනයේ තමන්ගේ දේපළ සම්බන්ධව තමන් විසින් ගන්නා තීරණය කුමක්ද යන්න පිළිබඳ නිවැරදි අවබෝධයක්, දැනුමක් තේරුමක් නැතිව අත්සන් තබනවා හෝ යම් කෙනකුගේ බලපෑමක් මත, මනා සිහිබුද්ධියකින් තොරව අත්සන් තබනවා නම්, ඒ ලේඛනයේ ඇති නීත්‍යනුකූලබව පිළිබඳව ගැටලුවක් පැන නගී.
උදාහරණයක් ලෙස කියනවා නම් තමන්ට අක්කර ගණනක තේ ඉඩමක් තිබෙනවා යැයි සිතන්න. තමන්ට හිමි ඒ තේ ඉඩම සැමියාට, දරුවෙකුට, සහෝදරයෙකුට හෝ තමන් කැමති පුද්ගලයෙකුට පැවරීමට තමන්ට අවශ්‍ය වී තිබේ. එම අවස්ථාවේ තමන් නීතීඥවරයෙකු මුණගැසී එනම් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලය ලත් තැනැත්තෙකු මුණගැසී තමන්ගේ දේපළෙහි සියලු විස්තර පැවසිය යුතුයි. තමන් එය ලබා දෙන්නේ මුදල්වලටද නැතිනම් ආදරය කරුණාව මුල්කරගෙනද යන්න නීතිඥවරයා සමග කතා කළ යුතුය. ඉන්පසු එයට අවශ්‍ය සියලුම ලිපි ලේඛන සකස් කළ පසුව තමන් හොඳ සිහිබුද්ධියකින්  යුතුව නැවත ලේඛනය කියවා නීතිඥවරයා හෝ නොතාරිස්වරයා ඉදිරියේ අත්සන් තැබිය යුතුය. එවිට නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින්නේ නැත.


එහෙත් එය සිදුවන්නේ තමන්ගේ අකමැත්තෙන් හෝ, අයුතු බලපෑමක්, තර්ජනයක්, ජීවිත අවදානමක්, නැතිනම් පවුලේ අයෙකුට කරදරයක් සිදුකරයි යන අනියත බියකින් නම්, එසේත් නැතිනම් ඒ පිළිබඳ නීතිඥවරයෙකුගේ හෝ නොතාරිස්වරයෙකුගේ පැහැදිලි කිරීමක් ඉදිරියේ නොමැතිව වෙනම අත්සන් කළේ නම් එහි නීත්‍යනුකූලබව පිළිබඳ ඕනෑම මොහොතක අධිකරණයේදී ප්‍රශ්න කළ හැකිය.


විශේෂයෙන් නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු ලේඛනය සම්බන්ධ සියලු තොරතුරු අත්සන් කරන පුද්ගලයාට එය අත්සන් තැබීමට පෙර පැහැදිලි කරන අතර, එවැනි කිසිදු පැහැදිලි කිරීමක්, අනුදැනුමක් නැතිව වෙනත් පාර්ශ්වයක් ඉදිරියේ අත්සන් නොකළ යුතුය. එම ලේඛනයේ ඇති කරුණු මොනවාද යන්න පැහැදිලි කිරීම නීතිඥවරයාගේ භාරදූර කාර්යයක් වේ. එසේ තේරුම් කරන අවස්ථාවේ තමන් අසනීපව හෝ රෝහල්ගතව සිටියේ නම්, යමක් කියෙව්වාට තේරුම්ගත නොහැකි රෝගී තත්ත්වයකින් හෝ අබලදුබල තත්ත්වයකින් සිටියේ නම්, යම් අවස්ථාවක ඒ පිළිබඳ අධිකරණයේ දී ප්‍රශ්න කළ හැකිය. එනම් ලියවිල්ල අත්සන් කරන මොහොතේ තමන් සිටියේ රෝහල්ගතව හෝ අසනීපයෙන් බව ඔප්පු කරගත හැකි වුවහොත් ලියවිල්ලේ නීත්‍යනුකූලබව පිළිබඳ නැවතත් ගැටලුවක් මතු වේ.

 


නීති රීති වෙනස්වෙලා 
මෑතකාලීනව මෙම නීති පද්ධතියේ බොහෝ වෙනස්කම්ද සිදු වී තිබේ. එනම් විකිණුම් කර ඔප්පුවකින් යම් දේපළක් විකුණනවා නම් හෝ තෑගි ඔප්පුවකින් තවත් කෙනකුට දේපළක් පවරනවා නම්, පැරණික්‍රමයට එය සිදු කළ නොහැකිය. එය අලුත් නීති පද්ධතියේ නව සංශෝධනයන්ට අනුව අදාළ පාර්ශ්වය ඇඟිලි සලකුණු තැබිය යුතුය. යම් කෙනකුට වම් අතේ ඇඟිලි සලකුණු තැබිය නොහැකි නම් දකුණු අතේ ඇඟිලි සලකුණු තැබිය යුතුය. නැතිනම් පාදයේ හෝ ඇඟිලි සලකුණක් තැබිය යුතුව ඇත. ඊට අමතරව අලුත් සංශෝධන යටතේ ඡායාරූපයක්ද ඇලවිය යුතු වේ. එනම් විකුණන පුද්ගලයාගේ සහ ගන්නා තැනැත්තා යන දෙදෙනාගේම ඡායාරූප ඇලවිය යුතුය. එම ඡායාරූප අදාල පුද්ගලයාගෙමද යන බවට නීතිඥවරයා සහතික කළ යුතුව ඇත. 


විශේෂයෙන් මෙහිදී පුද්ගලයෙකුගේ බලපෑමකට යටත් වී හෝ තර්ජනයකට යටත්ව, හෝ බියවද්දා අත්සන් ගෙන ඇත්නම්, එම බලපෑමෙන් තමන් නිදහස් වූ වහාම ඒ සම්බන්ධයෙන් පොලිසියට හෝ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කර නඩු පැවරීමට කටයුතු කළ හැකිය. එමෙන්ම අත්සන් කරන්නා මනා සිහිබුද්ධියෙන් සිටින අයෙකු නොවේ නම් හෝ රෝගී වී සිටින පුද්ගලයෙකු නම් එවැනි තැනැත්තකුගෙන් වංචනික ලෙස අත්සන් ලබාගත්තා නම්, එම නීතිඥවරයාටද වෘත්තීය ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමට අවස්ථාව සිදුවිය හැකිය. එම නිසා යම් පුද්ගලයෙකු අසරණව රෝගීව සිටින මොහොතක අයිති කරගන්නා දේපළක් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක නීති මඟට යොමුවීමේ අවස්ථාව ඇතිබව දැන සිටින්න. 

සටහන - නයනා උදයංගනී   


              

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු Read Next

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු

Realted Post

Leave a comment