හොඳ නරක දෙකම ඇති ඊර්ෂ්‍යාව

ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක් නැතිවේවි 

 

ඊර්ෂ්‍යාව කියන්නේත් දුක, තරහාව, බිය වගේම මනසේ ඇතිවෙන ස්වාභාවික හැඟීමකි. මෙහිදී තමන්ට වැදගත් යැයි තමන් සිතන යම් දෙයක් වෙනත් කෙනෙකුට අයත් වනු දැකීමට ඇති නොකැමැත්තක් හිතේ ඇති වේ. ඒ නිසාම ක්ෂණික හා අවදානම් තීරණ ගැනීමට, අනතුරක් කිරීමට, සබඳතා පළුදුවීමට ඉඩ තිබේ. අනෙක් සෑම හැඟීමක් වගේම මෙයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව පෙන්නුම් කරන නමුත් ඊර්ෂ්‍යාව සිතට සුවපහසු හැඟීමක් නොවේ.

 


ඊර්ෂ්‍යාව නරක දෙයක්ද?
පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ මෙය සෑමවිටම ‘නරක’ දෙයක් නොවන බවයි. අලුත් යහළුවෙකු සම්බන්ධවීම නිසා තම යහළුවෙකු දුරස්ථ වන බව දැනෙන විට තම යහළුකම ආරක්ෂා කර ගැනීමට  සහ පවත්වාගෙන යාමට එය උදව් වනු ඇත. සෑම කෙනෙකුම ජීවිතයේ යම් අවස්ථාවලදී ඊර්ෂ්‍යාවක් දැනීම ස්වාභාවිකය. 


ඊර්ෂ්‍යාව බොහෝ විට ආදර සබඳතාවලදී පමණක් ඇති වෙන දෙයක් ලෙස සිතුණද, තමන් සමග සේවය කරන අය, පන්තියේ ළමයින්, යහළුවන් හා පවුලේ අය සමග පවත්වන සබඳතාවලදීත් ඊර්ෂ්‍යාව ඇති විය හැකිය.
ඊර්ෂ්‍යාව ඇති විය හැකි හේතු අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් විය හැකිය. එහෙත් එහිදී ඇතිවෙන හැඟීම් සෑමදෙනාටම පොදුය. ඒ තමන් අගය කරන දෙයක් වෙනත් කෙනෙකු නිසා තමන්ට අහිමි වේය යන හැඟීමයි.

 


ඊර්ෂ්‍යාව ඇතිවෙන්නේ ඇයි?
පර්යේෂණ මගින් සොයා ගෙන ඇත්තේ තමන්ගේ වටිනාකම අඩුවෙන් දැනෙන විට වැඩිපුර ඊර්ෂ්‍යාව දැනෙන බවයි. ඒවාගේම අන් අය සමග තමන්ව සන්සන්දනය කිරීමට පෙලඹීම ඊර්ෂ්‍යාව වැඩියෙන් දැනෙන්නට ප්‍රධාන හේතුවක් වෙයි. ඒවාගේම තමන් තමන්වම විවේචනය කර ගැනීම තවත් හේතුවක් වෙයි. 

 


ඊර්ෂ්‍යාව දැනෙන්නේ කොහොමද?
ඔබ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නේ නම් ,
* අන් අයගේ ජයග්‍රහණයක් සැමරීමට එකතු නොවේ.
* ඔබට ඊර්ෂ්‍යාවක් ඇති කළ පුද්ගලයා වෙත ඔබ සෘණාත්මක හැසිරීමක් පෙන්නුම් කරයි.
* ඒ පුද්ගලයා ගණන් නොගන්නා ආකාරයට හැසිරෙයි
* නුරුස්සනා සුළුබවක් පෙන්නුම් කරයි.
* ඕනෑකමින් එම පුද්ගලයා මඟහැරීමට පටන් ගනී.
* එම පුද්ගලයා නිතරම විවේචනය කිරීමට පෙලඹෙයි.
පවුලක කුඩා දරුවන් තුළ අනෙක් දරුවා කෙරෙහි ඇතිවෙන ඊර්ෂ්‍යාවේදී ඔවුන් වැඩිපුර කරදර කිරීම, මවුපියන්ගේ ඇඟේ එල්ලී සිටීම වැනි දේ පෙන්නුම් කරයි.

 


ඊර්ෂ්‍යාවට දක්වන ප්‍රතිචාර
මෙහිදී අප දක්වන මූලික ප්‍රතිචාරය ඉබේම සිදු වන්නකි. මෙහිදී මානසිකව හා කායික බලපෑම් අප තුළ ඇති වේ. ඒවා දුක, තරහව, බලාපොරොත්තු සුන් වූ බව, තමා නොවටිනා කෙනෙකුබව දැනීම වැනි මානසික බලපෑම් විය හැකිය.


එසේම හැඬීම, නාඩි වැටීමේ වේගය වැඩි වීම, දහඩිය දැමීම, වෙව්ලීම වැනි කායික වෙනස්කම්ද ඇති විය හැකි ය.
මේවා ස්වාභාවික ප්‍රතිචාර වන අතර මෙහි බලපෑම බොහෝ දුරට ඇති වන්නේ එම පුද්ගලයාට පමණක් වේ. 


ඔබට ඇති වූ ඊර්ෂ්‍යාකාරී හැඟීම පිටතට පෙනෙන ආකාරය ඔබ දෙවනුව දක්වන ප්‍රතිචාරයයි. එය බැණවැදීමක්, වාද විවාදවලට පැටලීමක්, නොසලකා හැරීමක්, විවේචනය කිරීමක් විය හැකි ය. 
ඊර්ෂ්‍යාවක් ඇතිවීම යනු සුවදායක හැඟීමක් නොවේ. එසේ වුවත් අපට ඊර්ෂ්‍යාවක් සිතට ඒම වළක්වා ගත නොහැක. ගැටලුව නම් වරින් වර අපේ සිතට ඊර්ෂ්‍යාව ඇතුළුවීම නොව එය හරි හැටි කළමනාකරණය කර නොගතහොත් අපට හා අන් අයට බලපෑමක් ඇතිවීමයි. ඒ නිසා ඊර්ෂ්‍යාව සමඟ සෞඛ්‍යමත්, යහපත් ආකාරයට ගනුදෙනු කිරීමට පුරුදු පුහුණු වීමෙන් අන්තර්පුද්ගල සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, රාජකාරී හා පෞද්ගලික ජීවිතය සතුටින් ගත කිරීමටත් ඉඩ සැලසෙයි.

 


කළ යුත්තේ කුමක්ද?
* ඊර්ෂ්‍යාකාරී හැඟීම්වලට මූලික වූ දේ ගැන සොයා බලන්න.
තමන්ට ඊර්ෂ්‍යාව ඇති කළේ වෙනත් කෙනෙකුගේ ක්‍රියාවක්ද, නැතහොත් තමා තුළම තමන් ගැන ඇති වූ අවතක්සේරුවක්/වටිනාකම අඩු බවක් දැනීමද? එසේ නැත්නම් තමාට අතීතයේ සිදු වූ සිදුවීමක්ද? ඒ නිසා අප තුළම ඇති, අප විසින්ම විසඳාගත යුතු ගැටලු නිසා ඊර්ෂ්‍යාව හටගෙන ඇත්දැයි විමසා බලන්න. 


* සමාජ මාධ්‍යවල (මුහුණු පොතේ ආදිය) සැරිසරන කාලය සීමා කරන්න. ඔබ අන් අයගේ තොරතුරුවලට කිඳා බැස සිටින විය ඔබට වඩා අන් අය සම්පූර්ණ, හොඳ ජීවිත ගත කරන බව සිතෙනු ඇති. සමාජ මාධ්‍යවල පෙන්වන ප්‍රතිරූපය සමහර විට ඔවුන්ගේ සැබෑ තත්ත්වයෙන් වෙනස් විය හැකිය. 


* ඔබගේ විනෝදාංශ හා කාර්යයන් සමග කාර්යබහුල වෙන්න.
ඔබ ඔබේ ජීවිතය වින්දනය කරන විට ඔබට අනුන් කරන දේ ගැන සෙවීමට හා ඒ ගැන ඊර්ෂ්‍යා සිතීමට කාලයක් නොමැති වනු ඇත.

සුබෝධිනී පෙරේරා 


 

දඟකාරියන්ට කදිම ගවුමක් Read Previous

දඟකාරියන්ට කදිම ගවුමක්

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Next

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

Realted Post

Leave a comment