අවුරුදු සිරිත් විරිත් කියන්නේ මනස්ගාත ද ?

අලුත් අවුරුද්ද කියන්නෙම සිරිත් විරිත් හා බැඳුනු මහා මෞලි මංගල්‍යක්. සිරිකත Online  අද මේ සටහන ඒ පිළිබදව. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය කල්‍යාණි විජේසුන්දර මහත්මිය අප සමඟ ඒ පිළිබදව සිදු කළ සංවාද සටහනකි මේ. 

 

ජ්‍යෝතිෂයට අනුව සිංහල, හින්දු අලුත් අවුරුද්ද කියල අදහස් කරන්නේ මොකක්ද?
ඇත්තටම අලුත් අවුරුද්ද කියන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීම. අවුරුද්ද ගැන කතා කරද්දි අපිට මුලින්ම මතක් වෙන්නේ ජ්‍යොතිෂය. අපි දන්නවා අපි ජීවත්වන පෘථිවියට සාපේක්ෂ අවකාශය වෘත්තකාරයි කියලා. මේ අංශක 360ක් වන වෘත්තය අංශක තිහ බැගින් සමාන කොටස් දොළහකට බෙදිලා තියෙනවා. ඒ කොටස් දොළහ තමයි ජ්‍යොතිෂය පදනම් කරගෙන රාශි එහෙමත් නැත්තම් ලග්න දොළහක් විදිහට ව්‍යවහාර කරන්නෙ. මේ 12 පිළිවෙළින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන යන නම්වලින් හඳුන්වනවා. මේ රාශි දොළහ සූර්‍යා වටේ ගමන් කරන්න දවස් 365ක් ගත වෙනවා. 

රාශි දොළහ පිළිවෙළින් ගත්තම අපට පේනවා අවසාන රාශිය තමයි මීන. ඒක ඉවර වුණාම ආයෙම අලුතින් මේෂ රාශියෙන් පටන් ගන්නව. අවුරුද්ද කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම කියල සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ මේ සිදුවීමයි.


මීන රාශිය ඉවර වුණාම මේෂ රාශියට යනවා. අලුතින් වක්‍රයක් ආරම්භ වෙනවා.. මේ ගමන් කිරීම තමයි අවුරුද්ද. ඉතින් අවුරුද්දක් එක්ක අපට ඇහෙනව ‘සංක්‍රාන්ති’ කියන වචනය.. මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසීම සූර්ය සංක්‍රාන්තිය ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වනව. ඒ අතර කාලය සංක්‍රාන්තිය. ඒ කියන්නේ සූර්යයා ඊළඟ වර්ෂය ආරම්භ කිරීමට තබන පියවරක් වශයෙන් සැලකෙන මෙම රාශි මාරුව සඳහා ගතවන කාලය. ‘නොනගතය’ කියලත් කියන මේ කාලය පැය 12 මිනිත්තු 48කි.  

 

නොනගතය කියන්නෙ මොකක්ද?
‘නොනගතය’ පිළිබද විවිධ අදහස් අපට ඇහෙනවා. පුංචි කාලෙදි ඇහිල තියෙනවා වැඩිහිටියො කියනවා. ‘නැකැත් නැති වෙලාව” නොනගතය කියලා. අදත් ඒ විදියටම භාවිත කරන බව දකින්න තියෙනවා. ඒත් නැකැත් 27ක් තියෙනවා. හැම වෙලාවෙම නැකතක් උදාවෙනවා නිමාවෙනවා. මේක ස්වභාවික ක්‍රියාවලියකි. හැම තත්පරයකදීම මොකක් හරි නැකතක් තියෙනවා. මෙහෙම කියන අය කියනව ‘නොනගතය කියන්නෙ සුබ නැකැත් නැති වේලාව’ කියල. මේ පිළිබඳ වුණත් පොදු එකඟතාවක් නැහැ.  

කුරුණෑගල උයන්දන පාරම්පරික ජ්‍යොතිෂවේදී එච්.එම්.ටී.බී. හේරත් මහතා මේ පිළිබඳ දක්වන්නෙ මේ වගේ අදහසක් නොනගත කියන වචනය ගැන කතා කරද්දි මුල්කාලීන බ්‍රාහ්මී ලෙන්ලිපිවල තියෙන ‘අගත අනගත’ කියන වචන වැදගත් වෙනවා. ‘අගත අනගත චතුදිශ ශගශ දිනෙ’ යන පාඨයෙන් කියැවෙන්නේ චතුදිශ (සතර දෙසින්) අගත (පැමිණි) අනගත (නොපැමිණි) ශගශ (සංඝයා වහන්සේට) දිනෙ (පූජා කරමි) යන්නයි. මේ අනුව නොනගතය යනු නො+අගත+අනගත යන පද ඇසුරින් නිර්මාණය වූ වචනයක් බවත් එහි තේරුම වන්නේ ‘පැමිණියේත් නැති නොපැමිණියේත් නැති’ යන්න බවත් පැහැදිලි බව.

නොනගතයේ පූර්ව භාගය ‘පුණ්‍ය කාලය’ යනුවෙන් හඳුන්වනවා. නොනගතය වෙලාවේ සියලු වැඩ නතර කරන්න අවශ්‍යයි. ඒකෙන් අදහස් වෙන්නේ අවුරුද්දකට වතාවක්වත් අපි කරන වැඩ නවත්වලා නිදහසේ ඉඳලා ආපහු අලුතෙන් වැඩ පටන්ගන්න අවශ්‍යයි කියන එක. අවුරුදු චාරිත්‍ර සකස් වෙලා තියෙන්නෙම මිනිස්සුන්ට අලුතින් ජීවිතය පටන් ගන්න. අවුරුද්දට වැඩ පටන් ගන්න හොඳ නැකතක් උදා වෙනකම් මේ පුණ්‍ය කාලයෙදි ආගමික වැඩ කටයුතුවල යෙදෙන්න පුළුවන්. මේ දේවල් වලින් මිනිසා අලුත් ජීවිතයකට සූදානම් කරවනවා.


 අලුත් අවුරුද්ද උදාවීම සහ ඒ හා සම්බන්ද සිරිත් විරිත්, කෑම බීම ආදිය ගැන සරලව කිවුවොත් ?
සොබාදහම අවුරුදු උදාව පිළිබඳ සංඥා නිකුත් කරනවා. ආසියානු කොවුලා, කොහා එහෙමත් නැත්තම් කෝකිලයාගේ නාදය මේ කාලයෙහි ඇහෙනවා. නගරබද පරිසරයකට වඩා ගම්බද පරිසරයේ මේ හඬ අහන්න පුළුවන්. කොහා කියන්නේ අපේ රටට ආවේණික පක්ෂියෙක් නෙවෙයි. මාර්තු, අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටවලට එන සංක්‍රමණික කුරුල්ලෙකි. මේ කුරුල්ලගේ ‘කුහු කුහූ‘ නාදය අලුත් අවුරුද්ද ළඟ බව කියනවා. සාමාන්‍යයෙන් මාර්තු, අප්‍රේල්, මැයි මාස වෙද්දි ඒ කියන්නේ වසන්ත කාලයට ගස් වැල් මල් ඵල බර වෙනවා. අප්‍රේල් මාසයට පිපෙන විශේෂ මල් වර්ගයක් තමයි එරබදු මල්. ජම්බු ගස් රතුපාටින් වැහිල යන්නේ කජු ගස් කජු පුහුලමින් අලංකාර වෙන්නෙ මේ කාලෙදි.

නව සඳ බැලීම, පරණ අවුරුද්දේ සඳහා ස්නානය කිරීම, ලිප ගිනි මෙළවීම, කෑම පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම සහ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අවුරුදු චාරිත්‍ර කියල හඳුන්වනවා. මේ චාරිත්‍රවලින් පස්සේ පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම වාගේ අවුරුදු ක්‍රීඩාවල යෙදෙනවා. ගොඩක් වෙලාවට නාගරික පරිසරයටය වඩා ගැමි පරිසරයේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දකින්න පුළුවන්.

 

 ඔබ සඳහන් කළ අලුත් අවුරුදු උත්සව අතීතයේ සිටම පැවතුණ දෙයක්ද?
අතීතයේ අවුරුදු උත්සව පැවැත්වුණේ නැහැ .නමුත් වර්තමානය වෙද්දි ගම්වැසියන් එකතු වෙලා එළිමහනේ අවුරුදු උත්සව පවත්වනවා. කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම, කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වගේ තරඟ  විශේෂයි. කණා මුට්ටිය බිදීම සහ අන්ධයාට කිරි කැවීමත් අවුරුදු උත්සවවල දකින්න තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව එක් ඇසක් නොපෙනෙන පුද්ගලයා කණා යනුවෙන්ද ඇස් දෙකම නොපෙනන පුද්ගලයා ‘අන්ධයා” යනුවෙන්ද ව්‍යවහාර වුණත් අවුරුදු උත්සවයේදී ඇස් දෙකම නොපෙනෙන ලෙස ඇස් ආවරණය කළ තැනැත්තාද මුට්ටිය බිදීමේදී ‘කණා මුට්ටිය බිදීම” කියලයි කියන්නේ. ඒ පුද්ගලයාම ඇස් දෙක නොපෙනෙන සේ ආවරණය කරගෙන කිරි කැවීමේ තරගයට සම්බන්ධ වීමේදී ‘අන්ධයාට කිරි කැවීම” තරගයේ තරගකරුවෙකි. මේ වගේ විශේෂ තැන් අවුරුදුවලටම ආවේණිකයි.  කාටවත් හිංසා කිරීමට හෝ ජයග්‍රහණයෙන් උදම්වීමට හෝ අවස්ථාව මෙම අවුරුදු ක්‍රීඩාවල නැත. සාමූහික ජීවිතයේ සතුට හා සහභාගිත්වය ඒවායේ පවත්නා අගනාම සංස්කෘතික උරුමයයි.

 

 අවසාන වශයෙන් මේ අලුත් අවුරුද්දෙ ඔබ තබන අලුත් අවුරුදු පණිවිඩය මොකක්ද?
මුලින්ම සියලු දෙනාටම ලබන්නාවු අලුත් අවුරුද්ද නැවුම් සිතිවිලි වලින් යුතුවෙන අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ සේරම අතරෙ අවුරුදු සිරිත් විරිත් කියන්නේ මනස්ගාත කියල හිතන කියන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ අය අනිත් අයටත් වඩා හොඳින් අවුරුදු සිරිත් විරිත් නූලටම ඉෂ්ට කරනව වෙන්නත් පුළුවන්. ඒ වගේම අලුත් අවුරුදු චාරිත්‍ර විධි වර්තමානයේදී පාරිහානියට පත්ව ඇති බවට චෝදනා නැගෙනවා. ඒවායෙහි ඇති හරයාත්මක වටිනාකම් යටපත් වී විවිධ වාණිජ අරමුණු පෙරදැරිකරගත් අංගෝපාංග එකතු වී ඇති බවට ද චෝදනා කරන අය ඉන්නව.

ඉතින් 2023 අලුත් අවුරුද්ද උදා වෙන්නේ රටේ අතිශය අභියෝගාත්මක කාලයක. හැමෝගෙම ජීවිතවල අලුත් අරමුණු, අලුත් බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න වෙහෙස මහන්සි වෙද්දි රටක් විදිහට සමාජයක් විදිහටත් අලුත් වෙන්නෙ කොහොමද කියල හිතන එක ඉතාම වැදගත් කියල මම හිතනවා.

අපිට පේනවා තරුණ පරම්පරාවේ අලුත් පිබිදීමක් ඇතිවෙලා කියන එක. ආකල්පමය අතින් පිබිදීමක් අපට දකින්න ලැබෙනවා. ඉතිං මේ පිබිදීම හරහා තරුණ පරම්පරාවේ ආකල්ප සුබවාදී විදිහට වෙනස් වෙලා රටට වඩා යහපත් හෙට දවසක් උදාවෙයි කියල විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් හරි වටිනවා. එයයි දෙන්න පුළුවන් හොදම අවුරුදු පණිවිඩය කියල මම හිතනවා.

සටහන - ජයනි ලක්ෂිකා

MY STYLE with   ටනාෂා Read Previous

MY STYLE with ටනාෂා

ලග්න පලාඵල Read Next

ලග්න පලාඵල

Realted Post