බස්, කෝච්චි තදබද අස්සේ සිදුවෙන පිරිමින්ගේ මනමාලකම්

 

“බස්වල යනවා කියද්දිත් ඇඟ හිරි වැටෙනවා. ඉඳගෙන යන්න බැරි වුනත් හිටගෙන යන්නවත් බැරි තරම් බස්වල සෙනඟ......”

මේ දවස්වල පොදු ප්‍රවාහනය බලාපොරොත්තුවෙන් සිටින වැඩි දෙනෙක් කියන කතාවක් තමයි මේ. රටේ පවතින ඉන්ධන හිඟය සමග වෙනදාට පෞද්ගලික වාහන පාවිච්චි කළ අයගෙනුත් වැඩි දෙනෙක් දැන් පොදු ප්‍රවාහනය භාවිතා කරනවා. ඒ නිසා උදේ, දවල්, හවස වෙනසක් නැතිවම තෙරපිලයි බස්වල යන්න වෙලා තිබෙන්නේ. එහෙත් මේ මොහොතේ මෙම අපහසුතාවලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන මානසික දුර්වලතා ඇති මිනිසුන් ඔය අතර නැතුවම නොවෙයි. විශේෂයෙන් මේ දිනවල සෙනඟ පිරුණු බස්රථවල තරුණ ගැහැනු ළමයින්, කාන්තාවන් වැඩිදෙනෙක් ලිංගික හිංසනවලින් පීඩාවට පත්වෙනවා. ඒ වගේ අවස්ථාවල කාන්තාවක් විදියට ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා විරුද්ධවීමට ඔබට ඇති නීතිමය අයිතිය ගැන ඔබ දැනුවත්ද?

 

වැඩි දෙනෙක් මේ ගැන දන්නේ නෑ
ලිංගික අතවරයක් යනු ස්ත්‍රී දූෂණයක්, එහෙම නැතිනම් එවැනි අවස්ථාවකට තැත් කිරීමට උත්සාහ කිරීමක් පමණක්ම නොවෙයි. කාන්තාවක් විදියට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ දැනුවත්වීමක් ඒ ගැන තිබිය යුතුමයි. මේ දිනවල ඉන්ධන ගැටලුව නිසා පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීමේදී මහජනතාව විශාල අපහසුතාවකට ලක්වී තිබීම රහසක් නොවෙයි. ඒ අතරින් කාන්තාවන් තවත් අපහසුතාවට පත්වන්නේ මෙම තදබලය අස්සේ තමන්ගේ කායික මානසික ආශාවන් තෘප්ත කරගන්න උත්සාහ කරන පිරිසත් මේ අතර වැඩිවෙමින් පවතින නිසයි. එහෙත් ඒ ගැන සමාජය තුළ වැඩි කතාබහකට ලක් නොවෙන්නේ ඒ ගැන කතා කිරීමට කාන්තාවන් සතු අයිතිය ගැන මනා දැනුමක් ඔවුන්ට නොමැතිකම නිසයි.

 

මෙවැනි මානසික ගැටලු තිබෙන තැනැත්තන් සියයට හැත්තෑපහක්ම හිතාමතාම තමන්ගේ සිරුරේ කොටස් ස්පර්ෂ කරවීම, ලිංගික අවයව සිරුරේ ස්පර්ශ කරවීම, කාන්තාව අපහසුතාවට ලක්වන ආකාරය බලා සිටීම, සෙනඟ වැඩි වුනත් එතැනින් එහාට නොයා ඔහුට අවශ්‍ය තැන නතර වී සිටීම, සිටගෙන යාමේදි පමණක් නොව සමහර අවස්ථාවල වැඩි ඉඩකඩක් ගෙන අනෙක් පුද්ගලයා අපහසුතාවට පත්වෙන ලෙස අසුන් ගැනීම වැනි මේ ක්‍රියා සියල්ලම අයත් වන්නේ කාන්තා හිංසනයටයි. එහෙත් කාන්තාවන්ගෙන් සියයට හතරක්වත් මේ පිළිබඳ ඇති නීතිමය වටාපිටාව ගැන දැනුවත් නැහැ. එම නිසා ඒ වෙනුවෙන් හඬක් නැඟීමේ අයිතිය ඔබ සතුයි.

 

 

පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනයට බලපාන නීති
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතේ 345 වගන්තියේ මේ සඳහා නියමිත දඬුවම් අර්ථගන්වා ඇත. මෙවැනි කාන්තා හිංසනයක් සරසවියක් ඇතුළත සිදුවෙනවා නම් ඒ පුද්ගලයා වසර හතක සිර දඬුවමකට ලක් කළ හැකිය. එහෙත් පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනයක් සිදු වූ විට එහි ස්වභාවය අනුව ඒ සඳහා වසර පහක සිරදඬුවමක් හෝ දඩයක් ගෙවීමට සිදු වේ. කාන්තාවකගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ඇති මේ නීතිමය වටපිටාව නිවැරදිව දැනගෙන සිටීමෙන් ඕනෑම තැනක මෙවැනි පීඩාකාරී අවස්ථාකව කතා කිරීමට තමන් තුළ විශ්වාසයක් ඇති වේ.

 

නීතිය දැනුවත් වීම වැදගත් ඇයි?
සමහර අවස්ථාවල වැඩිහිටි කාන්තාවන් නීතිමය රාමුව දැනගෙන නොසිටියත් ඒ වෙනුවෙන් හඬක් නඟන අවස්ථා තිබේ. එහෙත් තරුණ ගැහැනු ළමයින් වැඩි දෙනෙක් මේ වගේ අවස්ථාවල බස් රථය තුළ තමන් ලැජ්ජාවට පත්වීමට සිදුවෙයි කියන අනිසි බිය නිසා මේ හිංසනය විඳගෙන නිහඬව සිටින අවස්ථා ඕනෑ තරම් තිබේ. එහෙත් එය නොකළ යුතුම දෙයකි. තමන්ගේ අකමැත්තෙන් හිතාමතාම ඔබේ සිරුර ස්පර්ශ කිරීමේ කිසිදු අයිතියක් කිසිවකුටවත් නැත. එය අපරාධයක් නිසා ඒ වෙනුවෙන් නිහඬ නොවී කතා කිරීමේ සම්පූර්ණ අයිතිය ඔබ සතුව ඇත. සමහර අවස්ථාවල මේ වගේ අසහනකාරී පුද්ගලයින් නියමිත අවස්ථා ඉලක්ක කරගනිමින් බස්රථවලට ගොඩවදින අවස්ථා ඕනෑ තරම් තිබේ. උදාහරණයක් ලෙස පාසල් අවසන් වන අවස්ථාවල, විශ්ව විද්‍යාල සිසු සිසුවියන් නිවසට යන අවස්ථා ඉලක්ක කරගෙනම ඔවුන් වාහනවලට ගොඩවදින අවස්ථා ඇත. ඔබ මේ සඳහා තිබෙන නීති වටපිටාව ගැන සම්පූර්ණයෙන් දැනුවත් වී සිටිනවා නම් බියක් සැකක් නැතිව ආත්ම විශ්වාසයෙන් වරදට විරුද්ධව කතා කිරීමට පු`ඵවන.

 

ඇයට ඔබේ සහයෝගය දෙන්න
බස් රථයක් තුළ මෙවැනි හිංසනයක් සිදුවෙන බව දැනුණොත් එය තමන්ට නොවුනත් වෙන කෙනෙකුට සිදුවුවත් ඇයට කතා කිරීමට සහයෝගයක් වෙන්න අමතක කරන්න නොකරන්න. ඕනෑම කාන්තාවක් එවැනි මොහොතක අන් අයගේ සහයෝගය වචනයකින් හෝ බලාපොරොත්තු වේ. එය ඇයට තවත් ශක්තියක් වේ.

 

 

සමාජයත් දැනුවත් වෙන්න ඕනෑ
මේ දිනවල පොදු ප්‍රවාහනයේ තදබදය අස්සේ මෙවැනි හිංසන වැඩි ප්‍රමාණයක් සිදු වුවත් එය ප්‍රසිද්ධ ලෙස කතාබහට ලක් නොවන්නේ නීතිය දක්වා එය ගමන් නොකරන නිසාත් විය හැකිය. එහෙත් දැන් ඔබ කාන්තාවක් ලෙස ඔබේ අයිතීන් ගැන දැනුවත් ඇති. මෙවැනි හිංසනයන් අවම කරගැනීමට නම් යෝජනාවක් ලෙස බස් රථ තුළ අනෙක් සිටිකර් වර්ග මෙන්ම කාන්තා හිංසනයට ඇති දඬුවම්ද ස්ටිකරයක් මඟින් හෝ ප්‍රදර්ශනය කරනවාන ම් වඩාත් සුදුසුය. එමෙන්ම ඒ ගැන රිය ධාවනය කරන පුද්ගලයා සහ කොන්දොස්තර මහතාව තදින්ම දැනුවත් කර තිබීමද වැදගත් වේ. මේ පවතින්නේ එක්කෙනකුට එක්කෙනෙක් තවත් අසරණභාවයට පත්කරගන්න අවස්ථාවක් නොවේ. මේ වන විටත් වැඩි දෙනෙක් සෑම අතින්ම මානසිකව පීඩා විඳිමින් සිටිති. එවැනි මොහොතකම තවත් කෙනෙකුගේ අසරණකම හමුවේ පිළිසරණක්වීම මනුෂ්‍යත්වයේ ඉහළම ගුණයක් බව අමතක නොකළ යුතුමය.

සටහන: නයනා උදයංගනී

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Previous

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Next

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

Realted Post