යාළුවො දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි

 

තරුණ රංගන ශිල්පිනියක් ලෙස පුංචි තිරයේ නව මාවත් සොයා යන ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවියක් මෙවර සිරිකත හැඩ කරන්න අපි සමග එකතු වෙනවා.
හැමදාමත් වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් වොල්ගා කල්පනි රසික සිත් වශී කරපු පාරදිගේ ටුටූ වගේම මාණික්කාවතේ ගුණාදරී ගැන කිව්වේ මේ විදියට.


 කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
බොහොම අසීරු කාලයක අපි හැමෝම ජීවත් වෙන්නේ. රටේ තියෙන තත්ත්වයත් එක්ක අලුතෙන් පටන් ගන්න තිබුණු නාට්‍යය කීපයක්ම දින නියමයක් නැතුවම කල් දාන්න වුණා.
ඒ එක්කම මේ දවස්වල විකාශනය වෙන සුදත් රෝහණ මහත්මාගේ මාණික්කාවත ටෙලි නාට්‍යය සහ ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ පාරදිගේ ටෙලි නාට්‍ය දෙකේ වැඩකටයුතු කරගෙන යනවා. තව මම කරගෙන යන දබකසබැ ව්‍යාපාරයේ වැඩ කටයුතුත් බොහොම අමාරුවෙන් කරගෙන යනවා.  


 අපි ඉන්නේ බොහොම තීරණාත්මක මොහොතක. කලාකාරිනියක් විදියට ඔබේ අදහස
ඇත්තටම අපි මහන්සිවෙලා නිර්මාණයක් කළත් එය හිත සතුටින් බලන්න ප්‍රේක්ෂකයන්ට මානසිකත්වයක් නැහැ. පොදුවේ අපි හැමෝම දුෂ්කරතා රැසකට මුහුණදෙමින් ඉන්න මොහොතක්. කලා කටයුත්තක් කරගන්න විදිහක් නැහැ. ඒත් මම හිතන්නේ ජීවිතේ තදින් අල්ලගෙන ඉන්නම ඕනෙ අසීරුම තැනක් මේ. අමාරුම කාලේ තමයි අපි ඉවසීමෙන් හයියට ඉන්න ඕනෑ.

 


 මාණික්කාවතේ ගුණාදරී කියන්නේ වොල්ගාව වෙනස්ම කෝණයකින් ප්‍රේක්ෂකයා අතරට ගෙනාපු චරිතයක්. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
සුදත් රෝහණ මහත්මා එක්ක වැඩ කරන්න මට කාලයක ඉඳලා ලොකු හීනයක් තිබුණා. ගුණාදරී කියන චරිතයට සුදත් රෝහණ මහත්මා කතා කළාම ඇත්තටම මම දෙපාරක් හිතුවේ නැහැ. හා කියලා කිව්වා. අවුරුදු තුනක් විතර තිස්සේ ඉඳලා මේ නිර්මාණය ගැන සාකච්ඡා කළා. මොකද විශේෂයෙන් ගුණාදරී වගේ චරිතයක් මට මීට කලින් කරන්න අවස්ථාව ලැබිලා නැහැ.

 


 තිර පිටපත ඔබේ අතට පත්වෙනකොට මාණික්කාවත පොත කියවලා තිබුණද?
මම කොහොමත් පොත් කියවන්න ආස කෙනෙක්. විශේෂයෙන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අයියා කවියෙක් විදියට මම ගොඩක් ආස කරපු චරිතයක්. චරිතයට ආරාධනා ලැබෙන්න කලින් මාණික්කාවත පොත මම එක පාරක් කියවලා තිබුණා. එදා හිතුවේ  නැහැ මේ පොත කවදාවත් ටෙලි නාට්‍යයක් වේවි කියලා.  හැබැයි මුලින්ම පොත කියවපු දවසෙත් මම ආදරය කළේ ගුණාදරීට. චරිතය ලැබුණට පස්සේ මාණික්කාවත පොත දහපාරකට වැඩිය මම කියෙව්වා.

 


 පාඨකයාගේ හිතේ ඉන්න ගුණාදරීව ප්‍රති නිර්මාණය කිරීම අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?
ඇත්තටම හිතුණා. ගුණාදරී කියන්නේ විවිධ කාලපරාස තුළ දිවෙන චරිතයක්. මම ආසයි අභියෝග භාරගන්න. ඒ නිසා මේක මට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට භාර ගත්තා. පාඨකයාගේ හිතේ ඇඳුණු ගුණාදරීට හානියක් නොවෙන්න ඒ චරිතය ප්‍රති නිර්මාණය කිරීම ඉතාම අසීරු කාර්යයක්. ඒ අභියෝගය සාර්ථකව ජයගන්න සුදත් මහත්මා, මහින්ද අයියා, උමා, ජගත් අයියා ඇතුළු කණ්ඩායම මට ලොකු සහයෝගයක් දුන්නා. ගුණාදරීට අසාධාරණයක් වුණේ නැහැ කියලා ලැබෙන ප්‍රතිචාරවලින් හිතෙනවා.

 


 ගුණාදරීව කොහොමද වොල්ගාට දැනුණේ?
ගුණාදරී කියන්නේ ඇස් අන්ධ චරිතයක්. ඇස් පේන මිනිස්සුන්ට වඩා ඇස් පෙනෙන්නේ නැති ගුණාදරී ළඟ මනුස්සකම පිරිලා. ඇය මිනිස්සුන්ට වගේම සොබාදහමට පණ වගේ ආදරෙයි. වොල්ගාට වැඩිය ගුණාදරී ළඟ දේව ගති ටිකක් තියෙනවා. ඇත්තටම මම ගුණාදරී කියන චරිතයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

 


 මෙහි රූගත කිරීම් බොහොම දුෂ්කරයි. ඒ අත්දැකීම් කොහොමද?
අම්මෝ ඒ වින්ද අත්දැකීම් නම් මගේ රංගන ජීවිතේට විතරක් නෙමෙයි ජීවිතේටත් ලැබුණු හොඳ අත්දැකීමක්. කල්තොටට ගියාට පස්සෙ අපි මේ මහ පොළොව ඇතුළෙ නොදන්න කොයිතරම් දේවල් තියෙනවාද කියලා හිතුණා. ගස් ගල් උඩ නගින්න, කඳු තරණය කරන්න තමයි ගොඩක් තිබුණේ. ඒ රූපගත කිරීම් දුෂ්කරයි. හැබැයි මට ආයේ ඒ කාලෙට යන්න තියෙනවා නම් ගොඩක් ආසයි. අධ්‍යක්ෂවරයාගේ සිට කණ්ඩායමේ සියලුම දෙනා විශාල කැපකිරීමක් මහන්සියක් දරලා කරපු නිර්මාණයක් මේක. ගස් ගල් කඳු බඩ ගෑවා. මඩේ හිටියා. ඒ දේවල් ඇතුළෙ මට චුට්ටක්වත් මහන්සියක් දැනුණේ නැහැ. මාන පඳුරුවලට හීරිලා, වැටිලා තුවාල වෙලා අතපය ගන්න දෙයක් නැහැ. කල්තොටට ගියාට පස්සේ ගුණාදරී වෙනුවෙන් මම වොල්ගාව ටික කාලයකට මරලා දැම්මා.


ඒ වගේම මේ කතාවේ අන්තිම කොටස් වෙනකොට අවුරුදු 70-80 වයස් පරාසයෙන් චරිතයෙන් කරන්න ඕනෑ නිසා කෙට්ටු වෙන්න වුණා. මම, ජගත් අයියා, උමා මාසයක් බත් කෑවේ නැහැ. එළවළු, මස්මාළු විතරයි කෑවේ. ඒ වගේ කැපකිරීම් කරන්න වුණා. එහෙම බොහොම ආසාවෙන් කරපු කැපකිරීම්.

 


 කොහොමද ටුටූ ට ලැබෙන ප්‍රතිචාර?
හිතාගන්න බැරි තරම් ප්‍රතිචාරයක් පාරදිගේ ටෙලා නාට්‍යයේ ටුටූට ලැබෙනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මා තමයි මාව ක්ෂේත්‍රයට ගේන්නෙත්. එතුමාගේ නාට්‍යවල මම කිසිම වෙලාවක දිගත් පළලක් හොයන්නේ නැහැ. පාරදිගේ ටෙලා නාට්‍යයේ ටුටූ කියන්නේ මට ලැබුණු වෙනස්ම චරිතයක්. 

 


 පෞද්ගලික ජීවිතේ මොනවද අලුත් තොරතුරු?
අම්මා තාත්තා එක්ක සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා. 

 


 කොහොමද තනිකඩ ජීවිතේ
සරලයි...සුන්දරයි. හැබැයි සමහර තැන්වල ජීවිතේ ඉඳලා හිටලා පාළුවක් දැනෙන තැන් එනවා. එහෙම නැතිව නෙමෙයි. මම කොහොමත් කොන්දේසි විරහිතව ආදරය කරන කෙනෙක්. මම ආදරය කරනවා නම් ඒක මට පෙරලා අනෙක් පැත්තට ලැබිය යුතු නැහැ. වෙලාවක ජීවිතේ හයියට කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා.

 


 නැවත විවාහ වෙන්න කවදාවත් හිතෙන එකක් නැද්ද?
මගේ ආදරේ විවාහ සහතිකයකට වඩා පිරිසුදුයි. මම විවාහ වුණේ මගේ හොඳම යා`ඵවා එක්ක. අදටත් ඔහු මගේ යා`ඵවෙක්. යාළුවෝ දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි කියලා විතරයි මම එතැනදී තේරුම් ගත් එකම දේ. විවාහ සහතිකයකට මම නැවත මගේ ආදරය බාල්දු කරන්න කැමැති නැහැ. නීත්‍යානුකූල විවාහය අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියන තැන තමයි මම ඉන්නේ. තාම මම නැවත විවාහයකට බලාපොරොත්තුවක් නැහැ.  මොකද ඒ සහතිකයට ආදරයයි විශ්වාසයයි මනින්න බැහැ. 

 2022 ජූලි මස 18 වැනිදා සඳුදා පළවු ලිපියකි.

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්


 

 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

තංගල්ල කාල්ටන් නිවසෙ   අවුරුදු Read Next

තංගල්ල කාල්ටන් නිවසෙ අවුරුදු

Realted Post