හෙළයේ සංස්කෘතික මහා මංගල්‍යය

අනාගතේට අරන් යන්න පුංචි උන්ට පාර කියන්න

 

 

අවුරුද්ද පුරාම වෙහෙසෙන ගතට අවුරුද්දේ එකම එක කාලෙකට හරි සැනසීමක් ඕනෑ කියලා හිතුණේ නැද්ද? 
පවුලේ හැමෝම එකට එකතුවෙලා සතුට සමරන කාලය රහසේම සැඟවිලා ගිහින්. අලුත් අවුරුද්දට දරු මුනුපුරන් අවුරුද්දේ සතුට අරන් මහගෙදර එයි කියලා හුඟක් මවුපියෝ තාමත් මඟ බලාගෙන ඉන්නවා. එහෙත් ඉතාමත් කාර්යබහුල වටපිටාව නිසා ඒ සතුට වෙනස්වෙලා. එහෙම බලද්දි අපේ රටේ සතුට සමරන්නේ හරිම අඩුවෙන් කියලයි හිතෙන්නේ. ඒ නිසාම වසරකට වරක් පවුලේ හැමෝම එකට එකතුවෙන සංස්කෘතික මංගල්‍යය දරු මුනුපුරන් එක්ක ජයටම සමරන්න උත්සාහ කරනවා නම් එය ඉදිරි පරම්පරාවට හොඳ පාඩමක් වෙනවා වගේම තනිවුණු මවුපියන්ට, පීඩාකාරී තරුණ ජීවිතවලට, නැවුම් වෙනසක් වේවි. 


සිංහල අලුත් අවුරුද්ද එකමුතුබවේ සංකේතයක්. එහෙත් වර්තමානයේ අවුරුදු සැමරීම තුළ දකින්න ලැබෙන්නේ එදා තිබුණු බැඳීම් නොවෙයි. වාණිජකරණයත් සමග අවුරුද්දත් සේල් වෙලා. මුලිකවම අලුත් අවුරුදු කියන්නේ අපේ වැරදි අඩුපාඩු හදාගෙන, මොන රාජකාරී මොන තරාතිරම්වල සිටියත් හැමෝම එකා වගේ එකම තැනකට රොද බැඳෙන කාලයට. ඒ එකමුතුබව උදාහරණයකින් කියනවා නම් අතීතයේ තිබුණා අවුරුද්දේ නැම්මේ කෑම නමින් චාරිත්‍රයක්.


අවුරුද්දේ නැම්මේ කෑම
මුලින්ම මේ චාරිත්‍රයේදී කෙරුණේ විශාල මාගලක් සාලේ මැද ඉඩ තිබෙන තැනක එළීම. ඉන්පස්සේ  අම්මා, නැන්දා, ආච්චිලා, සීයලා, වැඩිහිටියෝ සියලු දෙනාම එකතු වෙලා හදාගත් කෑම බීම සියල්ලම මේ මාගලේ ගෙනත් තියනවා. එහෙම තිබ්බට පස්සේ දරු මුනුපුරන් ඇතු`ඵ, පවුලේ හැමකෙනෙක්ම වයසින් වැඩිම පුද්ගලයාගේ සිට බාලම දරුවා වෙනතෙක් පිළිවෙළින් මුහුණට මුහුණ බලාගෙන දෙපැත්තෙන් ඈඳිගන්නවා. එහෙම ඈඳිගත්තට පස්සේ එකිනෙකා හැමෝම කෑම එක එක්කෙනාට අතින් අත යවමින් කෑම බෙදාගෙන හරිම සතුටු සාමීචියෙන් ආහාර අනුභව කරන නැකතෙදි ඒ කාර්ය සිදුකරනවා. කුඩා දරුවෝ සියලුදෙනත් කෑම කාලා අවසන් වෙනතුරු කිසිම කෙනෙක් නැගිටලා යන්නේ නැහැ.

 

 

චාරිත්‍ර වාරිත්‍ර ගිලිහුණේ කොහොමද?

අදහස් දැක්වීම සෞන්දර්ය 
කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, 
හිටපු රාජ්‍ය ජනශ්‍රැති හා ජනකලා උපදේශක 
ශාස්ත්‍රපති 
පසිදු පහළමැදගම, 

දැන් මේ චාරිත්‍ර හෙමින් හෙමින් වෙනස් වෙමින් අපෙන් ඈත්වෙලා ගිහින්. හැමදේම ඡායාරූප වෙනුවෙන් සූදානම් කෙරෙනවා. හුඟදෙනෙක් සමාජ මාධ්‍යවලට දාන්න සුදුසු විදියට තමයි දැන් කෑම මේසය සූදානම් කරන්නේ. තවත් කෙනෙක් කරන නිසා හැරෙන්න මෙහි හරයක් දන්නේ අතළොස්සයි. තරුණ දරුවෝ අතේ ඒ වෙලාවටත් දුරකථන. ඡායාරූප ගැනීම හැරෙන්න ඒ මොහොතේ ජීවත්වෙන්න, ඒ මොහොත විඳින්න හුඟක් දරුවන්ට වාසනාව නැතිවෙලා. දරුවෝ විතරක්ම නෙවෙයි හුඟක් වැඩිහිටියොත් මේ ක්‍රියාව කරනවා. එහෙත් දරුවෝ අනුකරණය කරන්නේ වැඩිහිටියන්වයි. මේ කටයුතු කරන්නේ වැඩි දෙනෙක් අර්ථය දැනගෙන නොවන නිසා දරුවෝ කරන්නෙත් දකින දේ විතරයි. 

 

දරුවන්ට මේ දායාදය දෙන්නේ ඕනෑ වැඩිහිටියෝ 
ලෝක ධාතුවට දරුවෙක් දායාද වුණාට පස්සේ ඇහෙන දකින දේවල්වලින් තමයි ඒ දරුවා පෝෂණය වෙන්නේ. ඒ නිසා අවටින් ඔවුන්ට අහන්න දකින්න ලැබන දේවල් හරියට සමරන්න ඕනෑ. එහෙම නැති නිසා තමයි 
“අනේ මේ ළමයි පුංචි දරුවෝ නේද? මේ ළමයි ඇයි මෙහෙම සමාජයේ හැසිරෙන්නේ, දරුණු දේවල්වලට ඇබ්බැහි වෙලා”  


වැනි දේවල් අසන්න ලැබෙන්නෙ. අපි එහෙම කතා වුණා කියලා කිසිම වැඩක් නැහැ. මොකද අපි හරි සමාජය පොඩිඋන්ට ගොඩනඟලා දීලා නැහැ. හරි සංස්කෘතිය පවරලා දීලා නැහැ. ඒ නිසා මුලින්ම මේ මහපොළවේ පුසුඹ එක්ක ගොඩනැගුණු සංස්කෘතික සාරය උන්ට හරියට පොවන්න පු`ඵවන් නම් මවුපියන් අවුරුදු දවසට තනිවෙන්නේ නැහැ. පවුල ඇතුළෙ වෛරය වෙනුවට ආදරේ සතුට නිකන්ම වැපිරෙනවා.


අම්මා බුලත් අතක් දීලා තාත්තට වඳිද්දි දරුවෝ ඒ දිහා ලබාගෙන සිටිනවා. උන්ගේ ජීවිත ඇතුළෙත් ආදරය ගෞරවය දලුලන්න පටන් ගන්නවා. අවුරුදු සමග බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිය අමතක කරලා, නවීන විදියට වෙනස් වුනොත් එහි කිසිම හරවත් බවක් ඇතිවන්නේ නැහැ. දරුවන් වඳින වෙලාවට පොකැට් එක ඇරලා කාසිපනම් දෙනවට වඩා, එය ඡායාරූප ගතකරනවට වඩා හිස අතගාලා තුණුරුවන් සරණයි කියලා කියන්න පු`ඵවන් නම් එතැනයි බැඳීම් ශක්තිමත් වෙන්නේ.

 

දරුවොත් එක්ක කතා කරන්න 
ඒ වගේම සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සම්පූර්ණයෙන් සොබාදහමත් එක්ක බැඳුණු මංගල්‍යයක්. ඒ නිසා ගහට කොළට සතා සිව්පාවට ආදරේ කරන්න දරුවන්ට කියාදෙන්න පු`ඵවන්. ගහකොළ පවා නව වසරට අලුතින් සූදානම් වෙනවා. මල්පල දරනවා. අපට එය ආශිර්වාදයක්. ඒ ගැන දරුවන්ට කියලා දෙන්න ඕනෑ. 


“මේ ගහ කොළ මල්පල දරන්නේ මේ කාලයට විතරයි පුතේ. සතා සිව්පාවා මෙහෙම හැසිරෙන්නේ මේ කාලයේදී විතරයි. ඇයි අපට මේ කාලෙදී වැඩිපුර දහදිය දමන්නේ? සූර්යා වෙනස්වෙලා තියෙන්නේ කොහොමද?” 


මේ දේවල් තමයි අපි දරුවන්ට මේ කාලේ කියලා දෙන්න ඕනෑ. ඒත් එක්කම දරුවන්ට කියලා දෙන්න ඕනෑ මේ දේවල් ආච්චිලා සීයලා පරම්පරාවෙන් රැගෙන ආ චාරිත වාරිත්‍ර. මේවා ඇතුළෙ තියෙනවා වටිනා අර්ථයන් ඒවා උඹලත් උඹලගේ අනාගත පරම්පරාවලට අරන් යන්න ඕනෑ කියන කාරණය වැඩිහිටියන් විසින් හරියට සමාජ ගත කරනවා නම් ඒ දරුවෝ උස්මහත් වුණාට පස්සේ වැඩිහිටියෝ තනි කරන්නේ නැහැ. පවුල් විසිරෙන්නේ නැහැ. ඔවුන් කොහේ සිටියත් තමන්ගේ යුතුකම් ඉටුකරනවා. 

 

නැකැත් වෙලාවට වැඩ කරන්නේ කොහොමද? 
එක එක වෙලාවට විවිධ පැහැයේ ඇඳුම් අඳින්න තිබෙනවා, හිසතෙල් ගාන්න තවත් නැකතක්. ඒවට වටිනා ඔසු එකතු කරගන්නවා. පන්සල සහ ගම්මු අතර හොඳ සහසංයෝජනයක් ගොඩනැගෙනවා. මේ දෙවල් දරුවන්ට කියලා දෙන්න. දැනෙන්න හරින්න. එහෙම නැතිව සල්ලි තිබෙන නිසා තමන්ගේ යාළුවෝ හිතවතුන් එකතු කරගෙන මේ චාරිත්‍ර වාරිත්‍ර මොකුත් නොකර අවුරුදු සාජ්ජ දමාා අවුරුදු වෙනම විදියට සමරන්න හදනවා නම් දරුවෝ අනාගතේට අරන් යන්නෙත් ඒ අවුරුදු පාටියම තමයි. 


ඒ නිසා පවුලේ ආදරණීයන් සමග එකට එකතුවෙලා අම්මා තාත්තා මූලික කරගෙන මේ මහා මංගල්‍යය සතුටින් සමරන්න අනාගතේට අරන් යන්න වැඩිහිටියන්ට පැවරෙන්නේ විශාල වගකීමක්. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා බලන්න යන්න, පවුලේ සියලු දෙනා සමග නිවැරදි විදියට අවුරුද්දේ සැබෑ සතුට විඳගන්න කටයුතු කරන්න උත්සාහ කිරීම යුතුකමක් ලෙස සලකන්න පු`ඵවනි.

නයනා උදයංගනී      

 

 

        

 

බෙෆ්ටා සම්මාන උළෙලේ ’’ඕපන්හයිමර්’’ට සම්මාන රැසක්.. Read Previous

බෙෆ්ටා සම්මාන උළෙලේ ’’ඕපන්හයිමර්’’ට සම්මාන රැසක්..

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය Read Next

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය

Realted Post