එඩිතර කෙල්ලක් - Poornima Anurangi

දරුවෙක් ජීවිතේ දිනද්දි වැඩියෙන්ම සතුටුවන්නේ මවුපියන් ය. දරුවෙකුගේ ඕනෑම සාර්ථකත්වයක් අවසානයේ තමන්ගේ කැපවීම මෙන්ම ඒ ආදරණීය හදවත්වල ආශිර්වාදය ඉහළින්ම ඇත. අද මුළු රටක් ඇයට ආශිර්වාද කරමින්, ආදරෙන් වැලඳ ගනිද්දි ගමනාරම්භයේ පටන් සෙනෙහෙබර අත්වැල වී සිටියේ ඔවුන්ය. දරුවකුගේ ජයග්‍රහණය අභියස මවකගේ මුවින් පිටවන ආඩම්බරකාර වචන ලෝකයේ අව්‍යාජම හැඟීම විය හැකිය. මේ දිනවල කාඅතරත්   කතාබහට ලක්වෙන ශ්‍රී ලංකාවේ MI 17 හෙලිකොප්ටර් යානාවල  පළමු පියාසර ඉන්ජිනේරුවරිය වන පූර්ණිමා අනුරංගි ය.

ශ්‍රී ලංකාවේ දැනට MI 17 හෙලිකොප්ටර් යානා සහAN 32 ගුවන්යානා ඇත්තේ ගුවන් හමුදාව සතුව පමණි. පියාසර ඉන්ජිනේරුවන් යොදාගනු ලබන්නේ එම ගුවන්යානා සඳහා පමණී. ඒ අතරMI 17 හෙලිකොප්ටර් යානා සඳහා ගුවන් හමුදාව බිහිකළ පළමු පියාසර ඉන්ජිනේරුවරිය වන්නේ පූර්ණිමා අනුරංගි ය.  
පූර්ණිමා අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේ උපන්නියකි. 
ඇයගේ මවුපියන් වන්නේ පී.එච්.පී අයිරංගනී සහ එම්.ඩබ්. අනුරයි. අම්බලංගොඩ  ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවියක වන පූර්ණිමා ගණිත  අංශයෙන් උසස්පෙළ හැදෑරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා  ගුවන් හමුදාවට බැඳී තිබේ. පසුව දියතලාව මූලික සටන් පුහුණු පාසලේ මාස හයක පාඨමාලාව සම්පූර්ණ කරන පූර්ණිමා චීන වරාය කඳවුරෙන් ඉදිරි  අධ්‍යාපන සුදුසුකම් සපුරාගනී. ඒ ආ දුෂ්කර ගමන්මගේ ඇය තම වෘත්තීය ජීවිතයේ පෙරළිකාර සිදුවීමක් පෙන්වන කාලයකට අවතීර්ණ වී ඇත්තේ දැන්ය. දැනට ඇයට පැවරී ඇති රාජකාරිය වන්නේ ගුවන්යානා ඉංජිනේරු රාජකාරිය සහ පියාසර ඉංජිනේරු රාජකාරියයි. එතැනින් පමණක් නතර නොවූ ඇය මේ වනවිට තම දැනුම ඊළඟ කණ්ඩායම්වලට ලබාදීමටද කටයුතු කරමින් සිටී.
 පැරෂුට් පාඨමාලාවක් ඇතුළු තවත් විවිධ පාඨමාලා රැසක දැනුම ලබාගනිමින්, විශේෂ දක්ෂතා රැසක් පෙන් වූ ඇය තම මවුපියන්ට මෙන්ම ඇයගේ වෘත්තීය දිවියේ ප්‍රවීණයන්ටත් ඉහළ නිලධාරීන්වත් අමතක නොකළාය.
“අපේ ගුවන් හමුදාවේ කාන්තා ගුවන් නියමුවරියන්ගේ සිට හැම අංශයකම, කාන්තාවන් තම දක්ෂතා පෙන්වා තිබෙනවා. ඒ වෙනුවෙන් අපට ගුවන් හමුදාපතිතුමා ඇතුළු ගුවන් හමුදාවේ සියලුදෙනාගෙන්  විශාල සහයෝගයක් ලැබෙනවා. මොනතරම් කැමැත්තක් තිබුණත්, එයට අවශ්‍ය සහයෝගය නැත්නම් ඉදිරියට යන්න අමාරුයි. නමුත් මෙතනදී මට ඒ සියලු සහයෝගයන් ලැබුණා.”යැයි ඇය පැවසුවාය.
පූර්ණිමා අනුරංගිගේ මව බලපිටිය මූලික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් ලෙස කටයුතු කරන අතර පියා ධීවර කර්මාන්තයේ නියැළෙයි.
රටම කතා කරන පූර්ණිමා ගැන ඇගේ මව කතා කළේ මෙලෙසයි.

  • අද ඔබේ දියණිය ගැන මුළු රටම කතා කරනවා?

ඔව්,ලොකු ආඩම්බරයක් දැනෙනවා අපට. රටට විතරක් නෙවෙයි අම්මටයි තාත්තටයි දෙන්නටම ලොකු ගෞරවයක් ගෙනත් දුන්න හොඳ දරුවෙක්. පවුලේ අයට විතරක් නෙවෙයි එයා අද රටටම ආඩම්බරයක්.

  • දියණිය අභියෝගාත්මක වෘත්තියක් තෝරාගැනීම ගැන බය හිතුණෙ නැද්ද?

මුලින්ම ලොකු බයක් දැනුණා. ඒත් ඉතින් අපි එයාගෙ කැමැත්තට ඉඩදීලා බලාගෙන හිටියා. මොකද අපි දෙන්නටම ලොකු විශ්වාසයක් තිබුණා එයා වැරදි තීරණයක් ගන්නෙ නැහැ කියලා. එයාගේ තිබුණු දක්ෂතාවල හැටියට හොඳ ගමනක් යයි කියලා විශ්වාස කළා.

  • මවක් ලෙස ඔබ සිහින දැක්කේ ඇය මොනවගේ වෘත්තියක් තෝරා ගන්නවටද?

මමත් රෝහලක වැඩකරන නිසා මම කැමතිවුණේ එයා හෙදියක් වෙනවා දකින්න. ඒ නිසා මම එයාව මුලින්ම යොමුකරන්න හැදුවේ නර්සින්වලට. ඒත් එයා ඒකට කැමතිවුණේ නැහැ. එයා කැමති වුණේ ගුවන් හමුදාවට යන්න.

  • එහෙනම් පොඩිකාලේ ඉඳලම පූර්ණිමාට එහෙම සිහිනයක් තියෙන්න ඇති නේද?

ඇත්තටම ඔව්. පොඩි කාලේ ඉඳලම එයා ඒ පැත්තට ලොකු නැඹුරුවීමක් තිබුණා. ක්‍රීඩාවලට එහෙම හරිම දක්ෂයි. හරිම ක්‍රියාශීලී දරුවෙක්. ඒ හැමදෙයක් එක්කම එඩිතරකම කියන දේ පොඩි කාලෙ ඉඳලම අපිට එයාගෙන් දකින්න ලැබුණ දෙයක්.

  • මවක් විදියට ඔබට අද තමන්ගේ දියණියව දැනෙන්නේ කොහොමද?

එයා දැනටමත් මගේ ලෝකේ වීරවරියක් වෙලා ඉවරයි.

  • පුර්ණිමාගෙන් ඔබ දෙපළට ලැබෙන ආදරේ ගැනත් කතා කරමු

එයා තමයි පවුලේ වැඩිමලා. එයාට ඉන්නේ තව මල්ලි කෙනෙක්. අපි තුන්දෙනාටම එයා හරිම ආදරෙයි. මොනතරම් වැඩ තිබුණත් ඒ වැඩ ඉවරවෙලා නිදාගන්න යන්න කලින් හැම දවසකම කතා කරන්න අමතක කරන්නේ නැහැ. අපි තුන්දෙනාගෙන් කාටහරි කතා කරනවා. හැමදේම හොයලා බලනවා.

  • ජීවිතේ සාර්ථක වෙන්න දරුවෙකුට අම්මෙකුගේ ආශිර්වාදය කියන්නේ මහමෙරක්. ඔබ කොහොමද ඇගේ ගමනට ආශිර්වාද කළේ?

එයා ඉන්ටර්විව් එකකට යද්දි, විභාගවලට යද්දි, එහෙමත් නැත්නම් වෙනත්  විශේෂ රාජකාරියකට යද්දි මම ඔක්කොම වැඩ පැත්තකට දාලා පන්සලට දුවනවා. එයා වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. සමහර වෙලාවට එයාම කතා කරලා කියනවා ‘‘අම්මේ මට මෙහෙම වැඩක් තියනවා. පන්සලට යනවද?’’ කියලා. හැමදෙයක්ම මාත් එක්ක කියනවා. එයා නිතරම දෙවියන්, බුදුන් අදහන කෙනෙක්. හැමවෙලාවකම අපි අපේ දරුවට ආශිර්වාද කළා. ඒ නිසා මම විශ්වාස කරනවා එයාට කවදාවත් වරදින්නෙ නැහැ කියලා.

  • විශේෂ ස්තුතිය- ශ්‍රී ලංකා ගුවන් හමුදා   මාධ්‍ය ඒකකයට
  • නයනා උදයංගනී
  •  Pic By - Rushiru   Colambathanthrige

 

එඩිතර කෙල්ලක් - Poornima Anurangi Read Previous

එඩිතර කෙල්ලක් - Poornima Anurangi

බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමෙන්  රජයට මිලියන 250ක් Read Next

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක්

Realted Post

Leave a comment