පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා
ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිනියක් වුවත්, රැකියාවක් නොලැබුණු බවට පසුතැවිලි වීම වෙනුවට, සිමෙන්ති කිලෝවක් මිලට ගෙන නිවසේ තිබූ ප්ලාස්ටික් බෝතලයක් උපයෝගී කර ගනිමින් මල් වගා බඳුන් සැකසීමට ඇය පියවර ගත්තාය. ඇගේ අත් දෙක සිමෙන්ති මිශ්‍රණය නිසා තුවාල වුවත්, ඉන් පසුබට නොවී වගා බඳුන් 10න් පතොක් මල් පැළ 10කින් මල් වගාවට පිවිසියාය. අද වන විට පතොක් මල් වගාවෙන් හා වගා බඳුන් ඇතුළු විවිධ නිර්මාණ හරහා වෙළෙඳ පොළ ජයගත් 24 හැවිරිදි අචිනි ලක්ෂිකා උදාරි තෙන්නකෝන් තරුණිය, රැකියා සොයා ළත වෙන වත්මන් තරුණ පරපුරට මහත් ආදර්ශයක් ලබාදෙන්නීය.
ඌව පරණගම, වලහමුල්ල පදිංචි අචිනි තම දෙමාපියන්ට ගොවිතැනින් ලැබෙන සොච්චම් මුදලින් ජීවත් වීමේ අසීරුතාවය දැක, ඔවුන්ට අත දීමේ අටියෙන්, තමන් ඉගෙන ගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාව මත රැකියා සොයා යාමේ අපේක්ෂාව ඉවත දමා  ස්වයං රැකියාවක් ලෙස පතොක් මල් වගාවට පිවිසියාය. අද වන විට ඇය පතොක් මල් වර්ග 100ක වගාවක්, මල් වගා බඳුන් සහ  කුඩා බුද්ධ ප්‍රතිමා නිර්මාණය හරහා ජීවිතය ජයගෙන සිටී.
වසර 02ක පමණ කෙටි කාලයකින් ශක්තිමත් ආර්ථික ජීවිතයක් උරුම කරගත් අචිනි මෙසේ පැවසුවාය.
“මම උපන්නේ ඌවපරණගම වලහාමුල්ල ගමේ. මගේ  අප්පච්චි ටි.ඇම්. සිසිර කුමාර. අම්මා කුසුමලතා රත්නායක. මට සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. අපි ගොවි පවුලක සමාජිකයෝ. මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වෙලා ඉංග්‍රීසි ඩිප්ලෝමා විභාගය සමත් වුණා.  මම කලක් ඊට අදාළ රැකියාවක් බලාපොරොත්තුව සිටියා. රැකියා සඳහා විවිධ පුහුණු පාඨමාලා වලටත් ගියා. එසේ මාස 06ක පුහුණුවක් ලැබුවත්,  රැකියාවක් ලැබුණෙ නෑ. මම කලක් කුඩා ළමුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකළා.    මට මෙම මල් පෝච්චි නිපදවා ගැනීමට මුලින්ම දැනුමක් තිබුණෙ නෑ. මම රැකියා පුහුණුවට යාමේදී අදාළ ආයතන වලින් ලබාදුන් සුළු මුදලක් තිබුණා. අප්පචිචිත් මට රුපියල් 2,000ක මුදලක් ලබාදුන්නා. මම  සිමෙන්ති කිලෝවක් මිලට ගත්තා. ගෙදර තිබුණු ප්ලාස්ටික් බෝතලයට සිමෙන්ති දියර වත් කළා. එය අව්වෙන් වේළගෙන ප්ලාස්ටික් බෝතලය ඉවත් කර බැලුවා. මල් පෝච්චියකට භාවිත කිරීමේ හැකියාවක් තිබුණා. ඉන්පසු මම ගෙදර තිබුණු ප්ලාස්ටික පිඟන් යොදා ගනිමින් මල්පෝච්චි සකසා ගැනීමට අත හුරු කර ගත්තා. සිමෙන්ති වලට ඇඟිලි පුපුරලා ලේ ගැලුවත්, මල් බඳුන්  සැකසීමේ උත්සාහය අතහැරියේ නැහැ. 
ඉන්පසු මම වගාකරුවකුගෙන් විවිධ ප්‍රභේද වලින් යුතු පතොක් මල් පැළ 10ක් මිලට ගෙන මම සකසා ගත් බඳුන්වල වගා කළා. එම මල් පැළ සහිත වගා බඳුනේ ඡායාරූපයක් මම අන්තර්ජාලයේ පළ කළා. එය දුටු අනුරාධපුර ප්‍රදේශයේ අයෙකු දුරකථන මගින් මෙම මල් වගා බඳුනේ මිල විමසීමක් කළා. මට එවන් මිලක් තීරණය කිරීමේ දැනුමක් තිබුණෙ නැති නිසා රුපියල් 350ක් බව පැවසුවා. ඔහු ඊට කැමති වෙලා කුරියර් ක්‍රමයට මම මල් බඳුනක් යැව්වා.   සිමෙන්ති ආශ්‍රිතව සැකසූ මල් පැළයක් යවන අන්දම පිළිබඳව දැනුමක් තිබුණෙ නැති නිසා අයිතිකරුට එය ලැබෙද්දි බඳුන කැඩී ගොස් තිබුණා.
මෙය හොඳ ස්වයං රැකියාවක් බවට අපි විශ්වාස කළා. ඒ අනුව මගේ සහෝදරයා ලවා මුහුණුපොතේ ගිණුමක් ආරම්භ කළා. මම වෙළෙඳ පොළෙන් මල් බඳුන් සකසන රබර් අච්චු මිලට ගත්තා. එසේම විවිධ පතොක් මල් ප්‍රභේද 100ක් මිලට ගෙන වගාව ආරම්භ කළා. වසර 02ක් වැනි කෙටි කාලයක් ගතවෙද්දි පතොක් මල් පැළ හා විවිධ හැඩතලයන් භාවිත කරමින් මම සකසන අලංකාර වගා බඳුන්වලට මුහුණුපොත හා විවෘත වෙළෙඳ පොළේ  විශාල ඉල්ලුමක් තිබෙනවා.
රථවාහනවල කුඩා බුද්ධ ප්‍රතිමා තබා ඇති අයුරු අපිට දකින්නට ලැබෙනවා. රථ වාහන හිමියන් අතර මෙම කුඩා බුද්ධ ප්‍රතිමාවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. එනිසා මමත් සිමෙන්ති යොදා ගනිමින් මෙම කුඩා බුද්ධ ප්‍රතිමා අලංකාර අන්දමට නිෂ්පාදනය කිරීමට පියවර ගත්තා. අද වන විට මගේ බුද්ධ ප්‍රතිමා වලටත් ඉහළ ඉල්ලුමක් පවතිනවා.  
අසීරුතා ගොඩක් මැද ඉගෙන ගත් කර්මාන්තයෙන් මම අද වන විට විශාල ගමනක් ගොස් තිබෙනවා. මගේ සැමියාට ලැබෙන වැටුපට වඩා වැඩි අාදායමක් මම පතොක් මල් වගාවෙන් උපයා ගන්නවා. මෙසේ උපයාගන්න මුදලින් අපි දෙදෙනාගේම දෙමාපියන්ටත් උදව් කරමින්, නිදහසේ, කිසිවෙකුටවත් අත නොපා ජීවත් වෙනවා.”
									
									
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
								          											                                
 
                                             
                                                     
                                                     
                                                    
 
                                                                     
                                                                     
                                                                     
                                                                     
                                                                    
Leave a comment