රාමුවකට කොටු නොවී ලෝකෙට යන්න හොඳ ක්‍රීඩාවක් - Dinusha Perera
කරාතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලැබූ දිනුෂා පෙරේරා අභිමානවත් වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවකි. ගැහැනුකම අභියෝගයක් කර නොගත් ඇගේ කතාවයි මේ.
- ඔබගේ විස්තර මොනවාද?
මගේ ගම කඩවත. මගේ පවුලෙ අම්මයි, තාත්තයි, අක්කලා දෙදෙනයි, අයියයි, නංගියි, මමයි. මීට අවුරුදු නමයකට පෙර හදිසි අනතුරකින් අයියා නැති වුණා. තාත්තා ව්‍යාපාරිකයෙක්. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ කඩවත බැප්ටිස් විද්‍යාලයෙන්. ඉන්පසු හය ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබුවේ කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ.
- මෙවැනි ක්ෂේත්‍රයක් තෝරා ගැනීමේදී මව්පියන්ගේ අකමැත්තක් තිබුණෙ නැද්ද ?
ඇත්තටම මුලදි කැමති වුණේ නැහැ. ඔවුන් සිතුවේ කරාතේ ක්‍රීඩාව ගැහැනු ළමයෙකුට ගැළපෙන්නෙ නැති ක්‍රීඩාවක් ලෙසයි. ඒ වගේම අධ්‍යාපන කටයුතු මගහැර ගනී කියල බය වුණා. ඒකයි විශේෂම හේතුව වුණේ. දැන් නම් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.
- ඇයි මෙවැනි ක්‍රීඩාවක් තෝරා ගත්තෙ?
කරාතේ කියන්නෙ මාර්ෂල් ආර්ට් එකක්. වයස අවුරුදු නවයේදී තමයි කරාතේ හදාරන්න ආරම්භ කළේ. කුඩා කාලයේ කරාතේ චිත්‍රපට බලන්න ගොඩක් ආසයි. එහි තිබෙන ක්‍රියාකාරකම්වලට ආසයි. ඒ දේවල් නිසා තමයි මම මේ ක්‍රීඩාවට නැඹුරු වෙන්න හේතුව වුණේ. කඩවත මධ්‍ය මහා විද්‍යාලයට ගිය පසු අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක කරාතේ ටික කාලයකට නතර කරන්න සිදුවුණා. අ.පො.ස උසස් පෙළෙන් පසුව නැවත පුහුණුවීම් ආරම්භ කළා. මට පළමුවැනි ජාත්‍යන්තර තරගයට 2008 වසරේදී සහභාගි වෙන්න ලැබුණා.
- ඔබේ වෘත්තිය මොකද්ද?
දැනට මම අරාබි එමිර් රාජ්‍යයේ සාර්ජා නගරයේ කාන්තා ක්‍රීඩා සමාජයේ කරාතේ ක්‍රීඩා සහය පුහුණුකාරිනියක ලෙස කටයුතු කරනවා. ඒ වගේම මගේ පුහුණුවීම් කටයුතු සිදුවෙන්නෙත් ඒ ආයතනයේමයි. ලබන වසරේ ඕස්ෙට්ර්ලියාවේ පවත්වන කරාතේ ශූරතාවලියට සහභාගි වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදෙන්නෙ සාර්ජා කාන්තා ක්‍රීඩා සමාජයෙනි. වසර දෙකක ගිවිසුමක් සමග මම ඒ ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරඟ කරනවා.
- ලංකාවෙන් ඔබට සහයෝගයක් ලැබුණද ?
අපේ රටේ මෙවැනි ක්‍රීඩා සඳහා අනුග්‍රහය ලබාදෙන්නේ අඩුවෙන්. ඒ නිසා තමයි මම දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සාජා නගරයේ, කාන්තා ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරගවලට සහභාගි වෙන්නේ. මොකද ඔවුන් තමයි මට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ. මම කොපමණ ජයග්‍රහණ ලබාගෙන ආවත්, ලංකාව තුළ කිසිම ඇගයීමක් මට ලැබුණෙ නැහැ. ඒ නිසයි මට වෙන රටක් වෙනුවෙන් සේවය කරන්නට සිදුවුණේ. ඒ ගැන මට ලොකු වේදනාවක් තිබෙනවා. මොකද මගේ මව්පියන් ලංකාවේ. මම අධ්‍යාපනය ලැබුවේ, පුහුණුවීම් කළේ, ජීවත් වුණේ ලංකාවේ. නමුත් අපි වැනි ක්‍රීඩිකාවන්ට නිසි ඇගයීමක් නොලැබෙන නිසා වෙන රටවල් සඳහා සේවය කරන්න සිදුවෙලා තිබෙනවා. ඉතින් මගේ වෘත්තීය ජීවිතය ගොඩනගා ගන්නත්, අනාගතය සාර්ථක කරගන්නත් අවශ්‍ය නිසා මම මේ තීරණය ගත්තා.
- කාන්තාවකට මෙවැනි ක්‍රීඩාවක් තෝරාගැනීම කොපමණ වැදගත්ද?
කරාතේ ක්‍රීඩාව පුහුණු වෙනවා කියන්නෙම කාන්තාවකට හොඳ ආයුධයක්. එකම රාමුවකට කොටුවී ඉන්නෙ නැතුව ලෝකයට යන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම කාන්තාවකට අභිමානයක් ඇතිකරගෙන ඉදිරියට යන්න පුළුවන් ක්‍රීඩාවක්. ශක්තිය, ධෛර්යය, ආත්මශක්තිය ගොඩනැගෙනවා. ඒ වගේම ජාත්‍යන්තරතලයක ජයග්‍රහණ හිමිකර ගැනීමට පුළුවන් වීම ගැන මට නිමතමානී සතුටක් තිබෙනවා. ඒ වගේම කාන්තාවක් ලෙස මම ආඩම්බර වෙනවා මෙවැනි ක්‍රීඩාවකින් රටක් ලෝකයක් දැනගන්න ලැබීම ගැන.
- ක්‍රීඩිකාවකට තිබිය යුතු ගුණාංග මොනවාද?
ක්‍රීඩිකාවක් කියන්නේ අන් අය අතරින් කැපී පෙනෙන කෙනෙක්. ඒ නිසා කායිකවත් තමන්ගේ දක්ෂතාවයන් වලින් උසස් තත්ත්වයක් සාදාගත යුතුයි. ඒ වගේම ක්‍රීඩාව වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට ආත්මශක්තිය තිබිය යුතුයි. මොකද සාමාන්‍ය පුද්ගලයෙක් කැප කරනවාට වඩා වැඩි දෙයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැප කරනවා. රටට ජයග්‍රහණ ලබාදෙන්න නම් එවැනි දේවල් කළ යුතුයි. ඉවසීම තිබිය යුතුයි. ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය තිබිය යුතුයි.
- දැන් ඉන්න තැනට එන්න ඔබට තිබුණු අභියෝග මොනවද?
ඇත්තටම තමන් ඉපදුන රටින් පිටවෙනවා කියන්නෙම ලොකු කැපකිරීමක්. මට මගේ අරමුණ වෙනුවෙන් මව්පියන්, මගේම අයව දාලා වෙන රටකට එන්න වුණා. මගේ වයසේ තරුණියන් කරන කිසිමදෙයක් මට කරන්න බැහැ. අපි කැමති දේවල් කරන්න අවස්ථාවක් නැහැ.
- ඒ ගැන පසුතැවීමක් නැද්ද?
ඇත්තටම නැහැ. මම මේ ක්‍රීඩාවට ආදරෙයි. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා. මට ගොඩාක් දේවල් මගහැරිලා තිබෙනවා. සාමාන්‍යයෙන් පුහුණුවීම් තිබෙන්නේ හවසට. ඒ නිසා සාදවලට යන්න, ගමන්බිමන් යන්න තිබෙන අවස්ථා මගහැරෙනවා. අපේ මුළු දවසම ගතවෙන්නේ ක්‍රීඩාවත් සමග. ඒ වගේම මම හැම වෙලාවෙම මගේ වෘත්තිය මේන්ටේන් කරනවා. ඒ වගේම මම දැන් ජීවත් වන රට තුළ ඇඳුම් පැලඳුම් ගැනත් සැලකිල්ලක් දැක්විය යුතුයි. මොකද ඒ රට අරාබි රටක්. අපිට කැමති විදිහට අඳින්න බැහැ. ඒ වගේම මම කරාතෙ ක්‍රීඩාව ආගමක් හා සමානව අදහනවා. මේ දේවල් එක්ක මම ජීවිතය හදාගෙන ඉදිරියට යනවා.
- අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
කාන්තාවක් විදිහට මට නිහතමානී සතුටක් තිබෙනවා. ඒ වගේම හොඳම කාන්තා ක්‍රීඩා සමාජයකට ඇතුළත් වෙලා වෘත්තීය වගේම, පුහුණුවීම් කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ ගැනත් ලොකු සතුටක්, ආඩම්බරයක් තිබෙනවා. ඒ වගේම මම හිතන දෙයක් තමයි අපිට මොන ප්‍රශ්න ආවත්, කඩාවැටීම් ආවත් අපි දෙයක් වෙනුවෙන් කැපවෙලා එක අරමුණකින් අපේ ගමන යනව නම්, සාර්ථක නිමාවක් ලබාගන්න පුළුවන් වෙනවා.
- අලුතින් මේ ක්‍රීඩාවට සම්බන්ධ වන තරුණ ගැහැනු ළමයින්ට මොනවද කියන්න තියෙන්නේ ?
ක්‍රීඩාවත් සමග අධ්‍යාපනයත් සමබරව කරගෙන යනවා නම්, අනාගතයට වැඩි වාසියක් තිබෙනවා. අපි රටෙන් එළියට යනව නම්, ජාත්‍යන්තරයට යනව නම් ක්‍රීඩාව සමග අධ්‍යාපනයත් වැදගත් වෙනවා. ඒ වගේම මෑතකාලයේ ක්‍රීඩාවලින් ජාත්‍යන්තර මට්ටමින් කාන්තාවන් ජයග්‍රහණ ලබාගෙන තිබුණා. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඒ වගේම පුහුණුකරුවන් සමග පුහුණුවීම් කටයුතු කළත්, තමන් තනියමත් පුහුණුවීම් කළයුතුයි. අන්තර්ජාලයේ එවැනි දේවල් ගොඩාක් තිබෙනවා. ඒ දේවල් බලන්න. අධ්‍යයනය කරන්න. හොඳට පුහුණුවීම් කටයුතු කරගෙන, තමන්ගේ ක්‍රීඩා විෂය දියුණු කරගන්න. එවිට අපිට ජාත්‍යන්තරයට යන්න වුණත් අවස්ථා ලැබෙනවා.
- ඉෂංකා ජයසූරිය
- Pic By - Rushiru Colambathanthrige


Leave a comment