“ආශිර්වාදා” අඳුර මැදින් තැළුණු කුසුමක කඳුළු කතාව

රම්‍යකාන්ති උපතින්ම උරුම කරගත්තේ දරිද්‍රතාවයයි. සහෝදර සහෝදරියන් සත් දෙනෙකුගෙන් යුත් පවුලක බර කරට ගත් ඇය, පවුලේ අගහිඟකම් පියවා ගැනීමට ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට ගියාය. එහිදී ඇයට හමුවූ සුරම්‍ය සමඟ විවාහ වූයේ යහපත් අනාගතයක් පතමිනි. එහෙත් සුරම්‍යගේ මව්පියන්ගේ අකමැත්ත සහ පීඩනය හමුවේ ඒ කැදැල්ල දෙදරා ගියේ රම්‍යකාන්ති ගැබිනියකව සිටියදීය.

අවසානයේ රම්‍යකාන්තිට උරුම වූයේ තනිකමයි. ඇය "ආශිර්වාදා" නම් සුරතල් දියණිය මෙලොවට බිහිකළාය. දියණියට පියෙකුගේ රැකවරණය අවශ්‍ය බව සිතූ රම්‍යකාන්ති, දෙමාපියන්ගේ බලකිරීම මත සුගතපාල නම් පුද්ගලයා සමඟ දෙවන විවාහයකට එළඹුණාය. ඇය ඔහු දේවත්වයෙන් සැලකුවද, සුගතපාල යනු මනුෂ්‍ය වෙස් ගත් තිරිසනෙකි.

කාලය ගෙවී ගියේය. ආශිර්වාදා පාසලේ දක්ෂ මෙන්ම ජනප්‍රිය ශිෂ්‍යාවක වූවාය. එහෙත් නිවස ඇයට අපායක් විය. සුගතපාල නිරන්තරයෙන් ඇයට පහර දුන්නේය, ඇගේ පොත්පත් පුළුස්සා දැමුවේය. රම්‍යකාන්ති රාත්‍රී සේවයට ගිය එක් අවාසනාවන්ත දිනක, සුගතපාල අතින් මෙම අහිංසක දැරිය බලහත්කාරමට ළක් වෙද්දී, පොල්ලකින් ගසා ඔහුගෙන් බේරී පලාගිය ඇය එළිවන තුරු මහා මානසික පීඩනයකින් පීඩා වින්දාය.
පාසලේ දක්ෂ ශිෂ්‍යාවක වූ ආශිර්වාදාගේ වෙනස වටහාගත් පන්තිභාර ගුරුතුමිය ඇගෙන් තොරතුරු විමසුවාය. දැරිය තම අවාසනාවන්ත කතාව හෙළි කළාය. වහා ක්‍රියාත්මක වූ ගුරුතුමිය සහ විදුහල්පතිතුමා පොලීසිය දැනුවත් කළහ.

මේ කතාව මීට වසර කිහිපයකට ඉහතදී සිදු වූවකි. එවකට ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ විය. අවසානයේ අධිකරණය හමුවේ වැරදිකරු වූ සුගතපාලට, දැරියකට කළ මෙම කූර අපරාධය වෙනුවෙන් වසර 5කට නොඅඩු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම විය.

ආශිර්වාදාගේ ජීවිතයට වැටුණු අඳුරු සෙවනැලි මැකී නොගියද, නීතිය මගින් ඇයට යුක්තිය ඉටු විය. මෙය සමාජයේ වෙසෙන තවත් බොහෝ "ආශිර්වාදාලාට" තම හඬ අවදි කිරීමටත්, වැඩිහිටියන් වඩාත් අවධානයෙන් සිටිය යුතු බවටත් දෙන අනතුරු ඇඟවීමකි.


අශන්ති වරුණසූරිය

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Previous

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Next

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

Realted Post

Leave a comment