සංගීත් නිපුන් මහා ඝාන්ධර්ව සනත් නන්දසිරි මහැදුරන් සිරිකත වෙනුවෙන්ම ඒක්වු සාකච්ඡාවකි

 

පණ්ඩිත් අමරදේවයන් නම් වූ අප මහා ඝාන්ධර්වයාණන් අප හැර ගිය ද එතුමාණන් සැරසු සෞන්දර්යය මාවතේ හිඩසක් ඇති නොවීමට දෙව්මහ බඹුන් මැව්වාක් මෙන් අනතුරුව මෙතුමන් එම පෙළෙහි පසු පසින් සිටියේය.

එමෙන්ම මෙතුමන් එතෙක් මෙතෙක් බිහිකළ සිසු පරපුර සොඳුරු සෞන්දර්යයේ අනාගතයට තැනූ මුර වැටකි.

ඒසේ විශාල සේවයක නිරත වෙමින් සිට අද සිය දිවියේ දශක අටකට වැඩි කළක් දිවිසැරිය සරමින් සිට අප අතරින් සදහටම සමු ගත්තේය.

සුවහසක් සිත් සෞන්දර්යෙන් සුවපත් කළ    ගැයුමෙන් වැයුමෙන් සහ භාෂණයෙන් පිරි ජාතික සම්පතක් වූ සනත් නන්දසිරි මහැදුරානෝ අද අප හැර සදෙව් ලොව ඝාන්දර්ව පරපුරට එක්වුහ.

 

මේ කතා බහ එතුමන් සුජීවත්ව සිටියදී සිරිකත අප වෙනුවෙන්ම ඒක්වු පළිසඳරකි.

අපේ තාත්තා සංගීතයට හුගාක් ආස කෙනෙක්.  ඒ වගේම පළාතෙන්ම ග්‍රැමෆෝනයක් තිබුණේ අපේ ගෙදර විතරයි. ග්‍රැමෆෝනයෙන් පස්සේ පළමුවෙන්ම රේඩියෝවක් ගෙනාවෙත් අපේ ගෙදරට.

මේ නිසාම අපේ තාත්තට හොඳට සින්දු කියන්න පුළුවන්. මම හිතන්නේ තාත්තගේ ආභාෂය නිසාම මටත් සින්දු කියන්න පොඩි කාලේ ඉඳලම හැකි වෙලා තිබුණා.

මගේ සංගිත ලෝකේ මුල් ගුරුතුමා වුණේ හේමතිලක දයාරත්න මහතායි. එතුමා සංගීත ගුරුවරයෙක් නොවෙයි නමුත් මට සරිගම කියා දෙන්න සංගීතය පිළිබඳ දැනුමක් එතුමට  තිබුණා.

එයින් පස්සේ අධ්‍යාපන කටයුතුත් සමඟම මට හේවුඩ් සංගීත විද්‍යාලයට ඇතුළු වෙන්න ලැබුණා. මේ කාලෙදිම ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට සම්බන්ධ වුණා. ඒ කාලේදිම  ඩී. ආර්. පීරිස් මහත්මයාගෙන්  තබ්ලා වාදනය පිළිබඳ ඉගෙන ගත්තා. එතුමාගේ මුල්ම ශිෂ්‍යයා මමයි.

අනතුරුව ඉන්දියාවේ භාත්ඛණ්ඩය හදාරලා ලංකාවේ මේ සංගීත ජීවිතය ආරම්භ කළා.

මගේ ජීවිතයේ ආරම්භය සිදු වෙච්ච ආකාරය කෙටියෙන්ම කියනවානම් ඕන්න ඔහොමයි.

 

ජීවිතයේ මතක ඇති ලස්සනම තැන මොකක්ද

ඔන්න මම ඉන්දියාවෙන් සංගීතය හදාරලා ලංකාවට ආපු අලුත මට ගුවන් විදුලියේ පරීක්ෂණයකට ඉන්න ලැබුණා. මම එතකොට වාදන සහ ගායන යන අංශ දෙකම ප්‍රගුණ කරලා හිටිය නිසා ඒක පහසු වුණා. ඒත් එක්කම මට එවකට සංගීත අංශයේ ප්‍රධානියාගෙන්  නව දැලිහේන කියලා ගීත නාටකයකට  සරළ ගීත ගයන්න අවස්ථාව ලැබුණා.

ඒ කලේදීම  ගුවන් විදුලියේ වෙළඳ අංශයේ හිටපු පී. එල්. ඒ. සෝමපාල මහත්තයාගේ ආරාධනාවකට සරළ ගී තුනක් පටිගත කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ සරළ ගී තමයි..

මීහිරා වී..., ඇවිළුණු ගිනිදැල්...., මහද පෙම් විලේ..., කියන ගීත. මේ අතරින් ඇවිළුණු ගිනිදැල් ගීතය හුඟාක් ජනප්‍රිය වුණා. ඇත්තටම කියනවානම් මට මල්කාන්තිව ජීවිතයට හුඟක් සමීප වුණු කාලයේ තමයි මේ ගීත අතර තිබුණු මිහිරාවී ගිතය අපි දෙන්න පටිගත කලේ .. ඒක ඉතින් ජීවිතයේ මතක හිටින සුන්දර තැනක්..

ඇත්තටම කොහොමද ඒ මිහිරාවියව හමු වුණේ?

ඒකත් රසවත් කතාවක්. මම ඉන්දියාවේ ගිහින් ඇවිත් ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා කාලේ දවසක වෙසක් ගීත නාටකයක් සඳහා සම්බන්ධ වෙන්න ලැබුණා. මගෙත් එක්කම ඉන්දියාවේ ඉඳන් ආපු යාළුවෝ දෙන්නෙක් මාර්ගයෙන්.

ඒ කාලේ ලොකු ස්ටූඩියෝ තිබුණේ නැහැ.. ගෙදරක තමයි ඒ රෙකෝඩින් කලේ. මල්කන්තිගේ ගේ තිබුණෙත් ඒ අසළම තැනක. එදා මල්කාන්ති ඒ ගීත වල සමුහ ගායනයකට එක්ව සිටියා. එදා තමයි අපි දෙන්නා මුළින්ම මුණ ගැහුණු දවස. ඒ අඳුනා ගැනීමෙන් කාලෙකට පස්සේ  අපි දෙන්නා 1971 දෙසැම්බර් 18 වෙනිදා  විවාහ වුණා.

එතැන් ඉඳන් අපි මේ ජීවිතය ගීත වගේ දුක සතුට සහ විටක සරළව සහ වේගවත්ව  ඉදිරියට ගෙනියනවා.

 

ජීවිතයේ අමතක නොවන සිදුවීමක්....

මම තබ්ලා වාදනය ඉගෙන ගන්න කාලේ රේඩියෝවෙන් බොහෝ තබ්ලා වාදන අහනවා ඔස්තාද් අහමද් ජාන් තමයි ඒ කාලේ ඉන්දියාවේ හිටිය හොඳම වාද්‍ය ශිල්පියා. මම බොහෝම සතුටින් එතුමා ගේ වාදන අහගෙන හිටියා. පසුව මගේ සංගීත උපාධියට ඉන්දියාවට යන්න ලැබුණාම මම නොදැනුවත්වම ඒ ප්‍රවිණ සංගීත වේදියා ළඟම තමයි වාඩි වෙලා ඉඳලා තියෙන්නේ.නමින් අහලා තිබුනට පුද්ගලයාව දන්නේ නෑනේ. මගේ ජීවිතයේ අමතක නොවන දෙයක් ඒ සිදුවීම.

 

මට දැන් හැත්තෑ හතයි.

මට වයස දැන් අවුරුදු 79 ක් වෙනවා. මේ ජීවිත කාලේදී මම සින්දු කිය කියා විතරක් හිටියේ නැහැ. අද හුගක් ප්‍රවීණ සහ පිළිගැනීමක් ඇති අය ඉන්නවා ඒ අය කරල තියෙන්නේ ගීත ගායනයයි ගීත නිර්මාණය කිරීමයි පමණයි.

මම මේ ජීවිත කාලේදී දහස් ගණන් ගෝලයෝ හදලා තියෙනවා. ගීත දෙදහසකට එහා ප්‍රමාණයක්  හදලා තියෙනවා. මේ කලාව වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙනවා. ඒ දේවල් සිහි කරද්දී මට මේ ජීවිතය ගැන බොහෝ සතුටක් දැනෙනවා. ඒ වගේම මට ඉතා වටිනා දියණියක් ඉන්නවා ඇය විවාහා වුණු පුතාත් අපට බොහෝම වටින ආදරණීය දරුවෙක්.

දැන් මේ ගෙවන සැඳෑ සමයේ අපි දෙන්නට සතුට කියන දේ ඇති වෙන්න තියෙනවා.  මම හිතන්නේ අපේ වයසේ  බොහෝ අයට නැති දේත්  එයයි.

 

 

මෙතුමාණන්ගේ දිවියට මිහිරක් එක්කළ මල්කාන්ති නන්දසිරි නම් ඇය ජීවිතය විඳින හැටි අප සමඟ බෙදාගත් හැටි...

මම හිතන්නේ ගැහැණු ළමයෙක් ජීවිතයේ වැඩිම ආදරය කරන පිරිමියා හැටියට හඳුන්වන්න පුලුවන් කෙනා තමයි එයාගේ තාත්තා.. තාත්තගේ ආදරයෙන් පස්සේ ඇයට ඒ වගේම රැකවරණයක් දෙන පිරිමියාට ඇය අර තාත්තට දක්වන සෙනෙහසම දක්වනවා. ඒක තමයි නියම ආදරය.

ආන්න ඒ ආදරයත් සමඟ මගේ මහත්තයා මට ලැබුණේ මගේ වාසනාවට. ඒ තරම් ඔහු  ආදරණීයයි.  ඒ වගේම ඔහු ශ්‍රී ලාංකික සංගීත ලෝකයට අමරදේව මහත්මයාගෙන් පස්සේ   මුදුන් මල්කඩ හැටියට කියන්න පුළුවන්.

ඇත්තටම ඒක කවුරුත් පිළිගන්නවා. ඒ වගේම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිධුරය දරන එකම සංගීතවේදියකුවූ   ඔහුගේ බිරිඳ වීම පිළිබඳ මා ඉතාමත් ආඩම්බර වෙනවා.

මම ගායිකාවක් විදියට පමණයි බොහෝ දෙනා අඳුනන්නේ. නමුත්  මම වේදිකා නාට්‍ය හා ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක්.  සුගතපාල සිල්වාගේ නාට්‍යවල සහ කමල් ඩී. අතුකෝරළගේ නාට්‍යය වල රඟපෑවා. මට තාම මතකයි හෙදියක් හැටියට රඟපාපු නාට්‍යක ෆ්‍රෙඩී සිල්වා තමයි දොස්තරට රඟ පෑවේ. තවමත් ගුවන් විදුලියේ ඒ නාට්‍ය ගීත ප්‍රචාරය වෙනවා. ඉතින් මේ විදියට මම දිගටම ඒ අංශයෙන් යන්න හිතුවේ නැහැ.

මම  ඔහු සමඟ විවාහ වෙන විට ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් නොවෙයි. ඒ වන විට මම ඔහුට වඩා ජනප්‍රියත්වයක හිටියේ..නමුත්  මම ඒ හැම දේම කැප කළා.

මොකද මගේ මහත්තයාගේ ගමන් මගට ඔහුට ශක්තියක් වීමට අවශ්‍යයැයි සිතුව නිසා මම ඒ තීරණය අරගෙන ඔහුට සහාය වුණා.

මම එදා ඒ ගත්තු තීරණය නිසා අද ජීවිතයේ ආදරණීය බිරිඳක් ආදරණීය මවක් සහ ආදරණීය සහෝදරියක් හැටියට ඉන්න ලැබිලා තියෙනවා.

 

 

මගේ ජිවිතයේ අංක එක මගේ සැමියා

මම එදා මගේ ගමන් මග ඉදිරියට යනවා කියලා තනි තීරණයක හිටියනම් අද මට හුඟාක් දේ අහිමි වෙලා තියේවී.. මේ කලා ලෝකයේ අපේ ප්‍රවීණ අයගේ බොහෝ ජීවිත අද හුදකලාවේ ගෙවන්න වෙලා තියෙන්නේ ඒ නිසයි.

සැමියා වෙනම බිරිඳ වෙනම තනි තනිව ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා. එක් අයෙක් හරි කැප කිරීමක් නො කළ විට ජීවිතයේ අවසානයේ අද අපි විඳිනවා වගේ සතුටක් විඳින්නම් ලැබෙන්නේ නැහැ.

මගේ ජීවිතයේ අංක එක මගේ සැමියා..ඒ ඇයි දන්නවද ? මේ ජීවිතයේ මගේ මහත්තයා ලැබූ හැම ජයක් හමුවේම නොසැලි දායක වෙන්න ලැබීම ගැන මම පුදුම සතුටක් ලබනවා. ඒක ගැන ලෝකයෙන් ප්‍රශංසා මම බලා පොරොත්තු වෙන්නේ නැහැ. මොකද මගේ ස්වාමිපුරුෂයා යම් ජයක් ලබනවද ඒ සියළු ජයග්‍රහණ මටත් ලැබෙනවා ඔහු මටත් නිර්ලෝභීව ඒක බෙදා දෙනවා.

ඒ වගේම මම හිතන්නේ අපිට එන්න ඕන ගමනේ තුන් කාලක් ඇවිත් තියෙන්නේ දැන් තව යන්න තියෙන්නේ තව කාලයි.

 

ආගම් දර්ශනය

අපි දෙන්නා ආගම් දෙකක මම කතෝලික මහත්තයා බෞද්ධ අපි දෙන්නා එකම කාමරයේ එකම තැන අපි දෙන්නගේ ශාස්තෘවරුන් අදහනවා. ජීවිතයේ සමඟිය කියන දේ අපි එතනින් පටන් ගත්තේ.

අපි දෙන්නා එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීම කියන දේ  අපේ ආගම් තුළින්ම ආදර්ශයක් එක් කළා කියලා මම හිතනවා.

 

 

නිවසේ අඩුවක් නැති ආදරය

ඒ වගේම අපේ ගෙදර අඩුවක් නැතිව ආදරය තියෙනවා. ඒක මම මහත්තයාටත් මහත්තයා මටත් අපි දෙන්නා දුවටත් දුව අපිටත් එහෙමයි. ඒ වගේම  දුව බැඳපු පුතාත් අපේම වාසනාවට අපේ පවුලට එකතු වෙච්ච කෙනෙක්. ඒ පුතාගේ අම්මා අපිව දන්න කාලේ ඉඳලාම අපේ රසිකාවියක්.. මේ හැම දේම අපේ ගෙදර ආදරය උතුරා යන්න තියෙන කාරණාවන්.

දන්නවද අපේ ගෙදර පූසෝ දොළොස් දෙනෙක් ඉන්නවා..බල්ලො දෙන්නෙක් ඉන්නවා. මේ අයටත් අපේ ආදරය අඩුවක් නැතිව ලැබෙනවා.

කිසි දවසක වයසට යද්දී වුවත් තනිකමක් හුදකලාවක් නොදැනෙන එකම ඖෂධය තමයි මේ වයසට යන විට සිත තුළට ආදරය කරුණාව කියන දේ ඇති කර ගැනීම.

ඒතුළින් ලෝකයෙන් ලැබෙන ප්‍රති ආදරය අපට කවදාවත් තනිකමක් ඇති කරවන්නේ නැහැ.

කතා බහ සහ සේයාරෑ -  විශ්ව ගැමුණු ප්‍රියංකර


 

ලග්න පලාඵල Read Previous

ලග්න පලාඵල

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post