ඇයත් මනුස්සයෙක්

 

අදට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සිරිකත Online, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි  මණ්ඩපයේ කථිකාචාර්ය අනූෂා සිවලිංගම් මෙනවිය සමඟ සිදු කළ සාකච්චාමය සටහනයි මේ.


කාන්තාව වෙනුවෙන් දිනයක් තිබීම විතරක් ප්‍රමාණවත් ද  ?

ලෝකයේ සුවිශේෂී දේවල් සහ පුද්ගලයන් මූලික කරගෙන විවිධ දින නම්  කරලා තියෙනවා. මෙලෙස නම් කිරීම ඇතුළේ හරි හෝ වැරදි  විදියට  දෙපැත්තක්  මං දකිනවා. කාන්තාව සුවිශේෂී චරිතයක් වීම නිසා තමයි කාන්තා දිනය මේ විදියට නම් කරල තියෙන්නේ. ඒකට හේතුව කාන්තාවට ගරු කිරීමක් නොලැබුණ එකත් එක්ක  අඩුම තරමේ ඒ දිනයටවත් ඒ පිළිබඳ සමාජ කථිකාවතක් ගොඩනැගෙන  නිසා.

මම මේක දකින්නේ කාන්තාවගේ පැත්තෙන්  ධනාත්මක දෙයක් විදියට. ඒවුණාට ඒක ඇතුළෙම සෘණාත්මක අදහසකුත් තියෙනවා. ඒ තමයි අනෙක් හැම දවසකම  කාන්තාවට ලැබෙන්න ඕන සමාජ පිළිගැනීම, ගරු කිරීම ඒ විදියටම නොලැබුණ එක. දිනයක් නම් කරන්නේ නිසි පිළිගැනීමක්, ගරු කිරීමක් නොලැබුණු නිසා වුණත් ඒ නම් කිරීම ඇතුළෙම අනිත් දිනවල ගරු කිරීමක් වෙන්නේ නැහැ කියන අදහස තාමත් තියෙනවා. තව දෙයක් තමයි එහෙම නම් කිරීමක් සිද්ද වෙලා තියෙනවා නම් අඩුම තරමේ ඒ දිනයෙවත් කාන්තාවක් පිළිබඳව සමාජ කථිකාවතක් ගොඩනඟලා තියෙනවද කියන එක වැදගත් වෙනවා. සැමරීම කියන එක තුළ දිනයක් විතරක් නෙවෙයි,  ඇගේ  වේදනාව, අසමානතාව පිළිබඳව සමාජ කථිකාවතක් තිබීම අවශ්‍යමයි.

 

කථිකාචාර්ය අනූෂා සිවලිංගම්

සාහිත්‍ය ඇතුළෙ කාන්තාවට තිබුණ තැන සහ වත්මන් තත්වය මොනවගේද?

වෙලාවකට හිතෙනවා ඒකත් හරියට පක්ෂ දේශපාලනය වගේ කියලා. අතීතයේ සාහිත්‍යය ගොඩනැඟෙන්න නම් අධ්‍යාපනය  කියන දේ අවශ්‍යයම දෙයක් වුණා. නමුත් මුල් කාලීනව  කාන්තාවට අධ්‍යාපන අයිතිවාසිකම් හිමි වුණේ නැහැ .පස්සේ අධ්‍යාපන  අයිතිය ලැබීමත් එක්ක පොදු සමාජය ගැන වගේම තමන් ගැනත් ඇගේ සාහිත්‍යයෙන් කතා කරන්න පටන් ගත්තා. පක්ෂ දේශපාලනය හා සසඳලා බලනකොට සමහර වෙලාවට දේශපාලනය තරම් ප්‍රගතිශීලී නොවෙන්න පුළුවන්. මොකද සාහිත්‍යය ඇතුළෙ සමහර වෙලාවට දකින්න ලැබෙන්නේ යටත්විජිත අදහස අනුමත කරන සාහිත්‍යයක්. ඒත් සමහර වෙලාවට සාහිත්‍යය යම්තාක් ඉදිරියෙන් ඉන්නවා. මොකද ඒක ඇතුළෙ ස්ත්‍රි විමුක්තිය පිළිබඳව කතාබහ කරල තියෙන නිසා. සමහරක් ලේඛිකාවන් ලිබරල් මතයට ඉඩ දෙද්දී සමහරු  රැඩිකල් මතයට ඉඩ දීලා තිබෙනවා. හැබැයි වෙලාවකට ලිබරල් ව  හිතන  එක ඇතුළෙත ලිංගිකත්වය වගෙ මාතෘකා ගැන නිදහසේ හිතන්න පුළුවන් වෙලා තියෙනවා. වර්තමානය වෙනකොට සාහිත්‍යමය පැත්තෙන් ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් විදිහට ප්‍රගතිශීලී රචකයන් බිහිවෙමින් ඉන්නවා. නමුත් තාමත් ලංකාවෙ ඒ සම්බන්ධව දාර්ශනික කතිකාවත බිහිවෙලා නැහැ .මෑත කාලීනව  දකින්නට ලැබුණු දේ තමයි ලංකාවේ කිවිදියන් රැඩිකල් චරිත බිහිකරන ෆැන්ටසියක ජීවත් වෙන එක .


ගැහැනිය පිළිබඳව සමාජය තුළ තියෙන සාම්ප්‍රදායික මතය මොනවගේද?

දැන් වෙනකොට කාන්තාව කුස්සියට  විතරක්  හිරවෙලා ඉන්න කෙනෙක් නෙමේ. පොදු අවකාශයේ වගේම සමාජ මාධ්‍ය   හරහාත් ඒ ගැන ගොඩක් කතා කරනවා අපිට දකින්න පුළුවන්. අතීතයේ ඉඳන්ම තිබ්බ  අදහසක් තමයි ගැහැණුන්ගෙ වැඩ කුස්සියෙ කියන දේ. දැන් එහෙම කියන්නේ නැති වුණත් වක්‍රාකාරව ඒක සිද්ධ වෙනවා. රැඩිකල් ව කතා කරන ලේඛිකාව වුණත් තමන්ගෙ ගෙදරට ගියාට පස්සෙ සුපුරුදු සම්ප්‍රදායික චරිතයට තමයි  පණ පොවන්නෙ. කොයිතරම් සමාජයේ ඉදිරියේ රැඩිකල් මත දරන පිරිමි උනත් ගෙදර ගියාට පස්සෙ  සුපුරුදු සාම්ප්‍රදායිකත්වය ට හැඩ ගැහෙනවා.

 

වර්තමාන සමාජයේ කාන්තාව විශේෂයෙන්ම තරුණිය ස්වාධීන ජීවිතයක් ගත කිරීමට නැඹුරු වෙලා  තියෙනවා. ඒක ඔබ දකින්නේ සම්ප්‍රදාය බිද දැමීමක් විදියටද? ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. වර්තමාන සමාජය තුළ තරුණිය සාම්ප්‍රදායිකත්වයට වඩා එය අභිබවලා ස්වාධීනව කටයුතු කරනවා දකින්න පුළුවන් දෙයක්.  එය සමාජ පරිවර්තනයෙම කොටසක් බවට පත්වෙනවා. හේතුව තමයි කාන්තාවම විතරක් නෙවෙයි වර්තමානයේ  ස්වාධීන වෙලා තියෙන්නෙ. මේ අදහස සංවර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී  ලාභදායී අරමුණු පෙරදැරි කර ගෙනත් කාන්තාව ස්වාධීන කෙනෙක් ලෙස හැඳින්වීමට පෙළඹී ඇත. අද කාන්තාව ස්වාධීනයි කියලා අතීතයේ කාන්තාව ස්වාධීන නැහැ කියලා අපිට කියන්න බැහැ .අතීතයේදීත් ස්වාධීන කාන්තාවන් හිටියා. ඔවුන්ව සමාජයෙන් සඟවා තිබුණේ. උදාහරණයක් විදියට මීනාක්ෂි අම්මාන්  වගේ වතු කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ ප්‍රගතිශීලිව හඬ අවදි කළ කාන්තාවන් පිළිබඳ කතාබහ යටගැසීම දක්වන්න පුලුවන්. සමාජ පරිවර්තනයත්, තාක්ෂණයේ දියුණුව සහ සමාජ මාධ්‍ය වල පැතිරීමත් සමග අතීතයට වඩා කාන්තාවන් ස්වාධීන වීමක් මේ වෙනකොට දැකිය හැකි තත්වයක්.

 

එවැනි පසුබිමක කාන්තාව සවිබල ගැන්වීම සිදු වෙන්න  ඕන මොනවිදියටද?

පළවෙනිම දේ කාන්තාව නිහඬ  නොකරන  එක. ඇය කියන්නේ සාම්ප්‍රදායික දෙයක් ද රැඩිකල් දෙයක් ද කියන එක අදාළ නැහැ ඇගේ හඬට ඉඩක් දෙන්න ඕන. දෙවැනි දේ තමයි, සාම්ප්‍රදායිකත්වය අභිබවල ඇය දෙයක් කියනවා කියලා හිතමු ඒකටත් ඉඩ දෙන්න ඕන. ඒ නිසා කාන්තාව නොරිස්සන දෙයක් සමාජය  නොපිළිගන්නා දෙයක්  විවෘතව කතා කරනකොට නිහඬ කරවීම සුදුසු දෙයක් නෙමේ. තුන්වෙනි දේ තමයි සමානාත්මතාවය. තවමත් සමානාත්මතාවය කියන එක කාන්තාවට හිමිවෙන්නේ නෑ.ඇයට හිමි වෙලා තියෙන්නෙ දෙවැනි තැන. තවත්අමතක නොකළ යුතු දෙයක් තමයි සංකාන්තිකයන් කියන්නේ ත් එක්තරා විදියේ කාන්තා නිරූපණයක් කියන එක. අද වෙනකොට කාන්තාවට හිමි වෙන තැනවත් එයාලට ලැබිලා නැහැ. ඒ ගැන අපි කවදද කතා කරන්නෙ. බිම් මට්ටමේ ඉඳලා ඒ ගරු කිරීම ඔවුන්ට ලබා දෙන්න අවශ්‍යය  සවිබල ගැන්වීම අපි සිදු කරන්න ඕනේ. ඒක නිසා සමානාත්මතාවය කියන දේ  අත්‍යවශ්‍යම දෙයක්. පොදුවේ පැවසුවොත් මේ සියල්ලටම වඩා අවධානය දිය යුතු එකම දෙය නම් මානවවාදයයි. කාන්තාව කියන්නෙත් මනුස්සයෙක්.

 

කාන්තා දිනය පෙරදැරි කරගෙන සිදුවන ස්ත්‍රී විමුක්තිය පිළිබඳ කතිකාවත තුළ සැබෑ  ස්ත්‍රීය නියෝජනය වනවාද ?

කවුරු හරි දකිනවා නම් සාම්ප්‍රදායිකත්වයට එහා ගිය කාන්තාවක් එතන ප්‍රගතිශීලී කාන්තාවක් අනිවාර්යෙන්ම ඉන්නවා. ප්‍රගතිශීලී කාන්තාව විසින් ප්‍රගතිශීලී කාන්තාව වගේම සාම්ප්‍රදායික කාන්තාවත් නියෝජනය කරනවා .ඒ වගේම තමයි ප්‍රගතිශීලී කාන්තාව අහසින් වැටුණ කෙනෙක්  නෙමේ. සාම්ප්‍රදායික සමාජයෙම ඉඳලා ඒ අත්දැකීම් පන්නරයක් කරගෙන ප්‍රගතිශිලි අදහසක් එයා තුළ ඇති කරගන්නවා. ප්‍රගතිශීලී කාන්තාවක් අපි කොහෙහරි දකිනවා නම් අපිට බෑ කියන්න එයා සාම්ප්‍රදායික සමාජය නියෝජනය කරන්නේ නැහැ කියලා. අනිවාර්යෙන්ම ප්‍රගතිශීලී කාන්තාව ගොඩනැඟෙන්නේ නැහැ සාම්ප්‍රදායිකත්වයට  එරෙහිව නැගී සිටීමක් නැත්නම්. කිසිමවෙලාවක සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව ප්‍රගතිශිලීත්වය  ගොඩනගන්න බෑ. මම දකින විදියට මේක ඇතුළෙ ස්ත්‍රිය නියෝජනය වෙනවා. කාන්තාව නියෝජනය වෙන්නේ නැහැ කියලා විවේචන තිබ්බත් ඒවා ප්‍රගතිශීලී කාන්තාව පසු බස්සන්න යොදාගෙන තිබෙන විවේචනයක් වෙන්න  පුළුවන්.

 

අවසාන වශයෙන් කාන්තා දිනය ගැන ඔබ ලබාදෙන පණිවිඩය මොකක්ද ?

කාන්තා දිනයට පණිවිඩයක් අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ. කාන්තාව ගැන කාන්තා දිනයේදී කතා කරලා එතැන ම නතර වෙනව නම් එතනත් තේරුමක් නැහැ. මේක මෙහෙම වෙන්න ඕනේ කියලා මේ මොහොතේ කිව්වොත්  එක ඊළඟ තත්පරේ   වෙනස් වෙන්න පුළුවන්. නිතරම වෙනස් වෙන සමාජයක කාන්තාව, කාන්තාව විදිහටම රාමුගත කරන එක  සුදුසු දෙයක් නෙමෙයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ  මෙච්චරයි. ඇයත් මනුස්සයෙක්.

සටහන - නෙත්මි තෂාරා


 

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Previous

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Next

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

Realted Post