ඇදුරු දිවියක සොඳුරු සටහන් - ලෝචනා ඉසුරින්දි
විශ්ව සාහිත්‍ය බිහි කළ මහා ඇදුරාණන් ‘දුයිෂෙන්’ ය. ඒ ඇදුරු මග යමින් ජීවිතය දිනූ දයාබර ශිෂ්‍යාව ‘අල්තීනා’ය. දුයිෂෙන් තමන්ගේ ආදරණීය රැකවරණය තුළ තියාගනිමින් ඔවුන්ට කියා දුන්නේ අකුරු පමණක්ම නොවේ. ජීවිතයද එහි ලියවී තිබිණ. ඔබ නැතත් ඔබේ පියසටහන් මතක සුවඳ ගැන්වූ පොප්ලර් ගස් එදා උගත් පාඩම්වල සවියෙන් අද මහා හිම කුණාටුවලට පවා නොසැලී අභිමානයෙන් හිස ඔසවා ඇත. ඇය සමග කතා කළ විට මගේ මතකයට ආවේ සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචනා කළ ආදරණීය නවකතාව ගුරු ගීතයයි. ඇයද දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය උදෙසා සිහින දකින්නියකි. වෘත්තියෙන් ගුරුවරියක් වූ අැය ්ක්ෂක ආදරය නොඅඩුව ලබන ලෝචනා ඉසුරින්දි.
අති දුෂ්කර පාසලක් වන කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පනහැටගල විද්‍යාලයේ දරුවන් තිදෙනකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව තිබීමේ පුවතක් සමග කරළියට එන මේ සුන්දර කතාව ඇතුළේ තිබෙන කටුකත්වය, කැපකිරීම් ගැන වගේම කාන්තාවක්, ගුරුවරියක් ලෙස දරුවන්ගේ ලෝකය දෙස ඇය බලන්නේ කෙසේද කියා කතාබහ කරන්න සිතුණේ මේ මාසය අපට තවත් විශේෂ වන නිසයි. ඒ ලෝක ළමා දිනය වගේම, ගුරු දිනයත් ඔක්තෝබර් මාසයේම යෙදී තිබීමයි.
මේ දුෂ්කර පාසලේ ඇය සමග දුක සතුට බෙදා ගනිමින්, පොතපත මෙන්ම ජීවිතයද ඉගෙන ගන්නා මේ පුංචි පැටවුන්ගෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් පස්දෙනාෙගන් දරුවන් තිදෙනෙකු කඩඉම් ලකුණු ලබා ගනිමින් සමත් වී තිබුණි. අනෙක් දරුවන් දෙදෙනාද ලකුණු සියයට වැඩියෙන් ලබාගෙන තිබීම විශේෂත්වයකි. පහසුකම් නොමැති පාසලක දුෂ්කර ලඳු කැලෑ පසුකරමින් පයින්ම විත් අකුරු උගත් මේ දරුවන්ගේ ජයග්‍රහණ සුවිශේෂී වන්නේ ඒ කටුක අත්දැකීම් නිසයි. ඒ අමාරු ගමන් මග පිටුපස ශක්තිමත් දෑත හිමි ගුරු භූමිකාව වූයේ ලෝචනා ඉසුරින්දිය. ඒ ගැන මතක අවදි කළ ඇය අප සමග මෙසේ පැවසුවාය.
“මගේ කැපකිරීම, මගපෙන්වීම වගේම ඒ ජයග්‍රහණයට මහා පහන්ටැඹක් වූ තවත් පිරිසක් සිටිනවා. ඒ පාසලේ විදුහල්පතිතුමා සහ 1,2 ශ්‍රේණි ඉගැන්වූ ගුරුවරු. මේ දරුවන් තවමත් කලවාන පාසලේ ඉගෙන ගනිමින් සිටිනවා. ඔවුන් ඉදිරියේදී කලවාන නගරයේ ඇති ලොකු පාසල්වලට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා.”
ගුරුවරියක් ලෙස තව තවත් ඉගෙන ගනිමින් සිසුන්ගේ ජීවිතවලට ආලෝකයක් වීම ඇගේ එකම අරමුණ බවට පත්ව තිබේ. කථිකාචාර්යවරියක් වීමට සිහින දකින ලෝචනාගේ ගුරු ජීවිතය තුළ දරුවන් සමග ගෙවන කාලය කටුක නමුත් සුන්දර බව ඇය පැවසුවාය.
“‘ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට’ මෙවර ලෝක ළමා දිනයේ තේමා පාඨය වූයේ එයයි. දරුවන්ට පොතපතේ අකුරු කියා දුන්නට මදි. ඔවුන්ට ජීවත් වීමේ කලාව සොයා දෙන්න ඕනෑ. ඉතින් මම හැමදාම හිටියෙ මම ගුරුවරයා කියන තැනම නෙවෙයි. සමහර දේවල් දරුවන්ගේ ලෝකයට දෙන්න නම් අපේ තනතුරු අමතක කරලා ඔවුන්ගේ ලෝකවලට යන්න සිදුවෙනවා. ඔවුන්ව ආදරයෙන් සුරකින්න නම් අපිට එහෙම කරන්න වෙනවා. එයාලව තේරුම් ගන්න, අවබෝධ කරගන්න නම් එහෙම නොවී බැහැ.”
වෘත්තියෙන් ගුරුවරියක් මෙන්ම රංගන ශිල්පිනියක් වුවද ඇය රංගන ජීවිතයේ බොහෝ අවස්ථා ගුරු වෘත්තිය වෙනුවෙන් මගහැරගෙන තිබුණි. විශේෂයෙන් දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාග කාලවලදී ඇය ඒ සියල්ල පසෙක ලා සම්පූර්ණ කාලය දරුවන් වෙනුවෙන් ගතකර තිබුණේ, මේ දුෂ්කර ජීවිත වලින් පැන ගොස් අලුත් ලොවක් පෙන්විය යුතු නිසයි.
“ශිෂ්‍යත්වය කියන්නේ කඩඉමක් විතරයි. ජීවිතේ ඉගෙන ගැනීම ආරම්භ කරන්න ඕන දැන්. මම මගේ දරුවන්ට කියල දෙන්නේ පරිසරය සමග ජීවත් වෙන්නයි. මොකද මොනතරම් උගත්, බුද්ධිමත් කෙනෙක් වුණත් වැඩක් නැහැ තවත් කෙනෙක් රිද්දන, කුහක වෙන පුද්ගලයෙක් නම්. මම ඔවුන්ට හැම වෙලාවකම කියන්නේ තවත් කෙනෙක්ට අභියෝග කරමින් ඉස්සරහට යන්නෙ නැතිව තමන්ට තමන් අභියෝගයක් වෙමින් ඉදිරියට යන්න කියලයි. ඉතින් ඔවුන් සොබාදහමට ආදරය කරන උගත් දරුවන් පිරිසක් වෙනවා දකින එක තමයි මගේ ලොකුම සිහිනය.”
- නයනා උදයංගනී
- Pic By : Rushiru Colambathanthrige
Leave a comment