අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ සිරිකත ගෙන එන සටහනකි මේ

එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසය තුළ මෙරට මාතෘ භූමියට ඇද හැලෙන ප්‍රබලතම වර්ෂාපතනය මේ වන විට ඇද හැලෙමින් පවතිනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ වන විට සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 47ක් බවට වාර්තා වී තිබෙනවා. 

එමෙන්ම අතුරුදන් පිරිසක් ද සිටින බවයි ආපදා කළමණාකාර මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. 

පවුල් 1,729 කට අයත් පුද්ගලයින් 5,893 දෙනෙක් මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් පුද්ගලයින් 23 ක් මිය ගොස් ඇති අතර, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නාය යෑමේ හේතුවෙන් මරණ 6 ක් සිදු වී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙර පාසල් අද (28) සිට නිවාඩු ලබා දී ඇති අතර සියළුම දුම්රිය ගමනාගමනයන් අත්හිටවා ඇති බව සඳහන්. 

උසස් පෙළ විභාගය ද කල් දමා ඇති අතර  අත්‍යවශ්‍ය සේවා හැර සියළුම රාජ්‍ය සේවා වලට අද දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව, එළඹෙන 30 වැනිදා දක්වා මෙය ක‍්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් නිවේදනය කළේ.

යම් නිලධාරියෙකුට පවතින ආපදා තත්ත්වය හමුවේ අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි නම්, ළඟම ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා. 

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් 19 ක් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි නොවැම්බර් 22 දින සිට නාවික හමුදාව විසින් අනුයුක්ත කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම නාවික හමුදා සහන කණ්ඩායම් විසින් ආපදා සහන මෙහෙයුම් අද දිනයේදීත් (28) අඛණ්ඩව සිදු කරමින් ඇති අතර, ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පාසැල් ළමුන් ඇතුළු පුද්ගලයන් 911 දෙනෙකු ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම, සැඩ සුළං හේතුවෙන් ඇද වැටුණු ගස් ඉවත් කිරීම, ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදාගැනීම, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින බවයි සඳහන් වන්නේ. 

සටහන - කසුනි විජේසිංහ 

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Previous

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment