කාන්තාවට ලැබිය යුත්තේ සම තැන නොව නිසි තැන

කාන්තාවන්ට ලැබිය යුතු තැන කොතන ද ? යන්න සම්බන්දයෙන් සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම සජබ මොණරාගල  දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරිය  කරන සසිනිකා ජයලත් සමඟ සිදුකළ සංවාද සටහනකි මේ. 

 

සමාජයේ වැඩි වශයෙන් ඉන්නේ  කාන්තාවන් ද ?
ඔව් අනිවාර්යෙන්ම. මේ වෙනකොට ලංකාවේ  ජනගහනයෙන් 52% කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නේ  කාන්තාවෝ. ඒක නිසා කාන්තාවට විශාල කාර්යභාරයක් පැවරිලා තියෙනවා.

 

ඒ කාර්යභාරය ඇතුළේ කාන්තාව සමඅයිතිය දිනාගන්නේ  කොහොම ද ?
මම කැමතියි සම අයිතිය කියනවට වඩා ඒකට නිසි අයිතිය කියනව නම්. කාන්තාව සහ පුරුෂයා කියන්නෙ විද්‍යාත්මක වශයෙන් වෙනස් විදියට  ඉපදෙන කොට්ඨාස දෙකක්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන විෂය ඇතුළෙත්  කතා කරන්නේ ඔවුන් දෙදෙනාටම සමතැන ලැබිය යුතුයි කියන අදහස. නමුත් සමාජයේ කාන්තාවට වෙනස් කොට සළකනවා. ඒකනෙ අපට නිසි අයිතිය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නෙත් .කාන්තාවගේ කාර්යභාරය වෙනස් වෙලා තිබුණත් පිරිමියගේ කාර්යභාරය වෙනස් වෙලා නැහැ. ඒකෙන් පීඩනයට පත් වෙන්නෙ කාන්තාව. පුරුෂයගෙ කාර්යභාරයත් ඒ හා සමානව වෙනස්  වෙන්න ඕන.කාන්තාවට නිසි තැන ලැබෙනව නම් සම තැනක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

 

විවිධ ක්ෂේත්‍ර තුළ කාන්තාවගේ  නියෝජනය  වැඩි කරගන්නෙ කොහොමද?
කාන්තාවට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා ඒක. මොකද නිසි තැන නොලැබීම නිසා විවිධ ක්ෂේත්‍ර තුළ කාන්තා නියෝජනය වැඩිකර  කරගැනීම ට හැකියාවක් ලැබිලා නැහැ. කාන්තා නියෝජනය වැඩි කරගත යුත්තේ කාන්තා හයියෙන්ම යි. තමන්ට අසාධාරණයක් වෙනව නම් අඩිය පස්සට තියෙන්නේ නැතුව කතා කිරීමේ හැකියාවක් කාන්තාවට තිබිය යුතුයි. කාන්තාව සම්බන්ධයෙන් රටේ ඕනතරම් නීති තියෙනවා. ගොඩක් කාන්තාවන් ඒ ගැන දැනුවත් නැහැ.

ජන හා සංඛ්‍යාලේඛන  දෙපාර්තමේන්තුව  සමීක්ෂණයකින් හොයාගන්නවා සියයට හතළිහක් පමණ කාන්තාවන් විශ්වාස කරන දෙයක් තමයි තමන්ට වඩා පුරුෂයා ඉහලින් සිටිය යුතුයි කියන දේ.ඒ නිසා ඇය ගොඩක් වෙලාවට පුරුෂයාගෙන් එල්ලවන  හිංසනයට විරුද්ධ  වෙන්නේ නැහැ.
 

කාන්තා හිංසනය,පීඩනයට විරුද්ධව කාන්තාව හඬක් නැගුවොත් ඇයට සමාජයෙන් පිළිසරණක් ලැබෙනව ද  ?
සංඛ්‍යාත්මකව ගත්තොත් කාන්තා ශක්තිය වැඩියි. කාන්තාවක් තමන්ට සිද්ධ වෙන  අසාධාරණයකට එරෙහිව ඉදිරියට  එනවා නම් ඇය වෙනුවෙන්  සෙසු කාන්තාවන්වත් අඩුම තරමේ  පෙනී සිටිය යුතුයි. හැබැයි හැම සිද්ධියකදීම කාන්තාව නිවැරදි වෙන්නේ නැහැ. කාන්තා භාවය උපයෝගී කරගෙන කාන්තාව වැරැද්දක් කරනවා නම් එතනදි ඇය වැරදීයි. එහෙම නැතුව කාන්තාව අසාධාරණයට විරුද්ධව නැගී සිටිනවා නම් එතැනදී කාන්තාව නිවැරදි නම් ඇය වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි  කියන එකයි මගේ අදහස.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය 25% ක් කළොත් කාන්තාවට නිසි තැන ලැබෙයි ද ?
ඒ දේ හොඳයි. 25% ක කාන්තා නියෝජනය පසුගිය රජයන් විසින් සිදු කළ දෙයක්. නමුත් ඒ තීරණය ගත යුතුව තිබුණේ ඒ විදියට නෙමෙයි. එදා ඉඳලම අපේ රටේ කාන්තාවට දේශපාලන නියෝජනය කියන දේ දුරස් වෙලා තිබුණ දෙයක්. එහෙම වාතාවරණයක එකපාරට කාන්තා නියෝජනය දේශපාලනය තුළට ගෙන ඒමෙන් වෙන්නෙ.

 
දේශපාලනය පිළිබඳ අත්දැකීම් විරහිත, උගත් භාවයෙන් තොර කාන්තාවන් දේශපාලනය කරන්න පෙළඹෙන එක. ඒක නිසා මුලින්ම කරන්න ඕනේ කාන්තාවට දේශපාලනය පුහුණු කරන එක. තව දෙයක් තමයි  ප්‍රාදේශීය  මට්ටමෙන් කාන්තා නියෝජනය වැඩි කරනවට වඩා සිද්ධ විය යුත්තේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීමයි.


කාන්තාව කොහොමද  අභියෝග ජය ගනිමින්  ඉදිරියට යා යුත්තේ?
කාන්තාව කියන්නෙ මේ ලොකේ ජීවය. තම වර්ගයා බෝ කරන්න වගේම  මනුෂ්‍යත්වය ඉදිරියට ගෙනියන්නත් දායක වෙන  උත්තරීතර කෙනෙක් කාන්තාව. අම්මා කෙනෙක් විදියට කාන්තාවට තැනක් තිබුණට අනෙක් තැන්වල දී කාන්තාවට  ඒ තැන ලැබෙනවද කියන එක ගැන තියෙන්නේ ප්‍රශ්නයක්. කාන්තාවට ශක්තියක් තිබිය යුතුමයි  තමන්ව තේරුම් ගන්න වගේම තමන් උත්තරීතර කෙනෙක් කියන එක සමාජයට ඒත්තු ගන්වන්න. කාන්තාවට තමන්ගේ වටිනකම රැකගෙන ඉදිරියට යාමට  හැකි නම් මම  විශ්වාස කරනවා කාන්තාවට ඕනෑම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න පුළුවන් කියලා.

සටහන - නෙත්මි තෂාරා
(Online ලංකාදීප  ඇය සහ ඔහු වැඩසටහන ඇසුරෙන් )

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Previous

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

සා.පෙළට යන දරුවන්ට  සුබ නැකත් Read Next

සා.පෙළට යන දරුවන්ට සුබ නැකත්

Realted Post