කිරිපිටිනැති ටීඑකක් පොල් කිරි හාල් කිරි තේ

 

උදේට කිරි තේ එකකින් දවස පටන් ගන්න පුරුදුවෙලා ඉන්න හුඟදෙනෙක් දැන් කිරිපිටි මිල ඉහළ යෑමෙන් දැඩි අපහසුතාවට පත්වෙලා. සමහර අයගේ දවසේ ප්‍රබෝධය රඳා පවතින්නේ කිරි තේ එකත් එක්ක. ඒ නිසා උදේ කිරි තේ එක නැතුවම බෑ. ඒ කොහොම වුනත් කිරි පිටි මිලත් ඉහළ ගිහින් තිබෙන වෙලාවේ කිරිපිටිවලින් හදන කිරි තේ එකේ රසටම කිරි පිටි නැතිව පෝෂණීය කිරි තේ එකක් හදමුද?  

 

උපදෙස් දේශීය සූපශාස්ත්‍ර සහ ස්වාභාවික රූ සත්කාරක පර්යේෂිකා 
පංචමී හේවාවිසෙන්ති

එළකිරි, එළු කිරි ඇතුළු සත්ත්ව කිරි වර්ග හැරුණු කොට, සෝයා කිරි අපට හුරුපුරුදුයි. ඒ වගේම ආමන්ඩ් මිල්ක් වැනි පිටරටින් ආනයනය කරන කිරි වර්ගත් ඉහළ මිල ගණන්වලට සුපිරි වෙළෙඳසැල්වල විකිණීමට තබා ඇති අයුරු දැකගන්න පුළුවනි. ඊට අමතරව ඕට් මිල්ක්, කජු කිරි (කැෂූ මිල්ක්) ද ශාකවලින් සකසා ගන්නා වීගන් කිරි වර්ග  ලොව පුරා ජනප්‍රියයි. සත්ත්ව කිරිවලට ආසාත්මිකතාවක් දක්වන පුද්ගලයින්ට මෙම වීගන් නැතිනම් ශාකමය කිරි ඉතා සුදුසුයි. 


මේ කියන්න යන්නේ ඊට හොඳම විසඳුමක් විදියට ලේසියෙන්ම නිවසේ තිබෙන අමුද්‍රව්‍යවලින් කිරි තේ එකක් හදාගන්න අපූරු ක්‍රමයක් ගැනයි. ඒ පොල්කිරි තේ සහ හාල්කිරි තේ. 

 

හාල් කිරි තේ
හාල් කිරි තේ සැකසීමට සුවඳැල් වැනි සහල් වර්ගයක් ගත හැකි නම් අනෙකුත් සහල්වලට වඩා වැඩි රසයක් ලබාගන්න පුළුවනි. සහල් කිරි සැකසීමට රතු සහ සුදු සහල් භාවිත කළ හැකි වුවත්, සුදු සහලින් සකසන කිරිවල ප්‍රසන්න වර්ණයක් සහ රසයක් තිබෙනවා.


අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පීරිසි කෝප්ප 1/2 ක්
තේ කොළ තේ හැඳි 1 ක් 
කුරුඳු කුඩු ස්වල්පයක්
එනසාල් කරලක්
සීනි රස අනුව

 

 


සකසන ආකාරය
සුවඳැල් හාල් මඳගින්නේ බැදගන්න. හාල් රන්වන් පාට වී හොඳ සුවඳක් විහිදෙන තුරු බැද ගැනීම ප්‍රමාණවත්. රෝස්ට් කරගත් හාල් දියේ දමා පැය 5 ක් පමණ පෙඟෙන්නට තබන්න. පසුදා උදෑසන සහල් කිරි සකසන්නේ නම් රැයක් පුරා පෙඟෙන්නට තබන්න. පොඟවාගත් සහල්වලට වතුර ස්වල්පයක් දමා (වැඩිපුර වතුර එක්කරන්න එපා) බ්ලෙන්ඩරයකින් හොඳින් අඹරා ගන්න. මිරිස් ගලක් භාවිතයෙන් ද තලපයක් ලැබෙන සේ අඹරා ගන්නත් පුළුවනි. 


උතුරන වතුර පීරිසි කෝප්පයකට තේ කොළ දමා හොඳින් තම්බා ගන්න. හොඳින් අඹරා ගත් සහල්වලට කහට එක්කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය රෙදි කඩකින් හෝ සිහින් සිදුරු සහිත පෙරනයකින් පෙරාගන්න. ඉන්පසු භාජනයකට දමා රත්කර ගන්න. උතුරුවා ගැනීම අවශ්‍ය වන්නේ නෑ. 
එනසාල් කුඩුවන සේ තළාගන්න. තළාගත් එනසාල්, කුරුඳු කුඩු සහ සීනි හාල් කිරි එකට මිශ්‍ර කර උණුසුම්ව පානය කරන්න.  
සහල් කිරි උණු කරන නිසා තරමක උකු ගතියක් තිබෙනවා වගේම ප්‍රණීත රසයක්ද තිබේනවා.

 

පොල්කිරි තේ
සිරුර සිසිල් කරන පොල් කිරි සිරුරේ විෂ නැසීමටත් භාවිතා කෙරනවා. පොල් කිරිවලට සීනි දමා ශීතකර රසයෙන් සහ ගුණයෙන් පිරි පානයක් සාදාගන්න පුළුවනි. ඒ විතරක් නොවෙයි, එයට කහට එකතු කිරීමෙන් රසයෙන් අනූන තේ එකක් ද සකසා ගත හැකි බව බොහෝ දෙනා නොදන්නවා ඇති. කෙසේ නමුත්, සංතෘප්ත මේදය අඩංගු පොල්කිරි රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට හේතුවන බව බටහිර පර්යේෂකයින් සොයාගෙන තිබුණත්, පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රයේ නම් සඳහන් වන්නේ පොල් කිරිවල ඖෂධීය ගුණ රැසක් තිබෙනබවයි. පොල්කිරිවල ට්‍රයිග්ලිසරයිඩ් අඩංගු වන නිසා ඉක්මනින් සිරුරට අවශෝෂණය කරගෙන ශක්තිය නිදහස් ිකරනවා. එනිසා සිරුරේ බර අඩුකර ගැනීමටද පොල් තෙල් මෙන්ම පොල් කිරි උපකාරී වෙනවා. ගැස්ට්‍රයිටීස් තිබෙන අයටත් කහට නොදා සකසන පොල්කිරි පානය ඉතා ගුණදායකයි. 


අවශ්‍ය ද්‍රව්‍ය
මිටිකිරි පීරිසි කෝප්පයක්
වතුර පීරිසි කෝප්ප එකයි කාලක්
තේ කොළ තේ හැන්දක්
සීනි රස අනුව


සකසන අයුරු 
භාජනයකට මිටිකිරි, වතුර සහ තේ කොළ දමා උතුරුවා ගන්න. තේ පෙරනයකින් පෙරාගෙන සීනි එක්කර රස්නය තිබියදී පානය කරන්න. 

සටහන: නයනා උදයංගනී 


 

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ Read Previous

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ

MY STYLE with   ටනාෂා Read Next

MY STYLE with ටනාෂා

Realted Post