මේවා තමයි රසවත්ම සම්ප්‍රදායික අතුරුපස
අයර්ලන්තයේ ආහාර සංස්කෘතිය ගැන කතා කරන විට බොහෝ දෙනකුට මුලින්ම සිහිපත් වන්නේ රසවත් මස් ඉස්ටු, සෝඩා පාන් සහ සුප්‍රසිද්ධ ගිනස් බියර්ය. එහෙත් අයර්ලන්තයේ අතුරුපස සංස්කෘතිය ද ඊට නොදෙවෙනි රසවත් අත්දැකීමකි. ග්‍රාමීය ජීවන රටාවෙන් පෝෂණය වූත්, පරම්පරා ගණනාවක් පුරා පැවත එන ගෘහස්ථ ආහාර පිසීමේ සම්ප්රදායන්ගෙන් හැඩගැසුණුත් අයර්ලන්ත අතුරුපස සරල අමුද්‍රව්‍යවලින් සුවිශේෂී රසයක් මතු කරයි.
මුහුදු සුළඟ හමන වෙරළ තීරයක සංචාරයකින් පසු සුවපහසු අවන්හලකදී හෝ ඩබ්ලින් නුවර සුන්දර තේ පානය කරන ස්ථානයකදී රස බැලිය හැකි මෙම සාම්ප්‍රදායික අතුරුපස අයර්ලන්තයේ ආහාර උරුමය විඳගැනීමට අපූරු අවස්ථාවකි.
අයර්ලන්තයේ සංචාරය කිරීම යනු ඇසට, කනට මෙන්ම දිවට ද රසවත් අත්දැකීමකි. මනරම් හරිත භූ දර්ශන, සජීවී සංගීතය සහ මනස්කාන්ත කඳු බෑවුම්වලින් ඔබ්බට එරටටම ආවේණික වූ ආහාර සංස්කෘතියක් ද පවතී.
අයර්ලන්ත අතුරුපසවල විශේෂත්වය වන්නේ ඒවායේ ඇති සරල බව, පෝෂ්‍යදායී බව සහ රසවත් බවයි. අතීතයේදී මෙම අතුරුපස බොහොමයක් ගොවිපළවල නිවෙස්වලදී සකස් කර තිබේ. එහිදී ගෙදරදීම සකස් කරගත් බටර්, ඕට්ස්, නැවුම් ක්‍රීම් සහ කාලයට අනුව ලැබෙන පලතුරු ප්‍රධාන අමුද්‍රව්‍ය බවට පත්විය.
අදටත් මෙම සාම්ප්‍රදායික පුඩිං සහ කේක් වර්ග අයර්ලන්තයේ ජනප්‍රිය ආහාර අතර පවතී. සමහර අතුරුපස ග්‍රාමීය සම්ප්රදාය රැකගනිමින් සකස් කරන අතර තවත් සමහරක් නවීන අවන්හල්වලට ගැළපෙන ආකාරයෙන් වෙනස් වී තිබේ.
අයර්ලන්තයේ ග්‍රාමීය උරුමය කියාපාන සාම්ප්‍රදායික අතුරුපස
ඇපල් ටාට් (Apple Tart)
අයර්ලන්තයේ සාම්ප්‍රදායික අතුරුපස අතර ඇපල් ටාට්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එරට කැෆේ, අවන්හල් මෙන්ම සාමාන්‍ය නිවෙස්වලදී ද මෙම අතුරුපස රස විඳිය හැකිය.
ඇඹුල් රසැති නැවුම් ඇපල්, බටර් මිශ්‍ර පේස්ට්‍රි පිටි සහ කුරුඳු හෝ කරාබුනැටි වැනි කුළුබඩු යොදාගෙන මෙය සකස් කරයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අධික සීනි යොදා රසය වෙනස් නොකර ඇපල්වල ස්වාභාවික රසය ඉස්මතු කිරීමයි. සාමාන්‍යයෙන් උණුසුම්ව පිළිගන්වන ඇපල් ටාට් විප් කළ ක්‍රීම් හෝ කස්ටඩ් සමඟ රස බැලිය හැකිය. එහෙත් අයර්ලන්ත වැසියන් බොහෝ දෙනකුගේ ප්‍රියතම ක්‍රමය වන්නේ උණුසුම් තේ කෝප්පයක් සමඟ එය රස විඳීමයි.
පාන් සහ බටර් පුඩිං (Bread and Butter Pudding)
බ්‍රිතාන්‍යයේ මෙන්ම අයර්ලන්තයේ ද ජනප්‍රිය මෙම අතුරුපස සරල අමුද්‍රව්‍ය කිහිපයකින් සකස් කරන රසවත් ආහාරයකි.
බටර් තැවරූ පාන් පෙති ස්ථර වශයෙන් අසුරා ඒවා වැනිලා රසැති කිරි සහ බිත්තර මිශ්‍රණයක පොඟවා උඳුනක බේක් කිරීමෙන් මෙය සකස් කරයි. පිටත කොටස රන්වන් පැහැයට හැරෙන තෙක් බේක් කරන අතර ඇතුළත මෘදු හා ක්‍රීම් ස්වභාවයකින් යුක්ත වේ.
අයර්ලන්තයේ ඇතැම් ගෘහණියන් මෙයට විස්කිවල පොඟවාගත් වියළි මිදි එකතු කරති. එමඟින් අතුරුපසට වෙනස්ම සුවඳක් සහ රසයක් එක් වේ. සීතල කාලගුණයක් පවතින අයර්ලන්තයේ සංචාරයකින් පසු රස විඳීමට මෙය කදිම ආහාරයකි.
කැරජීන් මොස් පුඩිං (Carrageen Moss Pudding)
අයර්ලන්තයේ සුවිශේෂී සාම්ප්‍රදායික අතුරුපස අතර කැරජීන් මොස් පුඩිං කැපී පෙනේ. සියවස් ගණනාවක් පැරණි මෙම ආහාරය අයර්ලන්තයේ බටහිර වෙරළබඩ ප්‍රදේශවලින් ආරම්භ වූවකි.
අත්ලාන්තික් සාගරයෙන් ලබාගන්නා රතු පැහැති මුහුදු පැළෑටි විශේෂයක් වන කැරජීන් මොස් මෙහි ප්‍රධාන අමුද්‍රව්‍යයයි.
මෙම මුහුදු පැළෑටි කිරි සමඟ තම්බා ගැනීමෙන් ස්වාභාවිකවම ඝන වන මිශ්‍රණයක් සකස් කරගත හැකිය. පසුව එයට වැනිලා, දෙහි හෝ විස්කි රස එකතු කර පුඩිං එකක් ලෙස සකස් කරයි.
මුහුදු පැළෑටි යොදා අතුරුපසක් සකස් කිරීම ඇතැම් අයට අලුත් අත්දැකීමක් විය හැකි වුවත්, එහි ප්‍රතිඵලය ඉතා මෘදු, රසවත් සහ ක්‍රීම් ස්වභාවයෙන් යුක්තය. එහි රසය පන්නා කොටා සහ මූස් අතුරුපසවලට සමාන බව පැවසේ.
රසයෙන් පොහොසත් අතුරුපස ගිනස් කේක් (Guinness Cake)
අයර්ලන්තයේ සුප්‍රසිද්ධ ගිනස් ස්ටවුට් පානය අතුරුපසක් සඳහා ද යොදාගන්නා බව ඔබ දන්නවාද?
ගිනස් කේක් යනු අඳුරු පැහැති බියර්, චොකලට්, කුළුබඩු සහ ක්‍රීම් චීස් අයිසිං යොදා සකස් කරන රසවත් කේක් වර්ගයකි.
මෙහිදී ගිනස් පානය කේක් මිශ්‍රණයට එක් කිරීමෙන් එය වඩාත් තෙතමනය සහිත වන අතර චොකලට් රසය ද ඉස්මතු වේ. එහෙත් බියර් රසය අධික ලෙස නොදැනෙන නිසා මෙය සාමාන්‍ය චොකලට් කේක්වලට වඩා වෙනස් අත්දැකීමක් ලබා දෙයි.
අද වන විට ගිනස් කේක් අයර්ලන්තයේ නවීන ආහාර සංස්කෘතියේ ජනප්‍රිය අතුරුපසක් බවට පත්ව තිබේ. ගම්මානවල කුඩා බේකරිවල සිට ඩබ්ලින් නුවර නවීන අවන්හල් දක්වා බොහෝ ස්ථානවලින් මෙය රස බැලීමට අවස්ථාව තිබේ.
බේලීස් චීස්කේක් (Baileys Cheesecake)
අයර්ලන්තයේ අතුරුපස ගැන කතා කරන විට බේලීස් චීස්කේක් අමතක කළ නොහැකිය. ක්‍රීම් රසයෙන් පිරුණු මෙම අතුරුපසට අයර්ලන්තයේ ප්‍රසිද්ධ බේලීස් ක්‍රීම් මත්පැන් පානයේ රසය ද එක් කර තිබේ.
මෘදු, ක්‍රීම් ස්වභාවයෙන් යුත් මෙම චීස්කේක් බොහෝ විට චොකලට් සෝස් හෝ කුඩු කළ බිස්කට් සමඟ පිළිගන්වයි.
අයර්ලන්තයේ කිරි ආශ්රිත නිෂ්පාදනවල රසවත් බවත්, ඒවා නවීන ආකාරයෙන් ආහාරයට එක් කිරීමේ හැකියාවත් මෙම අතුරුපස තුළින් මනාව පිළිබිඹු වේ. මේ වන විට එය අයර්ලන්තයේ බොහෝ අවන්හල්වල ජනප්‍රිය අතුරුපසක් බවට පත්ව ඇත.
අයර්ලන්තයේ රසවත් උරුමය විඳගනිමු
පරම්පරා ගණනාවක් පුරා පැවත එන ගොවිපළවල සාම්ප්‍රදායික පුඩිංවල සිට නවීන අවන්හල්වල පිළිගන්වන අතුරුපස දක්වා අයර්ලන්තයේ රස සංස්කෘතිය විවිධත්වයෙන් පිරී පවතී.
මෙම අතුරුපස හුදෙක් ආහාර වර්ග පමණක් නොවේ. ඒවා තුළින් අයර්ලන්තයේ දේශීය අමුද්‍රව්‍ය, ග්‍රාමීය ජීවන රටාව, පවුල් සම්ප්‍රදායන් සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමේ සංස්කෘතිය පිළිබඳව ද කතා කරයි.
එබැවින් අයර්ලන්තයේ සංචාරය කරන විට එරට සුන්දර ස්ථාන නැරඹීමට පමණක් සීමා නොවී, මෙම සාම්ප්‍රදායික අතුරුපසවල රසය ද අත්විඳ බැලීම අමතක නොකළ යුතු අත්දැකීමකි.
අශන්ති වරුණසූරිය

Leave a comment