Capital TRUST Properties සහ Excello Developers අත්වැල් බැඳගනී

දේපළ ගනුදෙනු සහ උපදේශන සේවා රැසක් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Capital TRUST Properties (Pvt) Ltd, ශීඝ්‍රයෙන් වර්ධනය වන දේපළ සංවර්ධන සමාගමක් වන Excello Developers සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. දෙහිවල පිහිටි Aathavan by Excello නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු, උපදේශන සේවා සහ වාණිජ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.

මෙම සහයෝගීතාව හරහා සමාගම් දෙකෙහිම විශේෂඥ දැනුම සහ හැකියාවන් එක් කෙරේ. සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන මිනෝලි වික්‍රමසිංහ මහත්මියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන Capital TRUST Properties, ව්‍යාපෘතියේ එකම උපායමාර්ගික දේපළ ගනුදෙනු සහ උපදේශන හවුල්කරු ලෙස කටයුතු කරනු ඇත. ඒ යටතේ ව්‍යාපෘතිය වෙළෙඳපොළ තුළ ස්ථානගත කිරීම, වෙළෙඳපොළ තොරතුරු සහ ප්‍රවණතා විශ්ලේෂණය, ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක කරුණු පිළිබඳ උපදේශනය සහ දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම යන වගකීම් සමාගම විසින් භාරගනු ලැබේ. මේ අතර, Excello Developers හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සුබාෂ් තවරාජසිංගම් මහතාගේ නායකත්වයෙන් එම සමාගම ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ සැලසුම්, අභ්‍යන්තර සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Capital TRUST Properties හි සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන මිනෝලි වික්‍රමසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.

“Aathavan ව්‍යාපෘතිය වෙනුවෙන් ඇතිකරගත් මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය, විශ්වසනීයත්වය, වෘත්තීයභාවය සහ විනිවිදභාවය වෙනුවෙන් අප නිරන්තරයෙන් පවත්වාගෙන යන ඉහළ ප්‍රමිතීන් මනාව පිළිබිඹු කරනවා. දේපළ වෙළෙඳාම කියන්නේ හුදෙක් ගනුදෙනු සිදුකිරීම පමණක් නොවෙයි. අපගේ වගකීම වන්නේ සියලු පාර්ශ්වකරුවන්ට දිගුකාලීන වටිනාකමක් සහතික කළ හැකි, නිසි සැලසුමක් සහිත උපදේශන විසඳුම් ලබාදීමයි. ඉදිකිරීම් සඳහා භාවිත කරන ද්‍රව්‍යවල ගුණාත්මකභාවය සහ නිසි ක්‍රමවේදයකට අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් Excello දක්වන කැපවීම, වර්තමාන දේපළ ආයෝජකයින් අපේක්ෂා කරන විශ්වාසය සහ සහතිකය ලබාදීමට ශක්තිමත් පදනමක් සපයනවා.”

නිවැසියන්ගේ අවශ්‍යතා සහ පහසුවට මුල්තැන දෙමින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ එය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වීමයි. එමඟින් විදුලිය ඇතුළු දෛනික සේවා වියදම් අවම කරගැනීමටත්, නඩත්තු වියදම්වල ඇතිවිය හැකි අනපේක්ෂිත වෙනස්වීම්වල බලපෑමෙන් ආයෝජකයින් ආරක්ෂා කිරීමටත් අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Excello Developers හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සුබාෂ් තවරාජසිංගම් මහතා මෙසේ පැවසීය.

“වර්තමාන දේපළ ක්ෂේත්‍රය තුළ සාර්ථක වීමට නම් ඉහළ විනයක්, ආරම්භයේ සිටම ව්‍යාපෘතියේ ප්‍රායෝගික හා මූල්‍ය ශක්‍යතාව තහවුරු කිරීමක් මෙන්ම අවදානම් නිසි ලෙස කළමනාකරණය කළ හැකි උපායමාර්ගික හවුල්කාරිත්වයන්ද අත්‍යවශ්‍යයි. Excello හි අපගේ දැක්ම වන්නේ මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට ගැළපෙන, ප්‍රායෝගික සහ පහසුකම් සපිරි ජීවන අවකාශයන් නිර්මාණය කිරීමයි. Capital TRUST Properties සමඟ එක්වීමෙන් අපගේ සැලසුම් සහ ඉදිකිරීම් සේවා ඒකාබද්ධ කළ ක්‍රමවේදයට, ඔවුන් සතු සුවිශේෂී වෙළෙඳපොළ දැනුම සහ පුළුල් දේපළ ගනුදෙනු ජාලය එක්වෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ තිරසර සුඛෝපභෝගී නිවාස සහ මූල්‍යමය වශයෙන් ශක්‍ය දේපළ ව්‍යාපෘති සඳහා නව ප්‍රමිතියක් ඇතිකිරීමට Aathavan ව්‍යාපෘතියට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

Royal in Maroon Read Previous

Royal in Maroon

මානසික සුවයට අලුත් ජීවන රටාවක් Read Next

මානසික සුවයට අලුත් ජීවන රටාවක්

Realted Post

Leave a comment