පූස් අක්කගේ ජීවිතය රැකගන්න ලේ දන් දුන් ජින් බව් මල්ලි

මරණය අබියස සිටි බළලෙකුගේ ජීවිතය බේරාගැනීම සඳහා පශු වෛද්‍යවරියකගේ සුරතල් බල්ලාගේ රුධිරය ලබාදුන් පුවතක් එංගලන්තයේ ලන්ඩන් නුවරින් වාර්තා වේ.

රෝලෝ නමැති දෙහැවිරිදි බළලා මැක්කන් බෝවීම හේතුවෙන් දරුණු රක්තහීනතාවයකට ලක්වීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබිණි. ආහාර ගැනීමට හෝ ජලය පානය කිරීමට නොහැකි වූ ඇයට ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි.

ඒ අනුව රෝලෝ හදිසි ප්‍රතිකාර සඳහා දකුණු ලන්ඩනයේ සට්න් ප්‍රදේශයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබිණි.

බළලාට රුධිරය දුන් බල්ලා

රෝලෝගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් රුධිර පාරවිලයනයක් අවශ්‍ය වුවද, ඒ මොහොතේ ලබාගත හැකි බළල් රුධිරය නොතිබිණි. එම අවස්ථාවේ හදිසි ප්‍රතිකාර භාරව සිටි පශු වෛද්‍යවරියක වන පේජ් වෝකර්, තම සිව් හැවිරිදි කොකර් ස්පැනියල් වර්ගයේ සුරතල් බල්ලා වන ජින්ගේ රුධිරය ලබාගැනීමට තීරණය කළාය.

සාමාන්‍යයෙන් බළලුන්ට රුධිරය ලබාදීම සඳහා වෙනත් බළලෙකුගේ රුධිරය භාවිත කළ ද, මෙවැනි හදිසි අවස්ථාවකදී බල්ලෙකුගේ රුධිරය එක් වරක් ලබාදීම සලකා බැලිය හැකි විශේෂ ක්‍රමයක් බව වෛද්‍යවරිය පැවසුවාය.

කෙසේ වෙතත්, එවැනි රුධිර පාරවිලයනයක් අවදානම් සහිත වන අතර සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන බවට සහතිකයක් නොමැති බව ද ඇය අවධාරණය කළාය.

රෝලෝගේ රුධිර මට්ටම සියයට හතට පහළට

රෝලෝ පශු වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන එන විට ඇගේ රතු රුධිර සෛල මට්ටම සියයට හතක් දක්වා පහත වැටී තිබිණි. වැඩිහිටි බළලෙකුගේ සාමාන්‍ය මට්ටම සියයට 30ක් පමණ වන බැවින් එය ඉතා බරපතළ තත්ත්වයක් විය. ජින්ගෙන් රුධිර මිලිලීටර් 60ක් පමණ ලබාගෙන රෝලෝට පාරවිලයනය කර තිබිණි. ඉන් අනතුරුව මුළු රාත්‍රිය පුරාම ඇය සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ඇත.

ප්‍රතිකාරය සාර්ථක වූ අතර රෝලෝගේ රතු රුධිර සෛල මට්ටම ක්‍රමයෙන් ඉහළ යාම ආරම්භ විය. පසුදා උදෑසන වන විට ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා තම සාමාන්‍ය පශු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන යා හැකි තත්ත්වයකට පත්ව සිටියාය. පසුව ඇයව නිවසට රැගෙන ගොස් තිබිණි.

මැක්කන්ට එරෙහිව කළ ප්‍රතිකාර ප්‍රමාණවත් වී නැහැ

රෝලෝගේ හිමිකාරිනිය වන ලුයිස් වුඩ් පැවසුවේ, බළලා මිය යනු ඇතැයි තමන් සිතූ බවයි. ඇය පශු වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන විට රෝලෝගෙන් සමුගැනීමට පවා සූදානම්ව සිටි බව ද ඇය සඳහන් කළාය. රෝලෝට මැක්කන් සඳහා නිතර ප්‍රතිකාර කළ ද, පසුව භාවිත කළ සාමාන්‍ය වෙළෙඳපොළේ ඇති ඖෂධ මැක්කන්ගේ උවදුර පාලනය කිරීමට ප්‍රමාණවත් නොවූ බව ඇයට අවබෝධ වී තිබේ.

අදාළ පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන පශු වෛද්‍ය සෑම් කිං පෙන්වා දෙන්නේ ඇතැම් මැක්කන් මර්දන ප්‍රතිකාරවල කාර්යක්ෂමතාව අඩු විය හැකි බැවින්, සුරතල් සතුන් සඳහා සුදුසු ප්‍රතිකාරය තෝරාගැනීමට පශු වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බවයි.

මැක්කන්ගේ උවදුර නොසලකා හැරීමෙන් සුරතල් සතුන්ට රුධිරය අහිමි වී දරුණු රක්තහීනතාවයක් ඇති විය හැකිය. විශේෂයෙන් කුඩා සතුන් හා දුර්වල සතුන් සම්බන්ධයෙන් මෙය බරපතළ විය හැකිය. රෝලෝගේ ජීවිතය බේරාගැනීමට ජින්ගේ රුධිරය උපකාරී වූ මෙම සිදුවීම හදිසි පශු වෛද්‍ය ප්‍රතිකාරවල වැදගත්කම මෙන්ම සුරතල් සතුන්ගේ සෞඛ්‍යය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීමේ අවශ්‍යතාව ද සිහිපත් කරයි.

අශන්ති වරුණසූරිය

විදුලි බිඳ වැටීම: පරීක්‍ෂණය අරඹයි Read Previous

විදුලි බිඳ වැටීම: පරීක්‍ෂණය අරඹයි

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන් Read Next

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන්

Realted Post

Leave a comment