මානසික සුවයට අලුත් ජීවන රටාවක්
මානසික සෞඛ්‍යය අපේ ජීවිතයට බලපාන්නේ කෙසේද?
දෛනික ජීවිතයේ මුහුණ දීමට සිදුවන ගැටලු, රැකියා කටයුතු, පවුල් වගකීම් සහ විවිධ අභියෝග හමුවේ බොහෝ දෙනෙක් මානසික පීඩනයට පත්වෙති. එම පීඩනය දිගින් දිගටම පැවතීමෙන් නින්දට, ආහාර රුචියට, අවධානයට සහ දෛනික ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති විය හැකිය.
නිතර දුකෙන් පසුවීම, එකම සිතුවිලිවල පැටලී සිටීම, නොසන්සුන් බව, අධික කෝපය සහ වෙහෙස දැනීම මානසික පීඩනය සමඟ ඇති විය හැකි ලක්ෂණ කිහිපයකි. එබැවින් ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සුවතාව ද රැක ගැනීම ඉතා වැදගත්ය.
මානසික සුවය වර්ධනය කරගන්නේ කෙසේද?
හුස්ම ගැනීමේ අභ්‍යාස සහ භාවනාව
දිනපතා උදෑසන විනාඩි 10–15ක් පමණ ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාසයක හෝ මෛත්‍රී භාවනාවක නිරත වීමෙන් සිත සන්සුන් කර ගැනීමට උපකාරී විය හැකිය.
ශාරීරික ව්‍යායාම
ඇවිදීම, යෝග අභ්‍යාස සහ තමන්ට ගැළපෙන වෙනත් ව්‍යායාම නිතිපතා කිරීම මානසික සුවතාවට මෙන්ම ශාරීරික සෞඛ්‍යයට ද ප්රයෝජනවත්ය.
සුවදායී නින්දක් ලබා ගැනීම
වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් රාත්‍රියකට පැය හතත් නවයත් අතර නින්දක් අවශ්‍ය වේ. නිදාගැනීමට සහ අවදි වීමට නියමිත වේලාවක් පවත්වා ගැනීම, නින්දට පෙර දුරකථන භාවිතය සීමා කිරීම සහ සැහැල්ලු රාත්‍රී ආහාරයක් ගැනීම සුවදායී නින්දකට උපකාරී වේ.
සමබර ආහාර රටාවක් පවත්වා ගැනීම
නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග, ධාන්‍ය, ප්‍රෝටීන් අඩංගු ආහාර සහ ප්‍රමාණවත් ජලය දෛනික ආහාරයට එක් කරගන්න. අධික ලෙස සීනි සහිත හෝ පෝෂණ ගුණයෙන් අඩු ආහාර වෙනුවට සමබර ආහාර රටාවකට හුරු වීම වැදගත්ය.
සතුට ගෙන දෙන ක්‍රියාකාරකම්වල නිරත වීම
පොත් කියවීම, ගෙවතු වගාව, චිත්‍ර ඇඳීම, සංගීතයට සවන් දීම සහ ස්වභාවධර්මය සමඟ කාලය ගත කිරීම සිත සැහැල්ලු කර ගැනීමට උපකාරී විය හැකිය. මුහුදු රළ හඬ, කුරුල්ලන්ගේ හඬ සහ වැසි හඬ වැනි ස්වභාවික ශබ්දවලට සවන් දීම ද විවේකයක් ලබා ගැනීමට හොඳ ක්රමයකි.
මානසික සුවය රැක ගැනීම ඔබේ වගකීමකි
මානසික පීඩනයක් ඇති වූ විට එය තනිව දරා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට විශ්වාසවන්ත අයකු සමඟ කතා කිරීම වැදගත්ය. පීඩනය දිගින් දිගටම පවතින්නේ නම් හෝ එය දෛනික ජීවිතයට බාධාවක් වන්නේ නම් සුදුසු සෞඛ්‍ය වෘත්තිකයකුගේ සහාය ලබාගන්න.
මානසික සුවය යනු එක් දිනකින් ලබාගත හැකි දෙයක් නොවේ. තමන් වෙනුවෙන් කාලය වෙන් කරගැනීම, සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වා ගැනීම සහ අවශ්‍ය විට සහාය ලබාගැනීම තුළින් වඩාත් සුවදායී ජීවිතයක් ගොඩනඟා ගත හැකිය.
සටහන: මහේෂානි මීගහපොල
උපදෙස්: ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

Leave a comment