First Energy සමාගමට සම්මාන දෙකක්
Sri Lanka Clean Energy Week සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට First Energy SL පුද්ගලික සමාගම සමත් විය. කොළඹ පිහිටි මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ සවිකර ඇති ගොඩනැගිල්ල හා බද්ධ කළ සූර්ය බලශක්ති පද්ධතිය (BIPV) වෙනුවෙන් First Energy SL සමාගම මෙම සම්මාන හිමිකර ගෙන තිබේ. SolarQuarter ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ Marino හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.
මෙහිදී, සමාගම විසින් 'Project of the Year: Building-Integrated Solar (BIPV)' සහ 'Technology Innovation of the Year: Building-Integrated Solar (BIPV)' යන සම්මාන ද්විත්වයම එකම ව්‍යාපෘතියක් වෙනුවෙන් හිමිකර ගැනීමට සමත් වීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
මෙම සූර්ය බලශක්ති පද්ධතිය, මහල් 24 කින් යුත් බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ඉහළම මහලේ සවිකර ඇති අතර බිම් මට්ටමේ සිට මීටර් 75 කට වඩා ඉහළින් පිහිටි එළිමහන් ටෙරසය ආවරණය වන පරිදි, ජලයට ඔරොත්තු දෙන ගෘහ නිර්මාණශීලී වහලක් ලෙසින් මෙම පද්ධතිය ස්ථාපිත කර ඇත. මෙය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලද ප්‍රථම BIPV පද්ධතිය බව First Energy සමාගම සඳහන් කරයි.
සාමාන්‍යයෙන් සූර්ය බලශක්ති පද්ධතියක් ඉදි කර අවසන් වූ ගොඩනැගිල්ලක් මත සවිකරනු ලැබුව ද, ගොඩනැගිල්ලකට ඒකාබද්ධ කළ සූර්ය බලශක්ති පද්ධතියක (BIPV) කදී සූර්ය කෝෂ ක්‍රියා කරනු ලබන්නේ ගොඩනැගිල්ලේම පිහිටා ඇති අංගයක් ලෙසයි. ඒ අනුව මෙහිදී සාමාන්‍යයෙන් ඉදි කරන ලද Pergola වහලය වෙනුවට, මෙම සූර්ය බලශක්ති පද්ධතිය යොදාගෙන ඇති අතර එය විදුලිය උත්පාදනය කිරීමට අමතරව වර්ෂාවෙන් ආරක්ෂා වීමට ද ආවරණයක් ලෙස ක්‍රියා කිරීම විශේෂත්වයකි.
මෙම ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුමේ ප්‍රධාන අවශ්‍යතාව වූයේ, Pergola වහල හරහා පහළ ටෙරසයට යම් ප්‍රමාණයක මද ආලෝකය පතිත වන සේ නිර්මාණය කිරීමයි. එහෙත්, සාමාන්‍ය සූර්ය බලශක්ති පද්ධති ස්ථාවර ප්‍රමාණයන්ගෙන් යුක්ත වීම සහ ආලෝකය විනිවිද යාම සඳහා ඇති ඉඩකඩ සීමිත වීම හේතුවෙන්, මෙම අභියෝගයට සාම්ප්‍රදායික විසඳුම් සාර්ථකව යොදාගත නොහැකි විය. මේ හේතුවෙන්, ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූල වන පරිදි, අවශ්‍ය ප්‍රමාණයට සකස් කළ හැකි සහ අඩු ඝනත්වයකින් යුත් සූර්ය කොෂ මොඩියුල නිෂ්පාදනය කරන ලදී. එමගින් ටෙරසය වෙත ප්‍රමාණවත් පරිදි ස්වාභාවික දහවල් ආලෝකය ඇතුළු වීමට ඉඩ සැලසේ.
සමාගම පෙන්වා දෙන්නේ ප්‍රධාන ධාරාවේ සැපයුම්කරුවන් සතුව නොමැති මෙවැනි සම්මත නොවන ප්‍රමාණයන්ගෙන් යුත් මොඩියුල නිෂ්පාදනය කිරීම සඳහා විශේෂඥ ජාත්‍යන්තර නිෂ්පාදකයින් සමඟ එක්ව කටයුතු කළ බවයි. එමෙන්ම, මීටර් 75 ක උසකදී පවතින අධික සුළං පීඩනයට සාර්ථකව ඔරොත්තු දීම සඳහා මෙම මොඩියුලයන්හි ඝනකම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. තවද, එහි පූර්ණ ස්ථායිතාව තහවුරු කිරීම උදෙසා අතිරේක ක්ලැම්ප් (Additional Clamps) සහ වැඩිදියුණු කළ ආධාරකයක් (Upgraded Support Structure) මගින් සවිකිරීමේ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කොට තිබේ.
මෙහිදී ඉදිකර නිම කරන ලද මෙම වහලයේ ස්ථාපිත උපරිම ධාරිතාව කිලෝවොට් 80 කට අධික වේ. එමගින් විදුලිය උත්පාදනය කිරීමට අමතරව, වර්ෂාවෙන් ආරක්ෂාව කිරීමට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන් නිර්දේශ කළ පරිදි ටෙරසය වෙත ප්‍රමාණවත් සෙවන සහ මෘදු ආලෝකය ලබා දීම ද සිදුවේ. මෙලෙස එක පද්ධතියක් මගින් මෙම කාර්යයන් තුනම ඉටු කිරීමට සමත් වීම, සම්මාන උළෙලේ දී විනිශ්චය මණ්ඩල ද්විත්වයේම ඇගයීමට පාත්‍ර වීමට ප්‍රධාන හේතුව විය.

Leave a comment