තදබදයෙන් ඔබ්බට. බන්ධනාගාර පද්ධතියේ සැඟවුණු අර්බුදය

බන්ධනාගාර ගැටලු වසර ගණනාවක් පුරා අප විසින් වාර්තා කළ පැතිකඩකි. බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන් අපට අපගේම ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණයක්ද තිබිණි. වර්තමානයේදී නැවතත් එම ගැටලුව පිළිබඳව මෙසේ සටහන් කිරීමට සිදුවීම කනගාටුවට කරුණක් වුවද, පසුගියදා සිදුවූ බන්ධනාගාර සිදුවීම් පෙළ හමුවේ ඒ පිළිබඳව නැවත කතා කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

අධික බන්ධනාගාර තදබදය හේතුවෙන් රැඳවියන් අතර පීඩනය සහ ආතතිය ඉහළ යාම, මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ ප්‍රචණ්ඩ සිදුවීම්වලට ප්‍රධාන හේතුවක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සංඛ්‍යාවට වඩා ඉතා ඉහළ පිරිසක් එහි රඳවා තිබීම හේතුවෙන් සුළු ආරවුලක් පවා විශාල ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවයි.

“බන්ධනාගාරය තුළ ඇති අධික තදබදය මේ සඳහා මූලික හේතුවක්. රඳවා තැබිය හැකි සංඛ්‍යාවට වඩා කිහිප ගුණයකින් වැඩි පිරිසක් එකම ස්ථානයක රඳවා සිටින විට ඔවුන් අතර පීඩනය, ආතතිය සහ ගැටුම් ඇතිවීම වැළැක්වීම ඉතා අපහසුයි,” යනුවෙන් ඔහු පැවසීය.

ඔහු පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය හැකි ධාරිතාවට සාපේක්ෂව රැඳවියන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මහර බන්ධනාගාරයද එයට පැහැදිලි උදාහරණයකි.

මහර සහ මීගමුව බන්ධනාගාර සිදුවීම් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය කල්ලි අතර ගැටුම් හෝ සංවිධානාත්මක ක්‍රියා පිළිබඳ චෝදනා එල්ල වුවද, ඒවා පමණක් මෙවැනි සිදුවීම්වලට හේතුව ලෙස දැක්වීම ප්‍රමාණවත් නොවන බව නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. බන්ධනාගාර කිහිපයකම රඳවා තැබිය හැකි ධාරිතාවට වඩා විශාල සංඛ්‍යාවක් රඳවා සිටින තත්ත්වයක් තුළ ඕනෑම අවස්ථාවක දැඩි පීඩනයක් පුපුරා යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හමුවේ රැඳවියන්ගේ ඥාතීන් එම අවස්ථාවේදීම බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණීම සහ ඔවුන් අතර නොසන්සුන්තාවක් ඇතිවීම සම්බන්ධයෙන්ද විවිධ චෝදනා එල්ල විය. මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කළේ, එය කිසියම් කුමන්ත්‍රණයක කොටසක් ලෙස අර්ථකථනය කිරීම සාධාරණ නොවන බවයි.

තමන්ගේ පුතා, සැමියා, පියා, මව හෝ වෙනත් සමීප ඥාතියකු සම්බන්ධයෙන් අනතුරක් සිදුව ඇති බව දැනගත් විට ඔවුන් පිළිබඳ සොයා බැලීමට ඥාතීන් පැමිණීම ස්වභාවික මානව ප්‍රතිචාරයකි. එමෙන්ම රැඳවියන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීම බන්ධනාගාර බලධාරීන්ගේ වගකීමක් බවද ඔහු පෙන්වා දෙයි.

තොරතුරු නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් ඇතිවන සැකය සහ නොසන්සුන්තාව තවදුරටත් වර්ධනය විය හැකිය. කෙසේ වෙතත්, එවැනි අවස්ථාවලදී ඥාතීන් ආරක්ෂක අංශවල රාජකාරියට බාධා නොකර වගකීමෙන් කටයුතු කළ යුතු බව අපද මතක් කරන්නට කැමැත්තෙමු. අර්බුදකාරී අවස්ථාවකදී ඇතිවන වේදනාව සහ ආවේගය තේරුම්ගත හැකි වුවද, එය තවත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය නොවන පරිදි හැසිරීම සෑම පාර්ශ්වයකම වගකීමකි.

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින තත්ත්වයද බරපතළ ගැටලුවකි. බන්ධනාගාරයට ඇතුළත් කරන අවස්ථාවේදී දැඩි පරීක්ෂාවන් සිදුකරන පසුබිමක, බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය පවතින්නේ කෙසේද යන්න පිළිබඳව විධිමත් සහ ස්වාධීන විමර්ශනයක් අවශ්‍ය බව අප විසින්ද අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් වෛද්‍යමය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන ක්‍රමවේද භාවිත කළ යුතුය. බන්ධනාගාර බිත්ති හතරක් තුළ රඳවා තැබීමෙන් පමණක් එම ගැටලුවට විසඳුමක් ලබාගත නොහැක. ඒ සමඟම, බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීමට පවතින ආරක්ෂක ක්‍රමවේදවල දුර්වලතා ඇත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමද අත්‍යවශ්‍යය.

බන්ධනාගාර සිදුවීම් සම්බන්ධයෙන් රැඳවියන්ගේ හැසිරීම පමණක් විවේචනය කිරීම ප්‍රමාණවත් නොවේ. බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීම් සහ ක්‍රියාකාරීත්වය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. සිදුවීමකින් පසු සිදුවූ දේපළ හානි හෝ ගොඩනැගිලි හානි පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පෙර අවශ්‍ය පියවර ගනු ලැබුවේද යන්න පිළිබඳවද විමර්ශනය කළ යුතුය. යම් රාජකාරිමය නොසැලකිල්ලක් හෝ අතපසු වීමක් සිදුවී ඇත්නම්, ඒ පිළිබඳවද වගකීම තීරණය කිරීම අවශ්‍යය.

මීගමුව, මහර සහ පල්ලන්සේන බන්ධනාගාර සිදුවීම්වලින් පසු රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවිණි. එසේ මාරු කළ ඇතැම් රැඳවියන්ට වධහිංසා සිදුවූ බවට තොරතුරු ලැබී ඇති බවද නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කරයි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කළ රැඳවියකුගේ මරණයක් සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී එම රැඳවියාගේ සිරුරේ තුවාල සලකුණු තිබූ බවට ඥාතීන් ප්‍රකාශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග සිදුවන බවත් ඔහු පැවසීය.

එවැනි චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකර, වගකිවයුතු පුද්ගලයන් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය. මෙවැනි චෝදනා අවසන් වශයෙන් තීරණය කළ යුත්තේ ස්වාධීන විමර්ශනයකින් සහ අධිකරණ ක්‍රියාවලියකින් වන අතර, ඒ නිසා චෝදනාවක් එල්ල වූ පමණින් කිසිවකු වරදකරු ලෙස සැලකීමද නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටලුවට එක් රජයකට පමණක් වගකීම පැවරීමෙන් විසඳුමක් ලබාගත නොහැක. වසර ගණනාවක් පුරා පවතින මෙම ගැටලුව සඳහා බන්ධනාගාර පද්ධතියේම පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යව තිබේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමද බන්ධනාගාර තදබදයට එක් හේතුවකි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලදී රස පරීක්ෂණ වාර්තා ලබාගැනීමට දිගු කාලයක් ගතවීම හේතුවෙන්ද සැකකරුවන්ට දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවන තත්ත්වයක් පවතී. එම නිසා පවතින නීති, අධිකරණ ක්‍රියාවලිය සහ බන්ධනාගාර පද්ධතියේ ක්‍රියාකාරීත්වය යන සියල්ල පිළිබඳවම නැවත සලකා බැලිය යුතුය.

බන්ධනාගාර පද්ධතියේ මූලික අරමුණ රඳවා තැබීම පමණක් නොව, පුනරුත්ථාපනයද අත්‍යවශ්‍ය අංගයකි. ඒ සඳහා බන්ධනාගාර නීති හා ප්‍රතිපත්ති වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කළ යුතුය. රැඳවියන්ගේ හැසිරීම වෙනස් කිරීමට ඔවුන් සමඟ කටයුතු කරන නිලධාරීන්ගේ ආකල්පයද වැදගත්ය.
2012 වසරේ වැලිකඩ සිදුවීමේ සිට බන්ධනාගාර සම්බන්ධයෙන් අප විසින් සිදුකළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණයක් තිබිණි. බන්ධනාගාරවල වසර ගණනාවක් පුරා නොවිසඳුණු ගැටලුවලට හේතු එකින් එක අප එදා සිට වාර්තා කළෙමු.

තදබදය, නිලධාරිවාදය, පුනරුත්ථාපන ක්‍රියාවලියේ දුර්වලතා, පාතාල ක්‍රියාකාරීත්වය, මත්ද්‍රව්‍ය ගැටලුව සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය ඇතුළු ගැටලු රැසක් පිළිබඳව අපි දිගින් දිගටම වාර්තා කළෙමු.  එහෙත් කාලෙන් කාලයට දේශපාලන පක්ෂ මාරු වූවා මිස, මෙම මූලික ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. එකම ආකාරයේ ගැටලු නැවත නැවතත් මතුවන්නේ එබැවිනි.

රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේද ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු වන පරිදි සමස්ත බන්ධනාගාර පද්ධතියම ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදුකළ යුතුය. ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද බන්ධනාගාර සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. එම වැඩපිළිවෙළ කෙතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව අපි අවධානයෙන් බලා සිටිමු.

මන්ද, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය යනු තවත් එක් ප්‍රතිපත්ති පොරොන්දුවක් පමණක් නොවිය යුතු බැවිනි. එය රැඳවියන්ගේ ජීවිත, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහ සමස්ත සමාජයේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකි. බන්ධනාගාර තුළ සිටින සියලුදෙනාම මේ රටේ පුරවැසියන්ය. ඔවුන්ට නීතියට අනුකූලව හා මානුෂීය ලෙස සැලකීම රජයේ සහ බලධාරීන්ගේ වගකීමකි.

එසේම, සිදුවීමක් ඇති වූ සෑම අවස්ථාවකදීම සෙසු පුරවැසියන් ද වගකීමෙන් කටයුතු කිරීම වැදගත්ය. බන්ධනාගාර සිදුවීම් දේශපාලනීකරණය කිරීමෙන් හෝ එකිනෙකාට චෝදනා කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැත. අපට අවශ්‍ය වන්නේ සිදුවීමක් වූ පසු හානි ගණන් කිරීම නොව, එවැනි සිදුවීම් නැවත ඇති නොවන පද්ධතියකි.

තදබදයෙන් ඔබ්බට ගොස්, බන්ධනාගාර පද්ධතියේ සැඟවුණු අර්බුදය හඳුනාගෙන එය ප්‍රතිසංස්කරණය කිරීමට දැන්වත් අවශ්‍ය පියවර ගත යුතුය.

අශන්ති වරුණසූරිය

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා.. Read Previous

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා..

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස් Read Next

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස්

Realted Post

Leave a comment