මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල

ජීවිතය සමග සැරිසරන අපට විවිධාකාර මිනිසුන් හමු වේ. මේ මිනිසුන්ගෙන් ඇතැමෙක් අපට සතුට ගෙන දෙන්නා වූ අය වන අතර ඇතැමෙක් සතුටින් ළංව දුකක් දී වෙන්ව ගිය හෝ  අප මග හැර ගිය අය ය. තවද ඇතැමෙක් අපට මඟහැරුණු අයයි. මේ කුමන ආකාරයෙන් හෝ අපෙන් ගිලිහීි ගිය අය පිළිබඳ සිහි වෙද්දි විටෙක මහත් වේදනාවක් ඇති වන්නේ අප සංවේදී ලතෙත් ගති ඇති මිනිසුන් නිසාය.  ‘අම්මා’ මේ ආදරණීය වචනය පිළිබඳව ඔහුගේ සිතේ ඇති කතාව කියවමු.ඔහු ප්‍රවීණ ලේඛක හා සාහිත්‍ය දේශක මොහාන් රාජ් මඩවලයි.

ගමක් නැති මම 

මගේ ජීවිතයේ ගමක් කියලා කියන්න තැනක් නැහැ. මගේ අම්මා අම්බලන්ගොඩ. අම්මගේ තාත්තා අම්බලන්ගොඩ සුදු වෙදමහත්තයා. එයාට හරි අපුරු ලස්සන නමක්  තිබුණා. මිගෙල් වෙරළ ගිරිගෝරිස් ධර්මදාස. මගේ අම්මගේ නම මිගෙල් වෙරළ සෝමලතා මියුලින්.ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මම කොළඹ ආනන්දයට ඇතුළුවෙලා ඉන්න කාලේ නිවාඩුව දුන්නු ගමන් අම්බලන්ගොඩ සීයාගේ ගෙදරට එනවා. ඒ වන විට ආච්චි අම්මා මිය ගිහිං හිටිය නිසා අම්මයි තාත්තයි තීරණය කරනවා අම්බලන්ගොඩ පදිංචි වෙන්න. අපි සෑම කෙනෙකුගේම ජීවිතයට මග හැරෙන තැන් තියෙනවා.මට හිතෙන්නේ මගේ ජීවිතයෙත් අම්මා කියලා කියන්නේ මග හැරුණු තැනක්. ඒකට හේතු ගොඩාක් තියෙනවා. පස්සේ මම වැඩිහිටියෙක් වෙලා කල්පනා කරද්දී මගේ ජිවිතයේ ඒ මග හැරීමත් එක්ක බොහෝ දේවල් හැඩ ගැහුණා කියලා මට හිතෙනවා.

හොරෙන් කාපු මැල්ලුම

මගේ අම්මා නැති වෙන කොට මට වයස අවුරුදු 12 ක් විතර. ඒ වෙන කොට මම ජීවිතයේ දුක කියන්නේ මොකක්ද කියලා නොදන්න හරිම සැහැල්ලු විදියට ගත කළේ. කිසිම දෙයක වටිනාකමක් ගැඹුරක් බරක් පතලක් නොදැන හිටියේ. කිසිම ලෙඩක් දුකක් නැතිව ඉන්න කාලෙක කිසිම හේතුවක් නැතිව හරිම හදිසි අවස්ථාවක අම්මා නින්දෙන්ම මරණයට පත්වෙනවා. පුංචි කාලේ මම හරිම මුරණ්ඩු චරිතයක්. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. මගේ තාත්තා හරිම සැර කෙනෙක්. මම තාත්තට තිබුණු බය නිසා සඟවාගත් දඩබ්බරකම් හැම දෙයක්ම දිගේලි කළේ අම්මා ගාව. අම්මට මම කොහෙත්ම  අවනත නැහැ.

පුංචි කාලේ මම පලා මැල්ලුම් කන්න හරිම අකමැතියි. මම ඒකට අකමැති වෙන්න හේතුව තමයි අම්මයි තාත්තයි කවන්න ගියාම මැල්ලුම්වල ගුණ පෙන්නලා කවන්න උත්සහ ගැනීම. මට අවශ්‍ය කරලා තිබුණේ එයාලාගේ උත්සාහය පරාජය කරන්න. ඒ නිසාම මම මැල්ලුම් කන්නේම නැහැ. මගේ මුරණ්ඩුකම කොහොම හරි එයාලව පැරැද්දුවා. දවසක් මට මෙහෙම හිතුණා ඔය තරම් රසයි කියන මේ මැල්ලුම් ටිකක් කාල බලන්න. ඒත් ඉතින් ඒ අයට පේන්න කෑවොත් මගේ අභිමානයට ඒක හොඳ මදී කියලා හිතුණා ඒ නිසාම අම්මා නාන්න ගිය වෙලාවේ කුස්සියට ගිහින් මැල්ලුම් ටිකක් ඇතිළියෙන් හොරෙන් කෑවා. මට හිතාගන්න බැරි වුණා ඒ තරම් රස ආහාරයක් මම ඒ වෙද්දී කලින් කිසිම දවසක කාල තිබුණෙ නැහැ. මම එයින් පස්සේ අම්මා කොළ මැල්ලුම් හදන හැම දවසෙම කන්න පුරුදු වුණා. හැබැයි ඉතින් අම්මට තාත්තට පේන්න නෙවෙයි, ඒ වගේම මම මේක රසයි කියලා කිව්වොත් මට ඒ අය ඉදිරියේදීත් කන්න වෙනවා. ඒ නිසා අම්මා කුස්සියේ වළං වහලා තියෙද්දී ම හොරෙන් මැල්ලුම් කාලා කෑවේ නැති විදියට පිළිවෙළට තියලා යනවා.ඔය අතරෙ තමයි මගේ අම්මා හදිසියේ නින්දේදිම මිය යන්නේ. ඒ නිසා මගේ අම්මා දැනගෙන හිටියේ නැහැ මම එයා හදන කෑම හරි රහට ආසාවෙන් කෑවා කියලා. මට අම්මට කියන්න බැරි වුණා ඔයා හදන කොළ මැල්ලුම තමයි මගේ ජීවිතයේ ආශාවෙන්ම රහටම කාපු කෑම වර්ගය කියලා කියන්න. මට මගේ ජීවිතයේ අදටත් මතක් වෙද්දී මහා වේදනාවක් දැනෙන සිදුවීමක්. මට අම්මට කියන්න බොහෝ දේවල් තිබුණා එයා නිසා මම බොහෝ සතුටක් වින්ද හැටි. එයාව අගය කරන්න බොහෝ අවස්ථා තිබුණා නේද කියලා මට අදත් මහා දුකක් දැනෙනවා.

අම්මා මැරණු දවසේ මම ඇඬුවේ බොරුවට

අම්මා මැරුණු දවසේ අපේ ගෙදරට මහා සෙනඟක් ආවා. මට හරි සතුටුයි. බලන බලන තැන කට්ටිය කනවා බොනවා කතා බහ කර කර ඉන්නවා. ඒ එක්කම සමහර නෑදෑයෝ අඬනවා, වැලපෙනවා. හැබැයි මට කිසිම ගාණක් නැහැ. ඒත් මට හිතුණා එකම පුතා වෙච්ච මම ඇඬුවේ නැත්නම් මිනිස්සු මොනවා හරි හිතයි කියලා අර අඬන අයත් එක්ක මමත් කෑගහගලා කඳුළු එන්න හයියෙන් ඇඬුවා. හැබැයි මම දන්නවා මම මේ අඩන්නේ බොරුවට කියලා.කොහොම හරි අම්මගේ මරණයෙන් පස්සේ දවස් හත ගෙවිලා ගියාම අර ආපු පිරිස යන්න ගියාට පස්සේ මමයි, තාත්තයි, සීයයි ගෙදර තනි වුණා. ආන්න එදා තමයි මට අම්මා නෑ නේද කියලා හිතුණේ.මම මාස ගණනක්ම නොකා නොබි කෑ ගහලා එක දිගට ඇත්තටම ඇඬුවා. මට තනිකම කියන එක මහා පුදුම විදියට දැනෙන්න ගත්තා. දැන් මං ගැන කවුද  බලන්නේ මම කෑවද බිව්වද  කියලා බලන්නේ කවුද මහා ආත්මාර්ථකාමි වේදනාවක් මට දැනෙන්න පටන් ගත්තා. මොකද මං ගැන හැමදේම හොයලා බැලුවේ අම්මා. මට අම්මා නෑ කියලා දැනෙන්න පටන් ගත්තා.

දවස් දහයකින් පස්සේ...

එහෙම ගෙවුණු දවස් දහයකින් පස්සේ තමයි හරියටම මම කියන චරිතය ඉපදුණේ. ජීවිතය කියන්නේ මොකක්ද කියලා මට වැටහෙන්න පටන් ගත්තේ එතැන ඉඳන් තමයි.මගේ තාත්තා අම්මව විවාහ කරගන්න කොට තාත්තට හුඟක් වයසයි. අම්මට වයස අවුරුදු හතළිහක් වගේ වෙනවා. අම්මා නැති වෙලා ටික කාලයක් ගත් වෙද්දී තාත්තා සේවය කරපු මාධ්‍ය ආයතනයෙන් විශ්‍රාම ගියා. විශ්‍රාම ගියාට තාත්තට විශ්‍රාම වැටුපක් තිබුණෙ නැහැ තිබුණෙ අර්ථසාධක අරමුදලක් විතරයි. තාත්තා රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ අපට විශාල ආර්ථික ආර්බුද ඇතිවෙන්න පටන් ගත්තා. මොකද තාත්තා මුදල් හම්බ කළාට කලමනාකරණයක් තිබුණේ නැහැ. අම්මා තමයි ඒවා කළමනාකරණය කළේ. අම්මා නැති නිසා මට ඒවා තේරෙන්න පටන් ගත්තා. සමහර ඉස්කෝල නිවාඩුවලදි මට ගෙදර එන්න සල්ලි තිබුණෙ නැතිව හරිම අසරණ වුණු අවස්ථා තිබුණා.මේ කාලේ වෙන කොට මාව බලා ගත්තේ තාත්තගේම අක්කා කෙනෙක්. එයා  නන්හාමි මඩවල. ඇය විවාහ වුණෙත් නැහැ මාවයි, තාත්තවයි බලාගෙන අපි එක්ක හිටියා. 

අල්මාරියෙන් හමු වූ අම්මාගේ ආදරය

මම උසස් පෙළ කරන කාලේ එක දවසක් මට ඉස්කෝලෙට පණිවිඩයක් ආවා. තාත්තා හදිසියේ රෝහල් ගත කළා කියලා.එදත් මට ගෙදර එන්න බස් ගාස්තු සල්ලි නැතිව පුදුම දුකකට පත්වුණා. කොහොම හරි මම බස් ගාස්තු හොයාගෙන ගෙදරට ආවා. ඇවිත් බලද්දි තාත්තා හොස්පිටල් එකේ වැටිලා කකුලකුත් කැඩිලා. ඒ ප්‍රශ්නය මගේ අසරණකම තවත් වැඩි  කළා. අතේ සතපහක් නෑ. ඉස්කෝලේ යන වැඩෙයි, තාත්තව බලා ගන්න වැඩෙයි දෙකම කරන්න විදියක් හිතලා මම තීරණය කළා කරාපිටියේ රෝහලෙන් තාත්තව කොළඹ හොස්පිටල් එකට ගේන්න. ඒත් මට අතේ සල්ලි නැහැ.එදා තාත්තව කොළඹ ගේන්න විදියක් නැතිව අපේ ගෙදර අම්මයි තාත්තයි පාවිච්චි කරපු පරණ අල්මාරියක මමයි, නැන්දයි පැය හතරක් පහක් තිස්සෙ ඒකේ තිබුණු පත්තර පිටු පවා ඇදලා බැලුවා, අම්මා අරන් තියපු රුපියල් සීයක්වත් තියෙයිද කියලා. ඒත් කීයක්වත් තිබුණෙ නැහැ. ඒත් එහෙම හොයද්දි මට හම්බවුණා අම්මා මගේ නමට දාපු බැංකු ගිණුම් පොතක්. එකේ තිබුණා අපි කුරුණෑගල ඉන්න කාලේ අම්මා බැංකුවේ දාපු රුපියල් හාරදහස් පන්සියයක මුදලක්. මම ඊට පහුවදා කුරුණෑගල ගිහිං ඒක ගන්න බැලුවාම ඒ හාර දහස් පන්සීයයට පොලිය හැදිලා රුපියල් පහළොස්දාහක් විතර තිබුණා. අනූ ගණන්වල ඒක විශාල මුදලක්. පොඩි කාලේ ඉඳන් මුරණ්ඩුකමට අම්මව සතුටු වෙන්න කටයුතු නොකරපු මගේ සතුට වෙනුවෙන්

අම්මා කොයි තරම් දුර දිග බලලා තියෙනවාද කියලා මතක් කර කර මම එදා ගිණුම වහලා ඒ පහළොස්දාහ අරගෙන බැංකුවෙන් එළියට ඇවිත් හුඟ වෙලාවක් ඇඬුවා.එදා තාත්තව ගොඩගන්න ලැබුණේ ඒ සල්ලිවලින්. ඒ විතරක් නොවේ මම ඒක ඉතාම පරිස්සමින් වියදම් කළා. ඒ මුදලින් මට අවුරුදු කිහිපයක්ම මගේ වියදම් පියව ගන්නත් ලැබුණා.අද මම ආපහු හැරිලා බලද්දී මට අම්මා ගැන ඒ හිතෙන හැඟීම විස්තර කරන්න බැහැ. ඒදා අම්මා ඒ මුදල මම වෙනුවෙන් ඉතිරි කරලා නොතිබුණා නම් මමත් නැන්දත් තාත්තත් අසරණ වෙන තරම කියන්න බැහැ.මම හිතනවා හැම අම්මා කෙනෙක් තුළම මේ කළමනාකාරීත්වය තියෙනවා. 

ඒක විවිධාකාරයි. ආර්ථික අතින් විතරක් නොවෙයි සමහර අම්මලා ඉතාම කළමනාකාරී විදියට දුර බලලා දරුවන් අධ්‍යාපනයට යොමු කරවපු අවස්ථා තියෙනවා . ගුණධර්ම පැත්තට යොමු කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඒ අතීතයේ අම්මලා ඒක කොහොම ඉගෙන ගත්තද කියලා.
මට තියෙන එකම දුක අම්මට සලකන්න බැරි වුණානේ කියන එක නොවෙයි අම්මා මට කරපු දේවල් අගය කරලා ඒයාව සතුටු කරන්න බැරි වෙච්ච එක. මට මගේ අම්මා හදලා දුන්නු කෑමක් රහයි කියලවත් එයාව සතුටු කරන්න බැරි වුණා. ඒක මගේ අතින් වෙච්ච ලොකු වරදක්.අදටත් මම හිතන්නේ මගේ සාහිත්‍ය, කලාව තුළින් යම් වෙනසක් දකිනවා නම් මම හිතන විදියෙ වෙනසක් දකිනවා නම් ඒ වෙනසේ පසුබිමේ මගේ අම්මා ඉන්නවා කියලයි. අම්මාගේ වියෝව තමයි මගේ ජීවිතයේ ඛේදජනකම අවස්ථාව ඒ තුළින් තමයි මම ඉපදුණේ. මැරෙන්න අවුරුදු දොළහකට කලින් මගේ ශරීරය ඉපැද්දුවාට ඒ මරණයේ ශෝකී වේදනාවෙන් පස්සෙ තමයි මොහාන් රාජ් මඩවල කියන පුද්ගලයා ඉපදුණේ.

 

SIRIKATHA BRIDAL Read Previous

SIRIKATHA BRIDAL

ලාදුරු   පාසල් දරැවන් අතර පැතිරීමේ අවදානමක් Read Next

ලාදුරු පාසල් දරැවන් අතර පැතිරීමේ අවදානමක්

Realted Post

Leave a comment