හදිසි ගැබ් ගැනීම්වලින් වැළකීමට
හදිසි ගැබ් ගැනීම් පිළිබඳ නිවැරදි අවබෝධයක් සමාජය තුළ පැවතීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිවීම නිසා බොහෝ ගැටලුකාරී අවස්ථාවලට මුහුණ පෑමට සිදුවන අවස්ථා සමාජයේ වැඩිවශයෙන් දක්නට ලැබේ. එම නිසාම මේ කියන්නට යන්නේ ඔබේ දැනුවත්වීමට වැදගත් මාතෘකාවක් වූ හදිසි ගැබ් ගැනීම් පිළිබඳවයි.
සුදුසු උපත්පාලන ක්‍රම
අපේ රටේ මෙන්ම ලෝකයේ උපත් පාලන ක්‍රමවේදයන් බොහෝමයක් පවතිනවා. ඒ අතර කෙටි කාලීන සහ දිගු කාලීන උපත්පාලන ක්‍රම පවතිනවා. දරුවෙකු බලාපොරොත්තු නොවෙන තරුණ විවාහක, සහ මැදිවියේ ඕනෑම කාන්තාවක් මේ අතරින් සුදුසු ක්‍රමයක් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා.
දැනට පවතින උපත්පාලන ක්‍රමවලින් කිසිම ක්‍රමයක් දීර්ඝකාලීනව ගැටලු ඇති කරන්නේ නැහැ. සුළු අතුරු ආබාධ තිබුණත් ඒ තුළින් ලැබෙන ප්‍රයෝජන ඉතාම වැඩියි. තමන් බලාපොරොත්තු නොවන මොහොතක හදිසි ගැබ් ගැනීමක් සිදු වුවහොත් එම කාන්තාව, සහ පවුල සමාජයේ ඉතා අසරණතාවයට පත් වෙනවා. මොකද ලංකාවේ එවැනි තත්ත්වයකදී නීත්‍යනුකූලව දරුගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතයට අනතුරක් සිදුවන අවස්ථාවක පමණක් වන නිසා. වෙන කිසිම හේතුවක් නිසා ගැබ ඉවත් කිරීමට හැකියාවක් නැහැ. එම නිසා හදිසි ගැනීමක් ගැබ් වළක්වා ගැනීම තරුණ වයසේ සහ වැඩිහිටි වියේ සිටින කාන්තාවන්ගේ වගකීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා උපත් පාලන උපක්‍රම භාවිත කිරීමට බියක් ඇති කරගත යුතු නැහැ.
දරුගැබක් පිළිබඳ බියක් ඇතිවුණොත්
ඇතැම් අවස්ථාවල හදිසි ලෙස බලාපොරොත්තු නොවූ ලිංගික එක්වීමක් සිදු වී එමනිසා දරුවෙකු පිළිසිඳ ගනී යැයි අනිසි සැකයක් ඇති වුවහොත් එම අවස්ථාවේදී හදිසි උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක ප්‍රොස්ටිනෝ (postinor tablet) උපත් පාලන පෙත්ත ලබාගන්න පුළුවන්. නමුත් මෙය පුරුද්දක් ලෙස නිතර නිතර භාවිත කිරීම සුදුසු වන්නේ නැහැ. මෙය ලිංගිකව එක් වී පැය 72 ක් ඇතුළත ගතහොත් ඉතා සාර්ථකව දරු ගැබක් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. මෙහි ප්‍රොස්ටිනෝ 01 ලෙස එක පෙත්තක්ද ප්‍රොස්ටිනෝ 02 ලෙස පෙති දෙකක් ලෙස තිබෙනවා. පෙති දෙක (ප්‍රොස්ටිනෝ 02) ලබා ගන්නවා නම් පළමු පෙත්ත ගෙන පැය දොළහකින් ඊළඟ පෙත්ත භාවිත කළ යුතුයි. දැනට පවතින හදිසි ගැබ් ගැනීමක් වළක්වන උපත් පාලන ක්‍රමය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙය භාවිත කළ යුත්තේ හදිසි අවස්ථාවක පමණයි. එසේ නොමැතිව පුරුද්දක් ලෙස භාවිතයට ගැනීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වීමේ ඉඩකඩ පවතිනවා. එම නිසා හැකි සෑම විටකදීම වෛද්‍යවරයකු නිර්දේශ කරන සුදුසු කෙටි කාලීන හෝ දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම වැදගත්.
සටහන: නයනා උදයංගනී
අදහස් දැක්වීම: උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේෂල දංගල්ල
Leave a comment