මා නිවත්ථ අභික්ඛම - ජාතික භික්ෂු දිනය අදයි
“මා නිවත්ථ අභික්ඛම – නොනැවතී ඉදිරියට” තේමාවෙන් මාතලේ දිස්ත්‍රික් සඟ සමුළුව සාර්ථකව පැවැත්විය.
අගෝස්තු 26 ජාතික භික්ෂු දිනය නිමිත්තෙන් “මා නිවත්ථ අභික්ඛම – නොනැවතී ඉදිරියට” යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කළ මාතලේ දිස්ත්‍රික් සඟ සමුළුව ඊයේ (25) ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථාන භූමි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම සඟ සමුළුව සඳහා වැඩම කර සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කුඩාපොල මහානාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරුමක් ද පැවැත්වූ අතර, මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවති මහා සඟ පෙළහර ද වැඩසටහනට එක්කර තිබිණි.
බුද්ධ ශාසනයේ උන්නතිය, සංඝ සමාජයේ අභිවෘද්ධිය සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, දඹුල්ල නගරාධිපතිවරයා, උප නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.
එමෙන්ම විවිධ ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක්ද මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික භික්ෂු දිනයට සමගාමීව පැවැත්වූ මෙම සඟ සමුළුව, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සහ මහා සංඝරත්නයේ සාමූහිකත්වය පිළිබිඹු කළ වැදගත් ආගමික වැඩසටහනක් ලෙස සාර්ථකව අවසන් විය.
මහේෂ් කිරිතිරත්න

Leave a comment