ශ්‍රී ලංකා තැපෑල නව්‍යකරණයට ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පූර්ව සාකච්ඡාවක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීම සහ තැපැල් සේවාව වඩාත් කාර්යක්ෂම හා ලාභදායී සේවාවක් බවට පත්කිරීම අරමුණු කරගත් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද   (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉකුත් ජූලි 09 වනදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම හමුව සංවිධානය කර තිබුණි. තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීමේදී පවතින ගැටලු හඳුනා ගැනීම සහ නව වෙළෙඳපොළ විභවතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර මහතා සඳහන් කළේ, දැනට තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායික තැපැල් සේවාව, භාණ්ඩ බෙදාහැරීම සහ බැංකු හා රක්ෂණ ආයතන සමග එක්ව මූල්‍ය සේවා යන ප්‍රධාන ධාරා තුන ඔස්සේ කටයුතු කරන බවයි. විශේෂයෙන්ම භාණ්ඩ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ඉහළ වෙළෙඳපොළ අවස්ථාවක් නිර්මාණය වී ඇති බවත්, දැනට පවතින 10-15% අතර වෙළෙඳපොළ පංගුව කඩිනමින් පුළුල් කර ගැනීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසීය. එමෙන්ම, ව්‍යාපාරික තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සහ ලාභදායී සේවාවන්හි යෙදෙන කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා මහා භාණ්ඩාගාරය සමග එක්ව විශේෂ අධ්‍යයනයක් සිදුකරන බවද තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර තැපැල් සේවාවන් කාලීන වෙනස්කම්වලට අනුගත වෙමින් පරිවර්තනය වී ඇති ආකාරය පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, සාම්ප්‍රදායික තැපැල් කටයුතු වෙනුවට විද්‍යුත් වෙළෙඳාම (E-Commerce) හා අන්තර්ජාලය පදනම් කරගත් භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් වේගයෙන් වර්ධනය වන බව ප්‍රකාශ කළේය.

නැගී එන නව ව්‍යාපාරික අවස්ථාවන්ගෙන් පල නෙලාගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ යටිතල පහසුකම් ප්‍රතිසංවිධානය කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය. තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික මෙන්ම අන්තර්ජාතික වෙළෙඳාම පුළුල් කිරීමට විශාල පිටිවහලක් ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් රොහාන් ජයතිලක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තැපැල්) ආර්. ජී. කේ. විජේසිංහ, නියෝජ්‍ය තැපැල්පතිවරුන් වන එච්. එම්. පී. හේරත්, තුසිත හුලංගමුව, ජී. සී. අයි. ද සිල්වා, කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්. ඒ. එස්. පී. හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සටහන - කසුනි විජේසිංහ 

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද? Read Previous

Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද?

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Next

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

Realted Post

Leave a comment