Hug එක කියන ඇත්ත, ආදරයද, මිත්‍රත්වයද?
ආදරණීය වැළඳ ගැනීමක් වුවත්, ලැජ්ජාශීලී හෝ අසීරු වැළඳ ගැනීමක් වුවත්, සෑම පුද්ගලයකුටම වැළඳ ගැනීමේ තමන්ටම ආවේණික ශෛලියක් තිබේ. නවතම පර්යේෂණයකට අනුව, පුද්ගලයෙකු වැළඳ ගන්නා ආකාරය ඔහුගේ හෝ ඇයගේ පෞරුෂත්වයේ ඇතැම් ලක්ෂණ හෙළි කළ හැකිය.
ජර්මනියේ හැම්බර්ග් නගරයේ MSH Medical Schoolහි පර්යේෂකයන් කෘත්‍රිම බුද්ධිය (AI) සහ වීඩියෝ විශ්ලේෂණ තාක්ෂණය භාවිත කර මිතුරන් සහ ප්‍රේම සබඳතා ඇති පුද්ගලයන් අතර සිදු කරන වැළඳ ගැනීම් පිළිබඳ අධ්‍යයනයක් සිදු කළහ.
මෙහිදී සහභාගිවන්නන්ට නැවත නැවතත් එකිනෙකා වෙත ගොස් වැළඳ ගැනීමටත්, තම පෞරුෂත්වය සම්බන්ධ ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයීමටත් සිදු විය.
පර්යේෂණයේ ප්‍රතිඵල අනුව, ප්‍රේම සබඳතාවල සිටින පුද්ගලයන්ගේ වැළඳ ගැනීම් සාමාන්‍ය මිතුරන්ගේ වැළඳ ගැනීම්වලට වඩා සැලකිය යුතු ලෙස දිගු වේ.
ආදරවන්තයන් සාමාන්‍යයෙන් තත්පර 7.02ක් පමණ එකිනෙකා වැළඳගෙන සිටි අතර, මිතුරන්ගේ වැළඳ ගැනීමක සාමාන්‍ය කාලය වූයේ තත්පර 2.88ක් පමණි. කෙසේ වෙතත්, වැළඳ ගැනීමේ තද බව සබඳතාවේ ස්වභාවයට වඩා පුද්ගලයාගේ පෞරුෂත්වය සමඟ වඩාත් සම්බන්ධ වී තිබූ බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක මහාචාර්ය සෙබස්තියන් ඔකන්බර්ග් පවසන්නේ, Neuroticism නම් පෞරුෂ ලක්ෂණය වැඩි පුද්ගලයන්, එනම් ඍණාත්මක හැඟීම් සමඟ කටයුතු කිරීමට අපහසු පුද්ගලයන් වැළද ගැනීමේදී වැඩි දුරක් පවත්වාගෙන අඩු තදින් වැළඳ ගැනීමට ප්‍රිය කරන බවයි.
ඊට ප්‍රතිවිරුද්ධව, වගකීම් සහගත බව, සැලකිලිමත් බව සහ විනයගරුක බව පෙන්නුම් කරන Conscientiousness පෞරුෂ ලක්ෂණය වැඩි පුද්ගලයන් තම සහකරුට වඩාත් සමීපව සහ තදින් වැළඳ ගැනීමට කැමැත්තක් දක්වයි. පර්යේෂණයේ තවත් සිත්ගන්නා සුළු සොයාගැනීමක් වූයේ, දණහිස් හෝ පාද අතර ඇති දුර වැනි ශරීරයේ වෙනත් කොටස්වල පිහිටීම සම්බන්ධයෙන් මිතුරන් සහ ආදරවන්තයන් අතර සැලකිය යුතු වෙනසක් නොතිබීමයි.
සමහර යුවළවල් අතර පවා වැළඳ ගැනීමේදී සැලකිය යුතු දුරක් තිබූ අතර, සමහර මිතුරන් ඉතා සමීපව සහ තදින් වැළඳ ගත් බව පර්යේෂකයෝ නිරීක්ෂණය කළහ. ඒ අනුව, වැළඳ ගැනීමේ තද බව පමණක් සලකා පුද්ගලයන් දෙදෙනාගේ සබඳතාව පිළිබඳ නිගමනයකට පැමිණිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.
මහාචාර්ය ඔකන්බර්ග් පවසන්නේ, යම් පුද්ගලයෙකු ඔබව මිතුරෙකු ලෙස පමණක් දකිනවාද, නැතිනම් ඊට වඩා ගැඹුරු හැඟීම් තිබේද යන්න පිළිබඳ ඉඟියක් වැළඳ ගැනීමේ කාලයෙන් ලැබිය හැකි බවයි. ඔහුගේ අදහස අනුව, තත්පර තුනකට අඩු වැළඳ ගැනීමක් නම් එය සාමාන්‍ය මිතුරු සබඳතාවක් විය හැකිය.
තත්පර හතක් හෝ ඊට වැඩි කාලයක් පවතින වැළඳ ගැනීමක් නම් එහි වඩාත් ගැඹුරු හැඟීම් සැඟවී තිබිය හැකිය.
කෙසේ වෙතත්, මෙය පර්යේෂණයේ නිරීක්ෂණයක් පමණක් වන අතර, සියලු පුද්ගලයන්ට එකසේ අදාළ වන නියමයක් නොවන බවද සැලකිය යුතුය. මීට පෙර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ Goldsmiths ආයතනයේ මනෝවිද්‍යා පර්යේෂකයන් සිදු කළ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ, තත්පර 5ත් 10ත්අ තර කාලයක් පවතින වැළඳ ගැනීම් තත්පරයක වැනි ඉතා කෙටි වැළඳ ගැනීම්වලට වඩා ප්‍රසන්න බවයි.
වැළඳ ගැනීමේදී අත් තබන ආකාරය එතරම් වැදගත් නොවූ අතර, අතිශයින් කෙටි වැළඳ ගැනීම්වලින් වැළකී සිටීම වඩා සුදුසු බව පර්යේෂකයන් සඳහන් කළහ. කෙසේ වෙතත්, වැළඳ ගැනීමක් අධික ලෙස දිගු වී අපහසුතාවයක් ඇති කරන අවස්ථාව කුමක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.
2018 වසරේ සිදු කළ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ, ආරවුලකට පසු කෙනෙකු වැළඳ ගැනීම හෝ අත අල්ලා ගැනීම ඍණාත්මක හැඟීම් ඉක්මනින් අඩු කිරීමට උපකාරී වන බවයි. පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් සම්බන්ධ කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව, ආරවුලකින් පසු එකිනෙකා වැළඳගත් පුද්ගලයන්ට ඉදිරි පැය කිහිපය තුළ සහ ඊළඟ දිනයේදීත් අඩු මානසික පීඩනයක් සහ වඩා හොඳ මනෝභාවයක් දක්නට ලැබුණි.
මේ නිසා, ආදරණීය ස්පර්ශය සහ වැළඳ ගැනීම ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට සහ මානසික සුවතාවය වැඩිදියුණු කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂණ රැසකින්ම යළිත් තහවුරු වී ඇත.
අශන්ති වරුණසූරිය

Leave a comment