දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න

පසුගිය දින හතර පුරා දිවයිනේ මධ්‍යම කඳුකරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑම්, ගංවතුර සහ පස් කඳු කඩාවැටීම් වාර්තා වූ අතර, පුද්ගල ජීවිත 6ක් අහිමි වී, පවුල් රැසක් පීඩාවට පත්ව සිටිති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසන්නේ ගත වූ දින 04ක කාලය තුළ වටවල ප්‍රදේශයට මිලිමීටර් 661ක අධික වර්ෂාපතනයක්වා වාර්තා වී ඇති බවයි. එය මෙවර අයහපත් කාලගුණ තත්ත්වයේ වැඩිම වර්ෂාපතනයක් ලෙස සැලකේ. අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, පවුල් 500කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී තිබේ.

මේ අතර පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර ඇති අදියර 3 යටතේ ඉවත් කිරීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

කෙසේවෙතත්, අද (04) දිනයේ තද වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින් දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය, කැලණි ගඟේ කිතුල්ගල සහ නෝර්වුඩ්, කළු ගඟේ රත්නපුර සහ මිල්ලකන්ද ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින බවයි. එසේම නිල්වලා ගඟ, ගිං ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔය ආශ්‍රිත ප්‍රදේශවල ද ගංවතුර අවදානමක් නොමැති බවයි.

කෙසේවෙතත්, ඉදිරි දිනවල තෙත් කලාපයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට යළි තද වැසි ලැබුණහොත් කැලණි ගඟ, කළු ගඟ සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර අවදානම නැවතත් මතුවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර, ඊයේ (03) ගල් පෙරළීමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද (04) පෙරවරු 6.00 සිට යළි ගමනාගමනය සඳහා විවෘත කළ බව පොලීසිය නිවේදනය කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (05) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ද අපේක්ෂා කෙරේ. 

අධික වර්ෂාව හේතුවෙන් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව සහන සහ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර, විශේෂයෙන් යුද හමුදාව අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු වේගවත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසුවේ දිස්ත්‍රික්කයේ පවුල් 1,091කට අයත් පුද්ගලයින් 3,951 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. අවතැන් කඳවුරු 20ක පවුල් 523කට අයත් පුද්ගලයින් 2,195 දෙනෙකු රඳවා සිටින අතර, දිස්ත්‍රික්කයේ පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු අතුරුදන්ව ඇති බවද ඇය සඳහන් කළාය.

සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මරණ 6ක් වාර්තා වී ඇති අතර, එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව සිටින බව පොලීසිය පවසයි. 

අදාළ ප්‍රදේශවල ජනතාව නායයෑම්, ගංවතුර සහ ගිගුරුම් සහිත වැසි පිළිබඳ නිල නිවේදන පිළිපදිමින් අවදානම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් අනුගමනය කරන ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.

අශන්ති වරුණසූරිය

මිල්ටන්ගේ ආදරණීය විරහා ගී රාවය  ’’එදා රෑ’’ Read Previous

මිල්ටන්ගේ ආදරණීය විරහා ගී රාවය ’’එදා රෑ’’

කන්නගී Read Next

කන්නගී

Realted Post

Leave a comment