දරුවන්ට ලියන්න අලුත් විදියේ වැලිපිල්ලක් හඳුන්වා දුන්




පසුගිය කාලය පුරාම රටේ පැවතුණු වාතාවරණයත් සමග දරුවන්ගේ අධ්‍යාපනයට විශාල බලපෑමක් සිදුවු බව රහසක් නොවේ. කාලයක් කොරෝනා වසංගතය නිසාත්, වසර දෙකක පමණ කාලයක් පාසල් යාමට අපහසු විය. මේ හේතු සියල්ල අධ්‍යාපනයේ පමණක් නොව දරුවකුගේ මානසික මට්ටම පවා බිඳ දැමීමට හේතු වේ. අලින්ට දරුවන්ට නලියන්නමයි හිත කියලා අපි කියමනටත් කියන්නේ මේ අය හැමෝම එක තප්පරයක් වත් එකතැන රැඳෙන්න සහ ඒකාකාරීවීමට අකමැති අය නිසාය. කෙසේ වුවත් රටේ පවතින විවිධ ප්‍රශ්න නිසා දරුවන්ට දඟලන්න, සෙල්ලම් කරන්න, ඉගෙන ගන්න තිබෙන පරිසරය එකතැනකට කොටුවී තිබේ. සාමාන්‍ය දරුවකුට එය ඒ තරම් නීරස නම් විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ට මේ තත්ත්වය බෝහෝ පීඩාකාරී විය හැකිය. මෙවැනි දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් කරගන්නේ කෙසේද? මවුපියන් ඒ ගැන සැලකිල්ලක් දැක්විය යුත්තේ කෙසේද යන අවබෝධය ලබාදීමට විශේෂ ක්‍රියාකාරකම් සහ උපදේශන ලබාදීමට හැකි ගුරුවරියක් අපට හමුවුණා. ඒ පෙර පාසල් සහ ප්‍රාථමික ගුරු, විශේෂ අධ්‍යාපන, මනෝවිද්‍යා සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරිනී සුනාලිකා සේරසිංහ යි. 


මේ වන විට මානසික පීඩනයෙන් සිටින දරුවන්ට සහ විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ගේ මනස නිරවුල් කිරීමට ඇය සිදුකරන කාර්ය භාර්ය ගැන සහ ඇයගේ සැලසුම් සහ අදහස් පිළිබඳ ඇය අප හා විස්තර බෙදාගත්තේ මෙලෙසය.


“පෙර පාසල් යන වයසේ සිටින බොහෝ දරුවන්ට සම්පූර්ණයෙන් අක්ෂරඋගන්වන්නෙ නැහැ. එය සිදු කෙරෙන්නේ පළමු වසරේ සිටයි. නමුත් එයට අවශ්‍ය කෙරෙන මූලික අඩිතාලම පෙර පාසලෙන් වැටුණත් අකුරු ඉගෙන ගැනීමේදී විවිධ ගැටලු මතුවීම සාමාන්‍යයි. ඒ නිසා මේ අතරමැද දී දරුවන්ට යම්කිසි අපහසුතාවකට මුහුණ දීමට සිදුවෙනවා. විශේෂයෙන් සිංහල අක්ෂර ඉගෙන ගැනීම පහසු නැහැ. ඒ නිසාම මම එයට පහසු ක්‍රමයක් නිර්මාණය කළා. ඒක හැඳින්වෙන්නේ “වැලිපිල්ල” කියලා. මේ ක්‍රමය දරුවකුට මතක තබාගන්න පහසුවෙන විදියට විශේෂ ක්‍රියාකාරකම් සහිතව කරලා තිබෙන නිර්මාණයක්. මෙවර සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනයටත් මම එය ඉදිරිපත් කළා. 


මට අවශ්‍ය වුණේ තිත් ඉරි මත, කඩ ඉරි මත ලියන සම්ප්‍රදායෙන් ගැලවිලා දරුවන්ට වෙනස් විදියට ඒ අධ්‍යාපනය ලබා දෙන්නයි. මෙහි සෑම අක්ෂරයකටම කවියක් නිර්මාණය වී තිබෙනවා. විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ට විශේෂයෙන් මේ පොත වඩාත් වැදගත් වේවි කියලා විශ්වාස කරනවා. 


බොහෝ වෙලාවට අපේ මවුපියන් දරුවන්ගේ මේ මානසික පීඩනය තේරුම්ගන්න උත්සාහ කරන්නේ නැහැ. ගෙදර ඉඳලා අධ්‍යාපන වැඩවල දරුවන් නිරත වෙද්දි ඔවුන්ට කම්මැලි හිතෙන අවස්ථා තිබෙනවා. විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ට එය අනිවාර්යයෙන් දැනෙන්න පුළුවනි. ඔවුන් පාඩම් කරන්න අදිමදි කරනවා. නමුත් එහෙම දරුවන්ගේ හැසිරීම් හෙට හරියයි, අනිද්දා හරියයි කියලා සමහර මවුපියන් සිතනවා. දරුවන්ගේ සමහර හැසිරීම් අසාමාන්‍ය නම් මවුපියන් විශේෂඥ වෛද්‍යවරුන්ට දරුවන් පෙන්වනවා. ඔවුන් දරුවාගේ බාහිර නිරෝගීතාව පරීක්ෂා කර දරුවාට කිසිම ගැටලුවක් නැහැ කියනවා. නමුත් මවුපියන් විදියට ඔබ තේරුම්ගත යුත්තේ මෙය රෝගයක් නොව දරුවාගේ ඌනතාවක් බවයි. එයට බෙහෙත් කිරීමෙන් පළක් නැහැ. සමහර මවුපියන් තමන්ගේ දරුවන්ට එවැනි ගැටලු තිබෙන බව පිළිගැනීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එහි අසාධාරණය සිදුවන්නේ දරුවාටයි. මම මේ වගේ දරුවන් සමගි සම්බන්ධවෙන්න කැමතියි. දරුවන්ට නිසි මඟ පෙන්වීමක්, රැකවරණයක් සහ අවශ්‍ය නිදහස් වටපිටාවක් නිර්මාණය කරනවා නම් දරුවන් වටා හොඳ අධ්‍යාපනයක් නිර්මාණය කිරීම අපහසු කාර්යක් නොවෙයි.


 


සටහන නයනා උදයංගනී


   
   
      

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment