දරුවන් හදන්න දඬුවම් කරන්නම ඕනෑද?

අපේ රට තුළ⁣වැඩිහිටියෝ, ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරති. ඔවුන් එසේ කරන්නේ තම බලය පාවිච්චි කරමිනි. මෙතැනදී දරුවන් සිතන්නේ බලය තිබේ නම් දඬුවම් කළ හැකි බවයි. අපේ රට තුළ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇත්තේද මෙම ඛේදවාචකයයි. පළමු වසරට එන නවක සිසුන්ට ජ්‍යේෂ්ඨ සිසුවෝ බලය පෙන්වති. 

“ගුරුවරයාගේ කනේ පහරින් සිසුවා රෝහලේ”‍
”‍රත් කළ හැන්දකින් දියණිය පිළිස්සුවැයි මව අත්අඩංගුවට”‍
මෙවැනි ප්‍රවෘත්ති සතියකට තුන හතරක් හෝ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නේ අද ඊයේ පමණක් නොවේ. එහෙත්⁣මීට පෙර මෙවැනි සිදුවීම් වාර්තා වීමට වඩා අද දවසේ යම් ප්‍රවණතාවක් දක්වයි.

 


දරුවන්ට දඬුවම් කර බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
මෙම ප්‍රශ්නය වැඩිහිටියකුගෙන් ඇසුවහොත් ඔවුන්ගේ පිලිතුර වන්නේ දරුවන්ගේ ශික්ෂණය හැදීම සහ ආරක්ෂාව පිණිස බවයි. එහෙත් විද්‍යාත්මකව බැලු‍වොත් එකතු වී ඇති සාක්ෂි අනුව එය එසේ සිදුවනවායැයි ඔප්පු කළ නොහැකිය. උදාහරණයක් ලෙස බන්ධනාගාරගත රැඳවියකුගෙන් ඔවුන්ට එසේ සිදුවීමට හේතු විමසුවහොත් බොහෝදෙනකු ලබා දෙන පිලිතුර වන්නේ කුඩා කල සිටම දඬුවම් විඳීමයි. එසේ නම් ශික්ෂණය දඬුවමකින් ලැබෙන්නේ නැත.


තවද ගැහැනු දරුවෙකු ආරක්ෂා කිරීම පිණිස පිරිමි ළමයෙකු හා කතාබහ කළද දඬුවම් පැනවීම සිදුවෙයි. එහෙත් අපයෝජන සිදුවීම්වලදී 95%කට වැඩිය ගැහැනු දරුවන් අපයෝජනය වන්නේ ඔවුන්ගේ කැමැත්තෙනි. එසේනම් දඬුවම් කිරීම තුළින් දරුවන්ගේ ශික්ෂණය, ආරක්ෂාව දෙකම වැළකී නොමැත.

 


දරුවන්ට දඬුවම් කිරීම රජ කාලෙත් කතා බහට
ලංකාවේ රජ කළ වෝවහාරික තිස්ස, පොලොන්නරුවේ දෙවන විජයබාහු, දඹදෙනියේ තුන්වන විජයබාහු යන රජවරුන් තම රාජ පාලන සමයේදී ශාරීරික දණ්ඩනය තහනම් කළේය. දඬුවම් නොකිරීම අපේ සංස්කෘතියේ කොටසක් විය. රජවරුන් බොහෝ විට රාජ්‍ය පාලනයේදී උපදෙස් ලබාගන්නේ භික්ෂූන්ගෙනි. භික්ෂූන් උපදෙස් ලබාදෙන්නේ යම් කියවීමකිනි. ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ දඬුවමට සැවොම බිය බව දැක් වේ. අප රටට ගැළපෙන්නේ මෙම ක්‍රමයයි.


ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲරත්වය මතුකරන ඇහැළේපොළ දරුවන් ඝාතන සිද්ධිය පිළිබඳව මේ වෙද්දි විවිධ මතවාද පවතී. මහාචාර්ය ඝණනාථ අබේසේකරයන් පවසන්නේ එය ගොතන ලද කතාවක් බවයි. මෙතරම් කෲර රජ කෙනකුගෙන් බේරාගන්නට තමන් රටේ පාලනය බාර ගන්නා ලෙස ජනතාව මුලා කරමින් ජෝන් ඩොයිලි සහ ලන්දේසි සොල්දාදුවකු ගොතන ලද කතාවක් යැයි ද පැවසේ. මන්ද එවැනි කාලසීමාවක මහනුවර රාජධානිය තුළ එවැනි දරුණු සිදුවීමක් වෙතැයි සිතිය නොහැකි බව ඔහු පවසයි.

 


ලංකාව කෲරත්වය නැති රටක් ද?
අපේ රට කෲරත්වය පිරි රටක් නොවේ. දඬුවම භාවිතා වූයේ යටත් විජිත පාලනයෙන් පසුවය. දඬුවම අපේ සංස්කෘතියේ නොතිබුණු දෙයකි. අතීතයේ සිදු වූ ඇතැම් සිදුවීම් මුල්කරගෙන දඬුවම අතීතයේ තිබුණුබව බොහෝදෙනා සිතති. යුරෝපයේ මධ්‍යතන යුගයේදී පවා දඬුවම තිබුණු අතර එය නූතන යුගයේදී ඈත් විය. දරුවන්ගේ  ශික්ෂණය හැදීමට දඬුවමින් නොහැකි බව ඔප්පු කර ඇති අතර දඬුවම් පැනවීමේ අවස්ථාවේ පමණක් ඔවුන්ගේ විනයක්  දැකිය හැකිය. එය තාවකාලික ය. දරුවකුට අවශ්‍ය ස්වයං විනයක් බව ද දඬුවම අසාර්ථක මෙවලමක් බව ද මෙම කාරණා තුළින් පැහැදිලිය.

 


අපේ වැරදි පූර්වාදර්ශය
අපේ රට තුළ⁣වැඩිහිටියෝ, ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරති. ඔවුන් එසේ කරන්නේ තම බලය පාවිච්චි කරමිනි. මෙතැනදී දරුවන් සිතන්නේ බලය තිබේ නම් දඬුවම් කළ හැකි බවයි. අපේ රට තුළ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇත්තේද මෙම ඛේදවාචකයයි. පළමු වසරට එන නවක සිසුන්ට ජ්‍යේෂ්ඨ සිසුවෝ බලය පෙන්වති. නිවසේද, පොලිසිය, හමුදාව වැනි ආයතන තුළද බොහෝ විට සිදුවන්නේ මෙයයි. තමා යටතේ සිටින්නන්ට බලය පෙන්වා දඬුවම් කරති. මේ තුළින් අහිමි වන්නේ රටක ඵලදායිතාවයි. බොහෝ රටවලට මෙය අහිතකර ප්‍රතිඵලයකි. 


ඊළඟ ලිපියෙන් - දඬුවම් කිරීමෙන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන දෑ ඉටුවේද?

සුජිත් ප්‍රසංග


 

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි Read Previous

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Next

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

Realted Post

Leave a comment