නැකත් වැරදුණා කියලා අසුභවාදී වෙන්න එපා

 

පණ්ඩුකාභය රාජ්‍ය සමයේ සිට ඉතා ඉහළින් සැමරූ උත්සවයක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද දැක්විය හැකිය. එතරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියන අලුත් අවුරුදු උදාව සෑම වසරක පාහේ සිංහල දමිළ ජනයා ජයටම සමරනු ලබයි. එදිනට බොහෝ චාරිත්‍ර  යෙදී තිබෙන බැවින් ඒවා ඒ අයුරින්ම ඉටුකිරීමට  හැකිවීම ඔවුන්ගේ එකම පැතුමයි. ඒ අතරතුර එම චාරිත්‍ර ඉටුකර ගැනීමට නොහැකි ව ළතැවෙන්නන් ද නැතුවාම නොවේ.

එසේ නොවී ධනාත්මක සිතින් නව වසරට පා තබන්නේ කෙසේදැයි  ඔබට යමක් කියන්නට  සිරිකත Online අපි අදහස් කළා. මේ ඒ සම්බන්දයෙන් හඟුරන්කෙත විමලරතන  ස්වාමීන්වහන්සේ මෙසේ වදාළහ.

සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය අර්ථ ගන්වමින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වේ. සූර්යය මාස ක්‍රමයට සිදුවන එකම උත්සවය වන මෙහි බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර රැසක් දක්නට ලැබේ. නව සඳ බැලීම,පරණ අවුරුද්ද සඳහා ස්නානය,අලුත් අවුරුදු උදාව වගේම ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු  කිරීම යනාදිය ඉන් ප්‍රධාන වේ.

මෙම චාරිත්‍රයන් අතුරෙන් නොනගතය උදාවත් සමග සියලු වැඩකටයුතු  අත්හැරීම සාමාන්‍ය සිරිතයි. ආගමික කටයුතුවලට මූලික තැන දී කටයුතු කරන නිසා මෙම කාල සීමාව පුණ්‍ය කාලය ලෙස ද හැදින්වේ. නමුත් වර්තමානයේ කාර්යබහුල දිවි පෙවෙත නිසාවෙන් මෙම කාලයේ දී විවිධ වැඩ කටයුතු වල නිරත වන්නට බොහෝ දෙනෙකුට සිදුවේ.ජෝතිශයට අනුව නොනගතය යනු නැකැත් නොමැති වෙලාවකි. අසුබ හෝරා කීහිපයකි.බෞද්ධ දර්ශනයට අනුව එවැනි නැකැත් නොමැති වේලාවන් ගණනය කළ නොහැකි තරම්ය. 

ඒ නිසාවෙන් පුණ්‍ය කටයුතුවල  නිරතවීමට ඕනෑම කාලසීමාවක් සුදුසු වන බැවින් එය මගහැරුණා යැයි කිසිසේත්ම පසුතැවිලි විය යුතු නැත. විද්‍යාත්මක පදනමෙන් බැලූ කල පැරැන්නන් විසින් මෙවැනි කාල කාලසීමාවක් යොදාගෙන ඇත්තේ දුරුත්තේ සිට වැඩ අරඹන හෙළ ජනයා  බක් මාසය වන විට සියලු වැඩකටයුතු අවසන් කරන බැවින් ඔවුනගේ අවිවේකී මනසට විවේකයක් ලබාදීමේ අරමුණෙනි.

නොනගතය පමණක් නොව ආහාර  පිසීම,ආහාර අනුභවය, වැඩ ඇල්ලීම වගේම ගනුදෙනු කිරීම වැනි චාරිත්‍රයන් ද කාර්යබහුලත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට මගහැරී යයි. නමුත් පැරැන්නන් විසින් මෙවැනි චාරිත්‍රයන් ඉටු කොට ඇත්තේ පුරා මාස ගණනාවක් දුක සේ ලබාගත් අස්වැන්නෙන් කිරිබතක් සාදා එතැන් සිට ඉතිරි කාල පරිච්ඡේදය සතුටින් සෞභාග්‍ය සම්පන්නව ගත කිරීමේ අරමුණෙනි.මෙලෙස චාරිත්‍ර කීපයක් එකවර යෙදීමෙන් සංකේතවත් කොට ඇත්තේ සමුහිකත්වයයි.

අවුරුදු උදාවෙන් සහ  ඒ ආශ්‍රිතව ගොඩනැගුණු චාරිත්‍රයන්ගේ අවසානය සනිටුහන් වන්නේ හිස තෙල් ගෑම සහ රැකී රක්ෂා සදහා සඳහා පිටත්ව යෑමෙනි.මෙලෙස හිස තෙල් ගෑමෙන් අපේක්ෂා කොට ඇත්තේ නිරෝගීමත් අනාගතයකි. චාරිත්‍රානුකූල ව රැකියාවට පිටත්ව යාම මගින් රැකියා ස්ථානයේ පවතින සිත් අමනාපකම් බැහැර කොට නව ආකල්පයන්ගෙන් යුක්තව රැකියාවේ නිරත වීම අරුත් ගැන්වේ.

මේ ආදී වශයෙන් චාරිත්‍ර චාරිත්‍ර පැවතිය ද වර්තමානය වන විට අභියෝග කළ නොහැකි තරමට මිනිසා කාර්යබහුල වී ඇත. එවැනි අවස්ථාවල සිදුවිය යුත්තේ  නැකතකට සීමා වී අසුබවාදී අදහස්  ගොඩනඟා ගැනීම නොව තමා නිරතවන්නේ කුමන කාර්යයේ ද එය  සුබවාදී ව හා සදාචාරසම්පන්නව සිදුකිරීමයි. එවිට සෑම දිනයක්ම සුභ වනු නියතය.

සටහන - නෙත්මි තෂාරා

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් පිටියේදී ලංකාවට පදක්කම් වැස්සක් Read Previous

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් පිටියේදී ලංකාවට පදක්කම් වැස්සක්

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Next

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

Realted Post

Leave a comment