හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා පටය වූ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවියගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් සොරා ගන්නා ඇය අභිලාෂි සන්තුෂ්කි. සිනමාවට නුහුරු නුපුරුදු රුවක් වුවද ඉතාම කෙටිකාලයකින් කාගෙත් සිත් දිනාගැනීමට සමත් වූ ඇය සමගයි මේ කතාබහ කෙටි කාලයකින් හුඟක් දෙනෙක් අතර ජනප්‍රිය වුණ කවුද මේ අභිලාෂි?

මම අභිලාෂි සන්තුෂ්කි ජයතිලක. මගේ ගම කොළඹ කෝටකෝ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි මල්ලියි. මට තාම වයස අවුරුදු විස්සයි. සිංහබාහු චිත්‍රපටය හරහා තමයි මුලින්ම සිනමාවට ප්‍රවිෂ්ට වෙන්නේ. මම ගැන විස්තර කරනවනම් මම නිතරම කුතුහලෙන් ඉන්න ගැහැනු ළමයෙක්. ඒ වගේම අභියෝග භාරගන්නත් හරිම කැමතියි. නිතරම අලුත් දෙයක් කරන්න කැමතියි. මම හරි ආසයි පරණ දේවල් වලට. පරණ විලාසිතා, පැරණි සින්දු පරණ පොත්පත් වලට හරිම කැමතියි.

  • සිනමාවට එන්නේ සිංහබාහු චිත්‍රපටය හරහා නේද?

ඔව් නමුත් කලාවට එන්නේ වයස අවුරුදු 17දී පමණ. ඒකාලේ මට අවස්ථාව ලැබුණා අක්ෂට Miss Teen Universe Sri Lanka තරගය ජයග්‍රහණය කරන්න. ඒ හරහා මම නිරූපණ ක්ෂේත්‍රයටත් පැමිණෙනවා. පොඩිකාලේ ඉඳලම විවිධ නිර්මාණ වලට මට ආරාධනා ලැබිලා තියනවා. නමුත් මට වගේම අපේ අම්මලාටත් මම ගැන තිබුණ අධිෂ්ඨානයක් තමයි මගේ දක්ෂතාවය හොඳම නිර්මාණයක් තුළින් එළියට ගෙනෙනවා කියන එක. හොඳ වැඩක් හම්බවෙනකල් චුට්ටක් ඉවසලා ඉමු කියන එක හිතේ තිබුණා.

ඒ ඉවසීමේ ප්‍රතිඵලයක් විදියට මට ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු නවතම චිත්‍රපටයේ චරිතයක් වන සුප්පා කුමරියගේ චරිතය ලැබුණා. ඉතින් හරියටම මම සිනමාවට පැමිණෙන්නේ මේ නිර් මාණය හරහා තමයි.

  • ප්‍රවීණයන් සමග වැඩකරන්න ලැබුණ අවස්ථාව කොහොමද දැනුණේ?

ඇත්තමට මම මුලින්ම ඔඩිෂන් එකට ගියෙත් හරිම කුතුහලයකින් සහ ආසාවකින්. මම දැන් හම්බවෙන්න යන්නේ අාචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යන ප්‍රවීණයන් දෙදෙනා කියන හැඟීම හිතට ලොකු සතුටක් ඇතිකළා. ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මේ චිත්‍රපටය හරහා ප්‍රවීණයන් විශාල ප්‍රමාණයක් මුණගැසුණා. ඔවුන් සමග කටයුතු කරන්න ලැබීම ජීවිතයේ මට ලැබුණ විශාල භාග්‍යයක්. අකිල ධනුද්දර, සජිත අනුත්තර, දුෂේනි මියුරංගි, යශෝධා විමලධර්ම,රත්නා ලාලනී ජයකොඩි මේ වගේ තවත් ප්‍රවීණයන් රැසක් ඉන්න නිර්මාණයක් තමයි සිංහබාහු කියන්නේ. ප්‍රථම සිනමාපටය තුළදීම ඒ වගේ පිරිසක් එක්ක කටයුතු කරන්න ලැබීම ඇත්තටම සතුටක්. අමතක නොවෙනම දෙයක් තමයි මේ නිර් මාණය ඇතුළේ මට ජැක්සන් ඇන්තනී කියන දැවැන්ත චරිතය මුණගැසීම. මම හරිම ආදරය කරන චරිතයක්. ඉතින් මට අවස්ථාව ලැබුණා ඔහු සමග දවස් තුන හතරක් හෝ එකට කටයුතු කරන්න. ඒ පොඩි කාලය තුලදී වුණත් ඔහු මට දැක්වූ ආදරය සහ ලබාදුන් දැනුම මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ’

  • රංගනයට අමතරව වෙනත් දක්ෂතා ගැනත් කතා කරමු? 

මම වේදිකා නාට්‍ය වගේම නර්තනයත් හදාරලා තියනවා. ඒ වගේම මම පාසල් කාලයේ ඉදලම ක්‍රීඩාවටත් දක්ෂතා පෙන්නලා තියනවා. විශේෂයෙන් වොලිබෝල් සහ නෙට්බෝල් ක්‍රිඩාවට. ඒ වගේම හොඳට පිහිනන්න පුළුවන්. ඇත්තටම ඒ හැකියාව මට චිත්‍රපටයෙදී ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මාව තෝරගන්න එක හේතුවක් තමයි පිහිනීමට තිබූ හැකියාව. සින්දු කියන්න, කවි නිර් මාණ කරන්නත් පොඩි හැකියාවක් තියනවා. ඒ හැකියාවන් තව දියුණු කරගනිමින් යනවා. මට තියන දක්ෂතාවලට අමතරව මම නිතරම තවත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක්.

  • ඉදිරියේදී අලුත් නිර්මාණ තුළින් ප්‍රෙක් ්ෂකයන්ට ඔබව දකින්න ලැබේවිද?

අනිවාර්යයෙන්ම අලුත් හොඳ නිර් මාණ තුළින් මාව දැකගන්න පුළුවන්. මේ ගමනෙදී මට කිසිම හදිසියක් නැහැ. මම බොහොම ඉවසීමෙන් හෙමින් තමයි මේ ගමන යන්නේ. ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • අනාගතයේ කවුරු වෙන්නද හීන දකින්නේ?

රංගනය පැත්තෙන් අනාගතේදී මම දකින සිහිනය තමයි හොඳ සිනමා නිළියක් වෙන්න. ඒ වගේම වෘත්තීමය ජීවිතය පැත්තෙන් මනෝ වෛද්‍යවරියක් වෙන්න තමයි ආස කරන්නේ. ඒ වෙනුවෙන් ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. මම ආසයි තවත් කෙනෙකුගේ මානසික නිදහස වෙනුවෙන් කැපවෙන්න. තවත් වසර කිහිපයකින් මට ඒ අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

  • ඡායාරූප  - ඉන්දික මල්ලවාරච්චි

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ Read Previous

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ

SIRIKATHA BRIDAL Read Next

SIRIKATHA BRIDAL

Realted Post

Leave a comment