ආදරේ නිසාමද හිත මේ හැටි කලබල
හිත හරි කලබලයි ආදරේ වැඩි වුණාම. ආදරේදී රණ්ඩු වෙද්දි, බැණ ගද්දි ඕනැවට වඩා හොයලා බලද්දි හුඟදෙනෙක් කියන්නේ ආදරේ වැඩි නිසයි එහෙම වෙන්නේ කියලා? මේ කතාව ඇත්තමද? ඒ ආදරේ ඇතුළෙම සැකය වැඩි වුණාමත් හිත හරි කලබලයි නේද? එතකොට සැකය වැඩිවෙන්නෙත් ආදරේ නිසාමද? ඔව් ඔයාට හිතෙන දේ හරි. මේක හරි පරිස්සමෙන් අතැඟිලි පටලන් යන්න ඕනෑ ගමනක්. එහෙම නැති වුණොත් හරි පැණිසරයි කියලා බැඳගත්ත කසාදේ ජීවිත කාලයටම තිත්ත බෙහෙතක් වෙන්න පුළුවන්
පිරිමියෙක් ජීවිතේට වැඩිපුරම නිදහස බලාපොරොත්තු වෙද්දි ගැහැනියක් විවාහ ජීවිතේ ඇතුළේ ආදරේ, අවධානය මහ හුගක් බලාපොරොත්තු වෙනවා. මේකෙන් කියන්නේ මහත්තයාට ආදරේ ඕනි නෑ කියලා නම් නෙවෙයි. ඔව් මේක රස දෙකක්. පිරිමියා ජීවිතේ රස විදින විදියට නෙවෙයි ගැහැනිය ජීවිතේ රස විඳින්නෙ. ඉතින් ඔයයි මමයි දැන් එක්කෙනෙක් කියන පරණ මතයෙන් ඈත්වෙලා එයයි මමයි දෙන්නෙක් කියන තැන අවබෝධයෙන් අල්ලාගත් නම් ඔය අත් ඒ තරම් ලේසියෙන් ගිලිහෙන්නෙ නැති වෙයි.
පෙම්වතුන් විදියට ගෙවිලා ගිය අතීතය ගැන සිහිපත් කරමින් විවාහ ජීවිතේ ඇතුළෙ සුසුම් හෙළන ආදර කතන්දර නම් ඕනෑ තරම්. නමුත් ගෙවී යන මේ මොහොතේ සතුට රඳවාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් අතීතය ගැන වේදනාවෙන් සිහිපත් කළයුතු නැහැ. බලන්නකෝ ආදරේ නිසාම ඔයාගේ හිත කොච්චර ගිලන් වෙලාද කියලා.
ඔන්න මහත්තයාට අද පාටියක් තියනවා. දැන් එතන ඉඳලා නෝනා හිතන්න පටන් ගන්නවා. මෙයා අද එද්දි කීය වෙයිද දන්නෑ. රෑට රෑ වෙනකල් බීලා අවොත් තමයි වැඩේ. කවුද දන්නෑ අද එන්නේ පාටියට. වෙනදට වඩා හැඩවෙලා ගියේ මොකද දන්නෑ. ඉතින් මේ වගේ නානාප්‍රකාර දේවල් ඔන්න ඔළුවට එන්න පටන් ගන්නවා. මහත්තයා ගෙදරින් පිටත් වෙනවා. දැන් ඉතින් නෝනා ඉන්නේ පුදුම කලබලයකින්. ටීවි එක දාගෙන බලන් හිටියට හිත වෙනකොහෙවත්. දැන් නම් එන්න වෙලාවත් හරි. ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. කුස්සියට ගිහින් කෑම ටික බෙදාගන්නෙත් නොයෙකුත් දේ කල්පනා කරන ගමන්. ඉතින් ආදරේ නිසානම් මේ හිතේ කලබලේ සතුටක් කොයින්ද මේ ගෙවන ජීවිතේ?
ආදරණීය ජිවිතයක් ඇතුළෙ නිදහසේ සතුටින් ජීවත් වෙන්න නම් ඔබ අවබෝධ කරගත යුතුම තැනයි මේ.එයාට එයාගේ නිදහස දීලා ඔයා ඔයාගේ නිදහසේ ජිවත් වෙන්න. මේ කියන්නේ එකිනෙකා ගැන හොයන්න එපා කියල නම් නෙවෙයි. මහත්තයා පාටියට යනවා නම් එයාව සතුටෙන් පිටත් කරන්න. එතනින් පස්සේ ඔයා ඔයාගේ වැඩ ටික නිදහසේ කරගන්න. විටින් විට කතා කර කර එයාට වදයක් නොවී ඒ මොහොත සතුටින් ගත කරන්න එයාට ඉඩදෙන්න. එයා හොයන නිදහසට ඔයාගේ සහයෝගය දෙන්න. බලන්නකෝ
දවස පුරා කෑවද බිව්වද කියලා මැසේජ් එකක් එනතුරු හිත මොනතරම් නොසන්සුන්ද? කොහෙද ගියේ කියලා යන යන තැන මැසේජ් කරන එක මුලින්ම විනෝදයක් වුණාට ජිවිතේ හැමදාම ඒ මැසේජ් එක යවන්න බැරි බව අපි තේරුම් ගන්න ඕනෑ නේද?
ආදරේ කියන්නෙම අනිත් කෙනාව අපහසුතාවට පත්නොවෙන විදියට ජීවත්වෙන එකට නේද? ඔයා යන්නේ නැත්නම් එයාට ට්‍රිප් යන්නත් බෑ. ඒ නිසා එයා හිතනවා මට යන්න බැරි නම් එයාට යන්න දෙන්නත් බැහැ කියලා. ඉතින් කාලයත් එක්ක අපි හොයන නිදහස ජීවිතේ අපට නොලැබෙද්දි ඒ ජිවිතේ නීරසයි. හරි කලබලයි. මේක තේරුම් ගැනීම විතරක් නෙවෙයි. කැපකිරීම කියන්නෙත් මේකටම වෙන්න ඇති. ඔයාට නොලැබෙන දේ එයාට ලබාගන්න ශක්තියක් වෙන තැනයි ආදරේ රැඳෙන්නෙ. එහෙම ජිවිතවලට ගැහැනු වගේම පිරිමිත් හරි ලෝබයි. එහෙම ආදර කතාවලට බැහැ කවදාවත් අනෙක් කෙනාව අසරණ කරන්න. ඉතින් බොහොම ටික කාලයක් ජිවත් වෙන්න තියන මේ ජිවිතේ මිහිරි බව සොයාගන්න ජීවිතේ විඳින්න උත්සාහ කරන්න ඔබටත් පුළුවන්.
Leave a comment