ඔසප්වෙන්න සතියකට කලින් හැදෙන ලෙඩේ

මගේ නම ශ‍්‍රියානි. වයස 38යි. මම ගුරුවරියක්. ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ සැමියා පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරනවා. මගේ අම්මත්, තාත්තත් අපේ ගෙදරමයි ඉන්නේ. මේ හැමෝම සමග මම සතුටින් ජීවිතය ගත කරනවා. නමුත් සතියෙන් සතිය මා කණපිට හරවන සිදුවීමක් තිබෙනවා. විශේෂයෙන් මාසික ශුද්ධිය හැදෙන්න ප‍්‍රථම සතිය මගේ ජීවිතයේ තිබෙන මහා නරකම කාලයක්. 

මුල්වරට මගේ ඔසප්වීම පටන්ගෙන කාලයක් ගත වුණාට පසුව තමයි මට මේ තත්ත්වය ඇතිවුණේ. මාසික ශුද්ධියට සතියකට කලින් මට පුදුම කේන්තියක් ඇතිවෙනවා. මගෙ හැඟිම් වෙනස් වෙනවා. වෙලාවකට එකපාරටම දුක හිතෙනවා. එකපාරටම සතුටින් ඉන්නවා. වෙලාවකට බයක් ඇති වෙනවා. හොඳට ගෙදර වැඩ කරගෙන සිටි මම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මගේ මහත්තයත්, දරුවනුත් ඒ කාලෙට මා ළඟට එන්න බයයි. පොඩි දේටත් මට තරහ යනවා.

මගෙන් කිසි වැඩක් නෑ කියලා මටම දැනෙනවා. ඒ සමගම හරි කලබල ගතියක් හිතට දැනෙනවා. ඒ වෙලාවට ළඟදීම මට මහා නරක දෙයක් වෙයි කියල හිතට දැනෙනවා. පපුවේ ගැස්ම ගොඩාක් වැඩිවෙනවා. 

මේ තත්ත්වය ගෙදරදි වගේම රැකියාවෙදිත් මට තියෙනවා. මට තිබෙන ලොකුම ප‍්‍රශ්නය එයයි. අවසානයේ මම තීරණය කළා විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට. ඔහු මට මනෝ චිකිත්සක ක‍්‍රම සහ ඖෂධ නියම කළා. ඒවායින් මට පුදුම සුවයක් ලැබුණා. එවිට මගේ මාසික ශුද්ධියට මට බියක් ඇතිවුණෙත් නැහැ. මට මතකයි කලින් මට මාසික ශූද්ධිය තිබෙන විට තිබුණ බිය. දැන් මට එහෙම දෙයක් නැහැ.

පූර්ව ඔසප් මානසිකත්වය (Pre menstrual Dysphoric Disorder)  නමැති මේ මානසික රෝගය සමාජයේ අද බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. බොහෝ දෙනෙක් මේ සම්බන්ධව නොදැනුවත්වීම මේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට තිබෙන ප‍්‍රධාන බාධාවක්. ඔසප්වීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතිවුවහොත් එය අසනීපයක් නොවන බව පවසා වෛද්‍ය ප‍්‍රතිකාර මගහරිනවා. වැඩි වශයෙන් හැදෙන්නේ තරුණ කාන්තාවන්ට යි. එහි යම් ජානමය සම්බන්ධයක් තිබිය හැකියි. 

එහිදී ඔවුන්ට යම් යම් මානසික ප‍්‍රශ්න ඇතිවිය හැකියි. ස්ථුලතාවත් මේ සමග ඇතිවිය හැකියි. මුලින්ම ඔවුන්ට තිබෙන්නේ ඉක්මනින් කේන්තියාම, දුක හිතීම වැනි දේවල්. තමන් ගැන හීනමානයක් ඇතිවීම, කලබල තත්ත්වයක් ඇතිවීම හටගන්නත් ඉඩ තිබෙනවා. මේ නිසා බොහෝ කාන්තාවන් කිසිම වැඩක් නොකර සිටිනවා දැක තිබෙනවා. සමහර අයට ආහාර රුචිය අඩුවෙනවා. නින්දේ වෙනස්කම් දක්නට ලැබෙනවා. අවධානය අඩුවීම, තමන්ට තමන්ගේ පාලනයක් නොමැතිවීම මේ රෝගයේ ලක්ෂණ වෙන්න පුළුවන්. වැඩිපුර නින්දයාමත් මේ රෝගයේ තවත් ලක්ෂණයක්.

එමෙන්ම සමහරුන්ට මේ තත්ත්වය දරා ගැනීමට නොහැකිව දිවි තොර ගැනීමට පවා පෙලඹෙන්න පුළුවන්. ඔවුන්ගේ එදිනෙදා වැඩවල පවා වෙනසක් දැකිය හැකියි. එමෙන්ම තමන්ගේ පියයුරුවල වෙනසක්, පිම්බීමක්  වැනි දෙයක් හටගැනීමට ඉඩ තිබෙනවා. බර වැඩි වීමක් පවා දක්නට ලැබෙනවා. මේ සමගම විෂාදය තත්ත්ව, බියවීම වැනි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. මෙවැනි දේ හටගත් විට ඒවා නිකම්ම සුව වෙන්නේ නැහැ. මෙයට ප‍්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි.

නියම විදියට ඖෂධ ලබා ගැනීමෙන් මෙම රෝග ලක්ෂණ නිට්ටාවටම නැති කරගත හැකියි. එහෙත් දිගටම ඖෂධ ප‍්‍රතිකාර ගැනීමෙන් පමණක් මේ තත්ත්වයට පත්වනවා විනා ඉඳහිට ඖෂධ ගැනීමෙන් පමණක් එම තත්ත්වය ඇතිකරගත නොහැකියි. 

සටහන - ආරියසේන හඳුවල

 

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Previous

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Next

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

Realted Post

Leave a comment