සැමියා රට ඉද්දී බිරිඳ මිතුරියක් එක්ක අසම්මත පෙමක්

 

අසංකට තවත් කියන්නට දෙයක් හෝ සිතන්නට දෙයක් ඇය ඉතිරි කළේ නැත. ඇඳුම් බෑග දෙකක් අතට ගත් ඔවුන් දෙදෙනා ටැක්සියක නැගී නිවසින් පිටව ගියේ අසංකගේත් අහිංසක නොදරුවාගේත් වැලපීම තුට්ටුවකටවත් මායිම් නොකරය.

 

අසංක, පුංචි දූ පැටියත් තුරුලු කරගනිමින් පොලීසියට ගොඩවූයේ කිසිදු හැඟීමකින් තොරවය. “ඕ අයි සී මහත්තය මට පැමිණිල්ලක් දාන්න තියෙනවා.” “මොකක්ද මහත්තයා ප්‍රශ්නය?” “අපේ අහිසංක ජීවිත ඉවරෙටම ඉවරයි සර්.”

කාංචනාට, අසංක හමුවන්නේ ගමේ පන්සලේ පිංකමකට සහභාගි වෙමින් සිටියදීය. ගම්පහ ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක හැදී වැඩුණු ඇය, ඒ වන විට අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා හෙද පාඨමාලාවක් සඳහා සූදානම් වෙමින් සිටියාය. පන්සලේ ප්‍රධාන දායක පවුලක වැඩිමල් පුත්‍රයා වූ අසංක, නිතර නිතර පන්සලට ඇවිත් ගියත් මින් පෙර ඇය දැක තිබුණේ නැත. පන්සලේ කඨින පිංකමේදී අහම්බෙන් හමුවී පළමු බැල්මෙන්ම හිත් යා කෙරුණු ඒ ආදර කතාන්තරය කෙළවරක් දුටුවේ දෙදෙනාගේ විවාහ ජීවිතයෙනි. ආදරය, වේදනාව, බලාපොරොත්තු, හැල හැප්පීම්, රණ්ඩු සරුවල්, කඳුළ සහ සිනහව අතරින් දෙදෙනාගේ ආදර අන්දරය ගලා යද්දී එක්තරා සොඳුරු දිනෙක “ආකර්ෂා” පුංචි දියණිය ඔවුන් ගේ ලෝකයට එක්වූවාය.

පෞද්ගලික සමාගමක ගිණුම් ලිපිකරුවකු වශයෙන් සේවය කළ අසංකගේ ජීවිතයට දෙන්නා තුන්දෙනා එක්වෙද්දී වගකීම් රාශියක් ඉහ මත බර වූවා සේ දැනෙන්නට විය.

“කංචි, වාහනේ ෆිනෑන්ස් ගෙවන්න ඕන. ගෙදර වියදම් එන්න එන්නම වැඩි වෙනවා. කම්පනි එකේ සැලරි වැඩි කරන පාටක් පේන තෙක් මානයක නැහැ. වෙන තැනකට ට්‍රයි කළත් මේ වගේ සොච්චම් සැලරි එකක් මොනවා කරන්නද? විජිත කිව්වා කැමති නම් ඩුබායි එන්න කියලා. එයාගේ කම්පනි එකේ වැඩ කරන්න. මම අවුරුදු පහක් ඉඳලා එන්නම් කංචි.”

අවසානයේ සිය අතිජාත මිතුරාගේ ඇරයුමින් අසංක විදෙස් ගත වන්නට තීරණය කළේ පුංචි ආකර්ෂාගේත් කාංචනාගේත් දැඩි නොකැමැත්ත මතය.

“අප්පච්චි යන්න එපා. බබාට පාළුයි.” පුංචි පැටියා ඇඬූ කඳුළින් කීව වදන් අසංකට අද මෙන්ම මතකය. “ඔයා ගියාම අපි දෙන්නා තනිවෙනවා අසා. අපිට කවුද ඉන්නේ. ඔයාලගේ අම්මලත් එන්නේ නැහැ අපේ අයත් එහෙමයි.”

“එහෙම වෙන්නේ නැහැ. මං ඒ ගොල්ලන්ට කියලා යන්නේ. මගේ ලෝකේ බලා ගන්න කියලා.”

අසංක විදෙස් ගතවී වසරක් පමණ ගත වෙද්දීත් පුංචි පැටියාත් ඇයත් ඔහුගේ අඩුව ගැන කියමින් හඬා වැටුණු හැටි අසංක සිහි කළේ දෙනෙත් පිරි කඳුළිනි.

“ඊට පස්සේ මොකද වුණේ මහත්තයා?” පොලිස් නිලධාරියා පැමිණිල්ල සටහන් කරගනිමින් විමසුවේය. “එක දවසක් කාංචනා මට කතා කරලා කිව්වා ගෙවල් පැත්තේ අක්කා කෙනෙක්ට කරදයක් වෙලා කියලා. මම ඇහුවා මොකක්ද කියලා.”

“අසා ඔයා දන්නවා නේද රේණු අක්කි. එයාගේ මහත්තයාගේ අනියම් සම්බන්ධයක් නිසා එයා ගෙදර දාලා යන්න හදනවා. අනේ පවු අසා. එයා නිතරම අපි ගැන බලපු එක්කෙනා නේ. මම කිව්වා එයාට තැනක් හොයා ගන්නකල් අපේ ගෙදර නවතින්න කියලා. මගේ තනියටත් හොඳයි. අනික අපේ ගෙදර ඕන තරම් කාමර තියෙනවා නේ. කමක් නෑ නේද අසා?”

කාංචනා සියලු තීන්දු තීරණ රැගෙන තිබුණේ අසංකගේ මනාපයෙන් ද තොරවය. තමන් නොමැති අඩුපාඩුව නිතර නිතර කතා කරන ඔවුන් දෙදෙනාට මේ අලුත් හමුවීම සහනයක් වේයැයි ඔහු අවසානයේ සිතුවේය. එහෙත් කාලය ගලා ගියේ කිසිදු දිනෙක තමන් අපේක්ෂා නොකළ දෙයක් සිදුවීමෙන් බව ඔහු කීවේය.

“මම හැම මොහොතකම වගේ දරුවටත් කාංචිටත් කතා කරනවා. මම හිටියේ ටිකක් බිසී රස්සාවක වුණත් ඉඩක් ලැබුණ හැම මොහොතකම එයාලා දෙන්නා ගැන හොයලා බැලුවා වීඩියෝ කෝල්ස් අරගෙන. පුංචි පැටියා මොන්ටිසෝරි දාලා තිබුණේ. ටික දවසක් යද්දී කාංචිට රේණු අක්කාගෙ න් තොර ලෝකයක් නැතුව ගියා. මොනවා කිව්වත් රේණු අක්කි රේණු අක්කි ... අන්තිමට කාංචි මගේ එක්ක කතා කරන එකත් සීමා කරන්න ගත්තා”

“ඇයි කාංචි ඔයා දැන් මගේ එක්ක කතා කරන්න හොර. කොයි වෙලාවේ බැලුවත් වැඩ වැඩ කියනවා. මොනවද ඔය ගෙදර මං නොදන්න වැඩ තියෙන්නේ. බැලුවොත් අර ගෑනි එක්ක රවුම් ගහ ගහා ඉන්නවා. ඒක තමයි ඉතින් තියෙන හොඳම වැඩේ ඔයාට නේද?” ඉවසා ගත නොහැකි තැන අසංක ඇය හා රණ්ඩු වන්නට වූයේය. “අනේ මේ බොරුවට රණ්ඩු වෙන්න එපා අසා. රේණු අක්කි නැත්නම් මට මේ ගෙදර තනියම ඉඳලා එපා වෙනවා. අනික මේ ගෙදර හැම වැඩක්ම හොයලා බලලා කරන්නේ එයා. මට මාර ලේසියක් තියෙන්නේ. දරුවගේ වැඩත් කරන්නේ එයා.”

එක්තරා දිනෙක පුංචි දියණිය හා දොඩමළු වෙමින් සිටි අසංකට ඇය පුංචි ඉල්ලීමක් කළාය. “අප්පච්චි, ඔයාට බැරිද ඔය ඉන්න තැනට මාව ගන්න.” “ඇයි මගේ පණ. මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ?”

“අම්මිට දැන් මාව පේන්නේවත් නැහැ. හැම වෙලාවෙම මට බණිනවා. අම්මිගේ රූම් එකටවත් මට යන්න දෙන්නේ නැහැ. මේ හැම දේම අම්මි කරන්නේ අර රේණු ආන්ටි නිසයි. එයා කියන දේවල් විතරයි අම්මි අහන්නේ. අනේ අප්පච්චි මාව අප්පච්චි ළඟට ගන්නකෝ. මට ගෙදර ඉන්න බෑ. සමහර වෙලාවට රේණු ආන්ටි මට සැර කරනවා. ගහනවා. ඒත් අම්මි හිනා වෙලා බලාගෙන ඉන්නවා.”

පුංචි දියණිගේ මේවදන් පපුව පළාගෙන යන තරම් දරුණු වූ තැන ඔහු ඇයගෙන් මේ ගැන විමසා සිටියේය. “ ඔය බොරුනේ අසා. මේ කෙල්ලට පිස්සු. ඔයාගේ ඔළුවත් නරක් කරනවා මේ පිස්සු කෙල්ල.” ඇය කීවේ එසේය. එහෙත් පසුව සිය දියණියට නොසෑහෙන්න බැණුම් සහ ගුටිබැට පූජාවකින්ද සංග්‍රහ කිරීමට ඇය ක්‍රියා කර තිබූ බව පුංචි දෝණිගෙන් පෙරැත්තකර අසා දැනගත් අසංක සියල්ල පසෙක ලා නිවස බලා ආවේය.

කිසිවකුට හෝ නොදන්නවා හදිසියේ ගෙට ගොඩවැදුණු අසංක දුටු කාංචනා තැති ගත්තීය. එහෙත් අසංකට බොහෝ දේ ඒ වන විටත් වැටහෙමින් තිබිණි.

“මොකක්ද ගෑනියේ මේ අලුගුත්තේරු වැඩේ. මිනිහෙක් එක්ක පලයං. ඒක මට සැපයි. ලෝක ලැජ්ජාවක් නෑ.” අසංක කෑ ගැසුවේය. තම අහිසංක කුරුලු කූඩුව විනාශ කරන්නට ආ යක්ෂණියක් සේ දුටු “රේණු අක්කාට” ට ඔහු බැණ වැදුණේය. එහෙත් රේණු අක්කාට බණිනවාට කාංචනා මොහොතක් හෝ කැමැත්තැක් දැක්වූයේ නැත. අවසානයේදී සිදුවූයේ යුද්ධයකි. කෑ කෝ ගැසීම් ගුටි ඇණ ගැනීම් අවසානයේ ඔහු සිය දියණිය අසලට ගත්තේය.

“කාංචනා, උඹට මාවද ඕන මේ ගෑනිවද? තීරණයක් ගනින් ඉක්මනට.” ඔහු කීවේය. ’මට ඔයා එපා”

අසංකට තවත් කියන්නට දෙයක් හෝ සිතන්නට දෙයක් ඇය ඉතිරි කළේ නැත. ඇඳුම් බෑග දෙකක් අතට ගත් ඔවුන් දෙදෙනා ටැක්සියක නැගී නිවසින් පිටව ගියේ අසංකගේත් අහිසංක නොදරුවාගේත් වැලපීම තුට්ටුවකටවත් මායිම් නොකරය. මේ ජීවිතයයි.

(නම් ගම් සියල්ල මන:කල්පිතයි)

නිමන්ති රණසිංහ


 

Miss International Sri Lanka Read Previous

Miss International Sri Lanka

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Next

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

Realted Post

Leave a comment