උණුසුමට ගැළපෙන්න ඇඳුම් තෝරාගන්න

අධික රස්නය නිසා බොහෝ දෙනෙක් පසුවෙන්නේ අපහසුවෙන්. ඒ නිසා නිතර දහදිය දැමීම වැනි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ නිසාම අදින පලදින ඇදුම් පැලදුම්වලට ද විශේෂ අවධානයක් දෙන්න  ඕනෑ. එයට හේතුව වන්නේ රස්නේ වැඩි කාලයට ඊට ගැළපෙන ඇදුම් තෝරා ගැනීමට නොහැකි වුණොත් තව තවත් අපහසුතාවට වගේම රස්නය වැඩි වීමෙන් විවිධ රෝගාබාධවලටද ගොදුරු වීමට ලක්විය හැකි නිසයි. ඒ නිසා  අධික රස්නය සහිත දිනවලට අපේ ඇඳුම් පැලඳුම්වලින් සහනයක් ගන්නේ කෙසේද කියලයි අද ලිපියෙන් කතාබහ කරන්නේ.  

 

ලිනන් - කොට්න් ඇඳුම් අඳින්න 
මේ දිනවලට ලිනන්, කොට්න් වැනි රෙදි වර්ගවලින් මැසූ ඇඳුම් වඩාත් සුදුසුයි. මෙමඟින් ශරීරයේ රස්නය පිටවෙනවා වගේම දහඩිය දැමීමත් අවම වෙනවා. නයිලෝන්, පොලියෙස්ටර් වැනි රෙදි වර්ගවලින් මැසූ ඇඳුම් මඟින් දහඩිය දැමීම වැඩිවෙනවා. ඒ නිසා එවැනි ඇඳුම්වලින් වැළකී සිටීම සුදුසුයි. ඔබේ ඇඳුමේ වර්ණයත් ශරීරයේ උෂ්ණත්වයට කෙලින්ම බලපානවා. මෙම නිසා තද වර්ණවලින් වැළකී සිටිය යුතුයි. ළා වර්ණ වගේම පැස්ටල් වර්ණ මේ දේශගුණයට වඩාත් සුදුසුයි. 
අත නැති ටොප්ස් වගේම, කුඩා අත් සහිත ඇඳුම් වඩාත් සුදුසු බව නොරහසක්. ඒවගේම වඩාත් දිග නොවන ඇඳුම් ඇඳීමත් සිරුරට පහසුවක්. ශරීරයට තද ඇඳුම් මඟින් දහඩිය දැමීම වැඩිවෙනවා වගේම ඇඳුම් තදින් ශරීරයට ඇලීමෙන් අපහසුතා ඇතිවෙනවා. මේ නිසා හැකිතාක් ලූස් ඇඳුම් ඇඳීම සුදුසුයි. ඩෙනිම් හෝ කලිසම් අඳිනවා නම් ළා පැහැති ඇඟට විශාල කලිසම් ඇඳීම පහසුයි. තද ඩෙනිම් වැනි ඇ`දුම්වලින් සිරුරේ උණුසුම පිටවීම සිදුවන්නේ අඩුවෙන් නිසා ඒවාගෙන් සිරුරේ උණුසුම තවත් වැඩිවීම සිදුවෙන්න පුළුවනි.  
මීට අමතරව ඔබට නිතරම අඳින්න පුළුවන් ව්‍යායාම සඳහා අඳින ඇඳුම්. මේවා නිමකරල තියෙන්නේ ඇඟට පහසු වගේම පහසුවෙන් වාතය එහා මෙහා වීමට හැකි රෙදිවලින් නිමවූ හොඳ තත්ත්වයේ ව්‍යායාම ඇඳුම් තමයි මේ සඳහා සුදුසු. ලෙගින්ස්, ස්පෝට්ස් බ‍්‍රා වගේම ව්‍යායාම සඳහාම නිමවූ ටීෂර්ට් වර්ග ඉතා පහසුයි.

 

ලේයර් ඇඳුම් සුදුසු නෑ 

මේ දිනවල ඔබ නොකළ යුතුම දෙයක් වන්නේ ලේයර් සහිත ඇඳුම් ඇඳීමයි. ඔබ සිරුර වැඩිපුර වැහෙන ලෙස අඳින්න කැමති කෙනෙක් නම් මැක්සි වර්ගයේ ඇ`දුමක් හෝ දුහුල් රෙදිවලින් නිමවූ කාඩිගන් එකක් වැනි දෙයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්.

 

අව් කණ්ණාඩි, තොප්පි පලඳින්න 

ඒවගේම හැකිතාක් අව් කණ්ණාඩි සහ තොප්පි වැනි දෑ පාවිච්චි කිරීම ඔබේ සමට වගේම ඇස්වලටත් හිතකරයි. ඒවගේම මේ දිනවල හිරු කිරණින් ආරක්ෂා වීමට සන් ප්‍රොටෙක්ෂන් ආලේපනයක් ඔබේ අත්‍යවශ්‍ය දෑ අතර තිබිය යුතුයි. අව් රස්නය නිසා කකුල් ඉදිමීම වැනි දෑ ඇතිවෙන අයට පාවහන් පිළිබඳවත් වැඩිපුර සැලකිලිමත් වෙන්න සිදුවෙනවා. පහසු වගේම සරල, අඩුවෙන් වැසුණු පාවහන් වඩාත් සුදුසුයි.

 

අඩුවෙන් ආභරණ පලඳින්න 

ඔබ මොනතරම් ලස්සනට විලාසිතා කිරීමට කැමති කෙනෙක් වුණත් මේ දිනවල ඇදුම් සදහා ආභරණ භාවිතා කළ යුත්තේ ඉතාම අඩුවෙන්. එයට හේතුව වන්නේ මේ දිනවල නිතර දහදිය දැමීම සිදුවන නිසා ආභරණවල මතුපිට ආලේපන දහදිය සමග ප‍්‍රතික‍්‍රියා කළ හැකි නිසයි. මේ නිසා සමේ විවිධ ආසාදන ඇතිවෙන්න පුළුවනි. එමෙන්ම ඒවා දහදිය සමග සිරුරට අලෙන නිසා අඩුවෙන්ම ආභරණ පැලඳීම වඩාත් සුදුසුයි.


නයනා උදයංගනී

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Previous

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Next

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

Realted Post

Leave a comment