මැරුණට පස්සේත් තමන් හදපු චිප්ස් පෙත්ත එක්ක ඉන්න කැමති වූ මිනිසා

චිප්ස් පෙත්තක් අතට ගත්තම අපි සාමාන්‍යයෙන් හිතන්නේ එක දෙයක් ගැන විතරයි. “මේක රසද?” හැබැයි… ඔයා කවදාවත් මේ චිප්ස් පෙත්තේ හැඩය ගැන හිතලා තියෙනවද?

හොඳට බලන්න.
මේක නිකම්ම වක්‍ර කරපු අල පෙත්තක් නෙවෙයි. එක පැත්තක් උඩට යද්දී, අනිත් පැත්ත වෙනස් දිශාවකට වක්‍ර වෙනවා. සරල රේඛාවක් හොයාගන්නත් අමාරුයි. ඇත්තටම මේ හැඩය පිටිපස්සේ තියෙන්නේ ගණිතය සහ Physics.

ඒකත් එක්ක තවත් අමුතු කතාවක් තියෙනවා. මේ හැඩය නිර්මාණය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා තමන්ගේ මරණයෙන් පස්සෙත් මේ නිර්මාණය එක්ක සම්බන්ධ වෙලා ඉන්න තරම් ඒ ගැන ආදරයක් තිබුණු කෙනෙක්. ඔහුගේ අවසන් කැමැත්තක් ලෙස, තමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ container එකත් තමන් නිර්මාණය කළ මේ චිප්ස් පෙත්තේ හැඩයට සමාන විය යුතු බව සඳහන් කර තිබුණා.

ඒක නිසා මේ පොඩි චිප්ස් පෙත්ත පිටිපස්සේ තියෙන කතාව, කෑමක කතාවකට වඩා ගොඩක් විශාලයි. අපි බලමු කොහොමද Mathematics, Physics, Food Technology, Business, Law සහ Medicine එකම චිප්ස් පෙත්තක් වටා එකතු වෙන්නේ කියලා.

මේ හැඩය හදන්න අවශ්‍ය වුණේ ඇයි? කතාව පටන් ගන්නේ 1960 ගණන්වලදී. ඒ කාලයේ සාමාන්‍ය potato chips තිබුණේ අද අපි දකින මේ අමුතු වක්‍ර හැඩයෙන් නෙවෙයි. ඒවා සාමාන්‍යයෙන් පැතලි. ඒකෙන් ලොකු ප්‍රශ්නයක් තිබුණා. චිප්ස් එකිනෙක ගැටෙනකොට කැඩෙනවා. පැකට් එකක් ඇතුළේ චිප්ස් ගොඩක් දැම්මොත්, ඒවා එකිනෙක තද වෙලා පොඩි වෙනවා. ඒ නිසා ඒවා ආරක්ෂා කරන්න පැකට් එක ඇතුළට විශාල ප්‍රමාණයක් වායුව පුරවන්න සිද්ධ වුණා. ඒත් එතකොට තවත් ප්‍රශ්නයක්. ඇතුළේ තියෙන ඉඩෙන් විශාල කොටසක් අපතේ යනවා. එතකොට සමාගම්වලට ඕන වුණේ එකිනෙක මත හොඳින් stack කරන්න පුළුවන්, පහසුවෙන් කැඩෙන්නේ නැති, අඩු ඉඩක වැඩි චිප්ස් ප්‍රමාණයක් තියාගන්න පුළුවන් නිෂ්පාදනයක්.

මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න Procter & Gamble සමාගම තම කණ්ඩායමක් යොමු කළා. එහි සිටි රසායන විද්‍යාඥයෙක් සහ ගණිතය පිළිබඳ දැනුමක් තිබූ Fredric Baur මේ වැඩේට සම්බන්ධ වුණා. ඔහුට තිබුණු අභියෝගය සරලයි. “කැඩෙන්නේ නැතිව, එකිනෙක හොඳින් stack කරන්න පුළුවන් chips එකක් හදන්නේ කොහොමද?” 

එතකොට තමයි මේ අමුතු හැඩය උපන්නේ , Baur නිර්මාණය කළ හැඩය ගණිතයේදී hyperbolic paraboloid ලෙස හඳුන්වන හැඩයකට සමානයි.
සරලව කිව්වොත්… අශ්වයෙකුගේ සෑදලයක් වගේ හැඩයක්. මේක නිකම්ම ලස්සනට පේන්න හදපු design එකක් නෙවෙයි. මේ හැඩය නිසා චිප්ස් එකිනෙක මත සාපේක්ෂව හොඳින් තැබිය හැකියි.

ඒ වගේම චිප්ස් එකකට බලයක් එල්ල වුණාම, ඒ බලය එක තැනකට පමණක් එකතු නොවී විවිධ දිශාවලට බෙදී යන ආකාරයට මේ හැඩය උපකාරී වෙනවා. ඒ නිසා සාමාන්‍ය පැතලි චිප්ස්වලට වඩා handling සහ stacking පහසු වුණා. මෙතන තමයි Physics වැඩ කරන්නේ. ඊළඟ ප්‍රශ්නය වුණේ,
“මේවා ආරක්ෂිතව කොහොමද pack කරන්නේ?” ඒකට විසඳුම වුණේ අද අපි හොඳින් දන්නා cylindrical container එක.

චිප්ස් එකිනෙක stack කරලා, ඒවාට ආරක්ෂාව දෙන cylindrical container එකක තැබීමෙන් packing space එකත් වඩා කාර්යක්ෂමව භාවිතා කරන්න පුළුවන් වුණා. මේ නිර්මාණ සම්බන්ධයෙන් Baurට patents පවා ලැබුණා.
හැබැයි…  තව එක ප්‍රශ්නයක් තිබුණා.

මේක ඇත්තටම potato chip එකක්ද? සාම්ප්‍රදායික potato chip එකක් කියන්නේ සම්පූර්ණ අර්තාපල් ගෙඩියකින් කපාගත් පෙත්තක්. නමුත් මේ නව නිෂ්පාදනයේ හැඩය නිවැරදිව පවත්වාගෙන යන්න, potato-based dough එකක් භාවිතා කිරීම වඩා පහසු වුණා. ඒකට අර්තාපල් සමඟ තිරිඟු ඇතුළු වෙනත් පිටි සහ අමුද්‍රව්‍යත් එකතු වුණා. ඒ නිසා එකම හැඩයෙන් චිප්ස් ගොඩක් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා.

හැබැයි සාම්ප්‍රදායික potato chip එකක රසය සහ texture එක ලබාගන්න තවත් වැඩ කරන්න සිද්ධ වුණා. ආහාර විද්‍යාඥයන් සහ තාක්ෂණික ක්‍රම එකතු වීමත් සමඟ ඒ රසය සහ texture එක වැඩිදියුණු කරලා, අවසානයේ මේ නිෂ්පාදනය වෙළඳපොළට ආවා.
ඊට පස්සේ?
මේක hit එකක් වුණා.
හැබැයි කතාව තාම ඉවර නැහැ.

ඊළඟට චිප්ස් පෙත්ත උසාවියට ගියා.මේ කතාවේ ඊළඟ chapter එක ඇත්තටම අමුතුයි. 2000 දශකයේදී එංගලන්තයේදී මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වූයේ බදු ප්‍රශ්නයක්. එංගලන්තයේ potato chips වැනි නිෂ්පාදන සඳහා VAT සම්බන්ධ විශේෂ නීති තිබුණා. සමාගම පැත්තෙන් කියපු තර්කය වුණේ,
“මේක සාමාන්‍ය potato crisp එකක් නෙවෙයි.” මොකද මේක සම්පූර්ණ අර්තාපල් පෙත්තක් නෙවෙයි. ඒකට වෙනත් පිටි සහ අමුද්‍රව්‍යත් ඇතුළත්. ඒ නිසා potato chips සඳහා අදාළ බද්ද මේ නිෂ්පාදනයට අදාළ නොවිය යුතු බව ඔවුන් තර්ක කළා.

මුලදී සමාගමට වාසිදායක තීන්දුවක් ලැබුණත්, එංගලන්ත රජය ඒ තීන්දුවට එරෙහිව අභියාචනය කළා. අවසානයේ අභියාචනාධිකරණය වෙනස් තීරණයක් ගත්තා. අධිකරණයේ තර්කය සරලව කිව්වොත්, මිනිස්සු මේක මිලදී ගන්නේ potato crisp එකක් ලෙසයි. ඒ වගේම එහි potato content එකත් සැලකිය යුතු මට්ටමක තියෙනවා. ඒ නිසා නීතියේ අර්ථයෙන් මේක potato crisp එකක් ලෙස සලකන්න පුළුවන්.

ප්‍රතිඵලය?
සමාගමට සැලකිය යුතු බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ එකම චිප්ස් පෙත්තක් අපිව… Physics වලින් Business වලට, Business වලින් Law වලට අරගෙන ගියා. හැබැයි තාමත් එක පැත්තක් ඉතුරුයි.

Medicine.

ඇයි චිප්ස් කන එක නවත්තන්න අමාරු? ඔයාට මේ අත්දැකීම තියෙනවද?
චිප්ස් packet එකක් අරගෙන,
“තව එකක් විතරයි…” කියලා හිතනවා.
ඊළඟට තව එකක්.
ඊළඟට තව එකක්.
අන්තිමට packet එක බලද්දී…
ඉවරයි.
ඇයි එහෙම වෙන්නේ?
මේකට එකම හේතුවක් කියලා සරලව කියන්න බැහැ.

හැබැයි මේ වගේ highly processed snacks වල ලුණු, මේදය, refined carbohydrates, energy density සහ texture වගේ කරුණු අපේ ආහාර අත්දැකීමට බලපානවා. විශේෂයෙන් මේ chips එකේ texture එක බලන්න. කටට දැම්මම ඉක්මනින් කැඩෙනවා. පොඩි වෙනවා. ඉක්මනින්ම මුඛය තුළ විසිරෙනවා.

ඒ නිසා එක් කටක් කන්න ගතවන කාලය සාපේක්ෂව අඩුයි. මේ වගේ ගුණාංග නිසා ආහාරයේ ශක්ති ප්‍රමාණය අපේ ශරීරයට ලැබෙන වේගය සහ අපිට “මම ඇති තරම් කෑවා” කියන හැඟීම ඇතිවන වේලාව අතර වෙනසක් ඇතිවිය හැකියි. ආහාර විද්‍යාවේ මේ සම්බන්ධයෙන් කතා කරන අදහසක් තමයි vanishing caloric density. ඒ වගේම… ක්‍රන්ච් සද්දය. චිප්ස් එක කඩනකොට ඇහෙන ඒ “ක්‍රන්ච්” සද්දයත් අපේ eating experience එකේ කොටසක්.
ඒකෙන් මේ කෑම අත්දැකීම තවත් ප්‍රබල වෙන්න පුළුවන්.

එතකොට “Bliss Point” කියන්නේ? අපි කැමති කෑමක් කනකොට, යම් අවස්ථාවක එහි රසයෙන් ලැබෙන සතුට උපරිම මට්ටමකට ළඟා වෙනවා. ඊට පස්සේ ඒ රසය ගැන අපේ කැමැත්ත අඩුවෙන්න පුළුවන්. මේ අදහස විස්තර කරන්න ආහාර විද්‍යාවේ භාවිතා කරන සංකල්පයක් තමයි bliss point.

විශේෂයෙන් ලුණු, මේදය සහ refined carbohydrates වැනි සංඝටක නිවැරදි මට්ටම්වලින් එකට එකතු කළ විට, ආහාරයේ රසය සහ reward response එක ඉතා ආකර්ෂණීය විය හැකියි. ඒ නිසා සමහර වෙලාවට,

“හරි, දැන් ඇති.” කියන signal එක එන්න කලින් තවත් කටක් කන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ මේ chips අනිවාර්යයෙන්ම “ඇබ්බැහි කරන” ආහාරයක් කියන එක නෙවෙයි. හැබැයි එහි රසය, texture එක සහ energy density එක එකට එකතු වීම නිසා වැඩිපුර කෑම පහසු විය හැකියි.

එක චිප්ස් පෙත්තකින් අපිට මොනවා ඉගෙනගන්න පුළුවන්ද? ආරම්භයේදී අපි දැක්කේ නිකම්ම චිප්ස් පෙත්තක්. හැබැයි ඒක ටිකක් ගැඹුරට බැලුවම…
ගණිතය තිබුණා. Physics තිබුණා. Chemistry තිබුණා. Food Technology තිබුණා. Business තිබුණා. Law තිබුණා. ඒ වගේම Nutrition සහ Medicine තියෙනවා. 

සමහර වෙලාවට අපි දවසේ සාමාන්‍යයෙන් කන පොඩිම පොඩි කෑමක් පිටිපස්සේ පවා, අපි කවදාවත් නොහිතන තරම් විශාල විද්‍යාත්මක, ඉතිහාසමය සහ ව්‍යාපාරික කතාවක් තියෙන්න පුළුවන්. ඒක තමයි මේ කතාවේ ලස්සනම කොටස. අපි කන දේවල් දිහා ටිකක් ගැඹුරින් බැලුවොත්, ඒ හැම එකක්ම වගේ කතාවක් කියනවා. ඉතින් ඊළඟ Kathawa with Ash Story Time එකෙන් අපි පිටිපස්සේ හැංගිලා තියෙන Science + History + Business + Medicine කතාව හොයමු.

අශන්ති වරුණසූරිය

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Previous

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment