අනුන්ට උදව් කරන අය වැඩි කාලයක් ජීවත් වෙයිද? නව පර්යේෂණයකින් හෙළි වෙයි

ඔබ කෙනෙක්ට උදව් කරන, මිතුරෙකුට හෝ අන්කෙනෙක්ට අත දෙන හෝ අන් අය වෙනුවෙන් කැපවන පුද්ගලයෙක්ද? එහෙම නම්, ඔබටයි මේ සතුටුදායක ආරංචිය.

නව විද්‍යාත්මක පර්යේෂණයකට අනුව, උදව්කාර, වගකීමෙන් කටයුතු කරන, ක්‍රියාශීලී සහ විවෘත ධනාත්මක මනසක් ඇති පුද්ගලයන් දිගු කාලයක් ජීවත් වීමේ හැකියාව වැඩි විය හැකි බව හෙළි වී තිබේ.

මෙම පර්යේෂණය ප්‍රංශයේ Montpellier University, එක්සත් රාජධානියේ University of Edinburgh, University of Tartu අයර්ලන්තයේ University of Limerick සහ ඇමරිකාවේ Florida State University යන විශ්වවිද්‍යාලවල පර්යේෂකයන්ගේ සහයෝගයෙන් සිදු කර තිබෙන බව ඩේලිමේල් වාර්තා කර තිබේ.

අධ්‍යයනය සඳහා වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයන් 22,000කට අධික පිරිසක් සහභාගී කරගෙන තිබුණි. ඔවුන්ට තම පෞරුෂය වඩාත් හොඳින් විස්තර කරන ගුණාංග තෝරා ගැනීමට විශේෂණ පද ලැයිස්තුවක් ලබා දෙන ලදී. ඉන් අනතුරුව, එම පුද්ගලයන් වසර 28ක් පුරා නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිත කාලය පිළිබඳ දත්ත රැස් කරන ලදී.

එම කාලය තුළ 7,500කට වැඩි පිරිසක් මිය ගොස් තිබූ අතර, පර්යේෂකයන් ඔවුන්ගේ පෞරුෂ ලක්ෂණ සහ මරණ අවදානම අතර ඇති සම්බන්ධතාව සංඛ්‍යානමය විශ්ලේෂණයකට ලක් කළහ. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල Journal of Psychosomatic Research සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

පර්යේෂණයට අනුව, සංවිධානාත්මක (Organised) පුද්ගලයන්, වගකීම් සහගත (Responsible) පුද්ගලයන්, වෙහෙස මහන්සි වී වැඩ කරන (Hardworking) පුද්ගලයන් අනෙක් අයට සාපේක්ෂව 12% සිට 15% දක්වා අඩු මරණ අවදානමක් පෙන්නුම් කර ඇත. එමෙන්ම ක්‍රියාශීලී, උද්යෝගිමත් සහ ශක්තිමත් (Active) පුද්ගලයන්ට 21%කින් අඩු මරණ අවදානමක් වාර්තා වී තිබේ.

තවත් හෙළි වූ කරුණු කිහිපයක් වන්නේ, නිර්මාණශීලී සහ සමාජශීලී පුද්ගලයන්ට 8%කින් අඩු මරණ අවදානමක්, අභියෝග භාරගන්නා (Adventurous) පුද්ගලයන්ට 6%කින් අඩු අවදානමක්, මිත්‍රශීලී පුද්ගලයන්ට 4%කින් අඩු අවදානමක්, උණුසුම් හදවතක් සහ විවෘත මනසක් ඇති පුද්ගලයන්ට 3%කින් අඩු අවදානමක් තිබීමයි.

මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ, යහපත් පෞරුෂ ගුණාංග සමාජ සබඳතා පමණක් නොව, දිගුකාලීන සෞඛ්‍යයටද ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බවයි.

අනෙක් අතට, නොසැලකිලිමත් බව සහ නිතර කනස්සල්ලෙන් සිටීම මරණ අවදානම 7%කින් වැඩි කරන බව පර්යේෂණයෙන් හෙළි විය. Neuroticism ලෙස හඳුන්වන, නිතර කාංසාව, බිය, දුක සහ කෝපය වැනි චිත්තවේග දැඩි ලෙස අත්විඳින පුද්ගලයන්ට 10%කින් වැඩි මරණ අවදානමක් වාර්තා විය.
නොසන්සුන් ස්වභාවය ඇති පුද්ගලයන්ටද 9%කින් වැඩි අවදානමක් දක්නට ලැබුණි.

පර්යේෂකයන් පවසන්නේ මෙවැනි පුද්ගලයන් දුම්පානය, අධික බර, මානසික අවපීඩනය සහ වෙනත් සෞඛ්‍ය ගැටලුවලට වැඩි වශයෙන් ගොදුරු විය හැකි බවයි. පර්යේෂකයන් සඳහන් කරන්නේ, ක්‍රියාශීලී, උද්යෝගිමත්, සංවිධානාත්මක, වගකීම් සහගත, වෙහෙස මහන්සි වී වැඩ කරන, විස්තරාත්මකව කටයුතු කරන සහ අන් අයට උපකාර කරන පුද්ගලයන්ට මරණ අවදානම අඩු බව අපගේ විශ්ලේෂණයෙන් හෙළි විය.

කෙසේ වෙතත්, ඔවුන් අවධාරණය කරන්නේ මෙය නිරීක්ෂණාත්මක (Observational) අධ්‍යයනයක් වන අතර, පෞරුෂ ලක්ෂණ සෘජුවම දිගු ආයු කාලයකට හේතු වන බව මෙයින් තහවුරු නොවන බවයි. මෙය පෙන්වන්නේ පෞරුෂ ගුණාංග සහ මරණ අවදානම අතර ඇති සම්බන්ධතාවයක් (Association) පමණි. ව්‍යායාම, ආහාර රටාව, ආදායම, සමාජ සහයෝගය සහ පවතින රෝග වැනි වෙනත් සාධකද ජීවිත කාලයට බලපාන බව පර්යේෂකයන් සඳහන් කරයි.

මෙම පර්යේෂණය යෝජනා කරන්නේ අන් අයට උදව් කිරීම, වගකීමෙන් කටයුතු කිරීම, ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම සහ සමාජශීලී වීම වැනි යහපත් පෞරුෂ ගුණාංග, හොඳ සෞඛ්‍ය පුරුදු සමඟ එක්ව දිගු හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට දායක විය හැකි බවයි. ඒවා දිගු ආයු කාලයකට සෘජු හේතුවක් බව නොපෙන්වුවද, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් සමඟ සම්බන්ධ විය හැකි බව මෙම අධ්‍යයනයෙන් පැහැදිලි වේ.

අශන්ති වරුණසූරිය 

 

වියපත් මනසට - සතුටු වැස්සක් Read Previous

වියපත් මනසට - සතුටු වැස්සක්

ෆෝන් එක තියලා නිකන් කරපු ඇක්ට් එකක් මෙච්චර දුර එයි කියලා හිතුවෙ නෑ Read Next

ෆෝන් එක තියලා නිකන් කරපු ඇක්ට් එකක් මෙච්චර දුර එයි කියලා හිතුවෙ නෑ

Realted Post

Leave a comment