අල්ලක් ඇතුළේ හංගන්න පුළුවන් හාවෙක්
ලොකු සත්තු දැක්කම අපේ ඇස් නිකම්ම ඒ පැත්තට යනවා. අලි ඇතුන්ගේ දැවැන්ත සිරුරු, නිල් තල්මසුන්ගේ අසීමිත විශාලත්වය, ජිරාෆ්ලාගේ උස දැක්කම අපට ඇති වෙන්නේ පුදුමයක්. ඒත් සොබාදහමේ අපූර්වත්වය තියෙන්නේ ලොකු සත්තු ළඟ විතරක්ම නෙවෙයි. ඇස් දෙකත් ලොකු කරගෙන බලන්න හිතෙන තරම් පුංචි සත්තුත් මේ ලෝකයේ ඉන්නවා.
හිතන්නකෝ, ගෘහස්ථ මැස්සකුටත් සමාන ප්රමාණයේ ගෙම්බෙක් ගැන. එහෙමත් නැත්නම් කාසියක් මත තබන්න පුළුවන් තරම් පුංචි සර්පයෙක් ගැන. ඇත්තටම මේවා සුරංගනා කතාවල එන සත්තු නෙවෙයි. අපේ පෘථිවියේ ජීවත් වන සැබෑම සත්ත්වයෝ.
මේ පුංචි සිරුරු ඇතුළේ සැඟවුණු ජීවන රහස් නම් හරිම අපූරුයි. ලොකු සතුන්ට යන්න බැරි පුංචි හිඩැස් අතරින් රිංගලා යන්නත්, සතුරන්ගෙන් බේරෙන්න සැඟවෙන්නත් මෙයාලට පුළුවන්. කෑමට අවශ්ය වෙන්නේත් සාපේක්ෂව අඩු ආහාර ප්රමාණයක්. හැබැයි පුංචි වුණා කියලා ජීවිතය පහසුයි කියලා හිතන්න එපා. තමන්ට වඩා විශාල සතුරන්ගෙන් බේරිලා, කෑම හොයාගෙන, පැටවුන් රැකගෙන ජීවත් වෙන්නත් මෙයාලට සිද්ධ වෙනවා.
එහෙනම්, ලෝකයේ ඉන්න මේ පුංචිම පුංචි සත්ත්වයන් කවුද කියලා අපිත් හොයලා බලමු.
ගවයෙක් වුණත් මෙයා හරිම පුංචියි - වේචූර් ගවයා (Vechur)
සාමාන්යයෙන් ගවයෙක් කිව්වම අපේ මතකයට එන්නේ හොඳින් වැඩුණු, ශක්තිමත් සිරුරක් තියෙන සතෙක්. ඒත් ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ ජීවත් වන වේචූර් ගවයා නම් ඒ අදහස ටිකක් වෙනස් කරනවා. ලෝකයේ කුඩාම ගව වර්ගය ලෙස ප්රසිද්ධියට පත්ව ඇති මේ ගවයාගේ උස සෙන්ටිමීටර් 81ත් 91ත් අතර වෙනවා. ඒ කියන්නේ සාමාන්යයෙන් වැඩිහිටියකුගේ දණහිසට ආසන්න උසක්! දිගත් මීටර් 1.24ක් පමණ වන නිසා අනෙක් ගවයන් සමඟ සසඳද්දී මෙයාගේ කුඩා සිරුර කැපී පෙනෙනවා. කුඩා වුණත් මෙයාගේ වටිනාකම නම් පොඩි නැහැ. දේශීය පරිසරයට හොඳින් අනුවර්තනය වී සිටීමත්, කුඩා ගොවිපොළවල ඇති දැඩි කිරීමට පහසු වීමත් මේ ගව වර්ගයේ විශේෂත්වයන් අතරට අයත් වෙනවා.
මුහුදේ ඉන්න පුංචිම ඩොල්ෆින්ලා - වාකිටා (Vaquita)
ඩොල්ෆින්ලා කියන්නේ මුහුදේ දඟ කරන, බොහෝ දෙනකුගේ ආදරය දිනාගත් සත්ත්ව කොට්ඨාසයක්නේ. ඒත් මේ අතර ඉන්න වාකිටා කියන පුංචි සත්ත්වයා ගැන නම් අපට දැනෙන්නේ පුදුමයත් එක්කම දුකකුත්. ලොව කුඩාම ඩොල්ෆින් වර්ගය ලෙස සැලකෙන වාකිටාගේ දිග මීටර් 1.4ක් පමණ වෙනවා. මෙයාලා ජීවත් වෙන්නේ මෙක්සිකෝවේ කැලිෆෝනියා බොක්කේ උතුරු ප්රදේශයේ පමණයි. හැබැයි අද මේ පුංචි මුහුදු ජීවීන්ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ බරපතළ අභියෝගයකට. මසුන් ඇල්ලීමට භාවිත කරන දැල්වලට හසුවීම නිසා මෙයාලාගේ ජීවිත විශාල අවදානමකට ලක්වෙලා. ලෝකයේ ඉතිරිව සිටින වාකිටා සතුන් සංඛ්යාව ඉතාමත් අඩුයි. ඒ නිසා මේ පුංචි ඩොල්ෆින්ලා ගැන කතා කරන විට, සොබාදහමේ සුන්දරත්වය විඳිනවා වගේම ඒ සුන්දරත්වය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමේ වගකීමත් අපට මතක් වෙනවා.
අල්ලක් ඇතුළේ හංගන්න පුළුවන් හාවෙක් - පිග්මි හාවා (Pygmy Rabbit)
හාවෙක් කිව්වම අපට මතක් වෙන්නේ දිග කන් දෙකක් තියෙන, තණකොළ කන, වේගයෙන් දුවන සතෙක්. ඒත් පිග්මි හාවා නම් සාමාන්ය හාවන්ට වඩා බොහොම පුංචියි. උතුරු ඇමරිකාවේ ඇතැම් ප්රදේශවල ජීවත් වන මේ හාවා තමන්ගේ කුඩා සිරුරෙන්ම පරිසරයට අපූරුවට ගැළපෙනවා. මෙයාගේ ප්රධාන ආහාරයක් වන්නේ සේජ්බ්රෂ් (Sagebrush) නමැති පඳුරු වර්ගයයි. ඒ පඳුරු මෙයාට කෑම සපයනවා වගේම සතුරන්ගෙන් සැඟවෙන්නත් උදව් කරනවා.
තවත් අපූරු වැඩක් තියෙනවා. බොහෝ හාවුන් අත්හැර දැමූ ගුල්වලට ගියත්, පිග්මි හාවා තමන්ටම ගුල් හාරාගන්නවා. ඒ ගුල් තමයි මෙයාගේ ආරක්ෂිත නිවහන. විවේක ගන්න, සතුරන්ගෙන් බේරෙන්න වගේම පැටවුන් ඇති දැඩි කරන්නත් ඒවා භාවිත කරනවා.
පුංචි වුණත් ජීවිතය ගොඩනඟාගන්න මෙයාලා දන්න අපූරුව නම් ඇත්තටම පුදුමයි!
පුංචි වුණාට වටිනාකම අඩු නැහැ
මේ සත්තු දිහා බැලුවම අපට තේරෙන දෙයක් තියෙනවා. සතෙක් කොතරම් විශාලද, කොතරම් කුඩාද කියන එකට වඩා වැදගත් වෙන්නේ සොබාදහමේ ඔහුට හිමි තැනයි. මේ පුංචි ජීවීන්ටත් තමන්ගේම ලෝකයක් තියෙනවා. ඒ ලෝකය තුළ ජීවත් වෙන්න, ආරක්ෂා වෙන්න, තම වර්ගයා පවත්වාගෙන යන්න ඔවුන් අපූරු සටනක යෙදෙනවා. ඒ නිසා ඔවුන්ගේ වාසස්ථාන රැකගැනීමත්, පරිසරය විනාශ නොකිරීමත් අප සැමගේ වගකීමක්.
මොහොතක් හිතලා බලන්න… අපට ඇස් දෙකෙන් හොඳින් පෙනෙන්නෙත් නැති තරම් පුංචි ජීවියකුට වුණත් මේ ලෝකයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා නේද? ඇත්තටම, සොබාදහමේ සමහර ලොකුම පුදුම සැඟවී තියෙන්නේ මේ පුංචිම පුංචි සත්තු ළඟයි !
මේ වගේ තවත් බොහොමයක් දෙනා ඉන්නවා. මේ ඉතිං මට අහුවුණ දෙතුන් දෙනෙක්. සත්තුන්ට ආදරේ කරන, සත්තු ගැන නිතර හොයලා බලන ඔයා දන්න මෙහෙම සත්තු තව ඕන තරම් ඇති. ඉතිං ඒ විස්තරත් අපිට කමෙන්ට් කරන් යන්න. අපි දන්න දේවල් තව කෙනෙක්ට දැනගන්න ශෙයාර් කරගමු.
අශන්ති වරුණසූරිය

Leave a comment