TVS Knowledge Center රාගමට

ශ්‍රී ලංකාවේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, TVS ලංකා පුද්ගලික සමාගමේ TVS Knowledge Center හි දෙවැනි පුහුණු මධ්‍යස්ථානය රාගමදී විවෘත කෙරිණි.

නව මධ්‍යස්ථානය මඟින් කාර්මික ශිල්පීන්, අලෙවි හා සේවා කණ්ඩායම් සහ කර්මාන්තයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම, TVS Knowledge Center මඟින් ක්‍රියාත්මක කරන දිගුකාලීන පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් වනු ඇත.

කොළඹ 14 සිට රාගම දක්වා

TVS Knowledge Center හි පළමු පුහුණු මධ්‍යස්ථානය 2024 වසරේදී කොළඹ 14 ප්‍රදේශයේ ආරම්භ කෙරිණි. TVS බලයලත් අලෙවි හා සේවා නියෝජිතයන්, පෞද්ගලික ගරාජ් කාර්මික ශිල්පීන් (PGM), සමාගමේ සේවකයන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් සඳහා ක්‍රමවත් පුහුණුවක් ලබාදීම එහි මූලික අරමුණ විය.

එතැන් සිට තාක්ෂණික පුහුණුව, නිෂ්පාදන දැනුම, සේවා කටයුතු, දෝෂ හඳුනාගැනීම හා විසඳීම, නව තාක්ෂණය, අලෙවි කුසලතා, ව්‍යවසායකත්වය සහ වෘත්තීය සංවර්ධනය ආවරණය වන පුහුණු වැඩසටහන් රැසක් මෙම මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කර ඇත.

එම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වූයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වීම සහ NVQ Level 4 සුදුසුකම් පිරිනැමීම සඳහා අවශ්‍ය අනුමැතිය හිමිකර ගැනීමයි. TVS Knowledge Center හි තොරතුරු අනුව, යතුරුපැදි කර්මාන්තය සඳහා මෙවැනි පිළිගත් පුහුණුවක් සහ NVQ Level 4 වැඩසටහනක් හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයේ නියුතු සමාගමක් අතුරින් කල පළමු පළමු අවස්ථාව ලෙස සැලකේ.

මෙම වැඩසටහන් මඟින් කාර්මික ශිල්පීන්ට තම ප්‍රායෝගික අත්දැකීම් තවදුරටත් වර්ධනය කරගැනීමටත්, ජාතික වශයෙන් පිළිගත් වෘත්තීය 

සුදුසුකමක් ලබාගැනීමටත් අවස්ථාව සැලසේ. ඒ අනුව, 2025 වසරේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති සහතික පිරිනැමීමේ උත්සවයේදී සුදුසුකම් සපුරාගත් කාර්මික ශිල්පීන් 225 දෙනෙකුට NVQ සුදුසුකම් පිරිනමන ලදී. දිගුකාලීන ප්‍රායෝගික අත්දැකීම් ඇති කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය හැකියාවන්ට ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාදීමට එය වැදගත් අවස්ථාවක් විය.
නවීන පහසුකම් සමඟ ප්‍රායෝගික පුහුණුව

රාගම පුහුණු මධ්‍යස්ථානය යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා විශේෂිත නවීන තාක්ෂණික උපකරණ සහ පුහුණු පහසුකම්වලින් සමන්විත වේ. නවීන වාහන පද්ධති, ප්‍රායෝගික සේවා කටයුතු, දෝෂ හඳුනාගැනීම හා විසඳීම, නව පරම්පරාවේ වාහන තාක්ෂණය, නිෂ්පාදන දැනුම සහ ගුණාත්මක පාරිභෝගික සේවාව එහි පුහුණු වැඩසටහන් මඟින් ආවරණය කිරීමට සැලසුම් කර ඇත.

ඉදිරියේදී ත්‍රීරෝද රථ කාර්මික ශිල්පීන් සඳහාද NVQ සුදුසුකම් ලබාදීමේ වැඩසටහන් ආරම්භ කිරීම TVS Knowledge Center හි තවත් අරමුණකි.

වෘත්තීය පුහුණුව කර්මාන්තයේ සැබෑ අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීම සඳහා TVS Knowledge Center විවිධ අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන සමඟ එක්ව කටයුතු කරයි. වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) පුහුණු මධ්‍යස්ථාන, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (German Tech), තාක්ෂණික විද්‍යාල, යුද හමුදා තාක්ෂණික පුහුණු වැඩසටහන් සහ අනෙකුත් ආයතනවල සිසුන් සඳහා ප්‍රායෝගික හා සේවාස්ථ පුහුණුව ලබාදීමටද මෙම මධ්‍යස්ථානය කටයුතු කර ඇත. එමඟින් තරුණ තරුණියන්ට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම මෙන්ම සැබෑ සේවා පරිසරයක අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව හිමි වේ.

 

දරුවාගේ බුද්ධි වර්ධනයට මවගේ ආහාරයෙන් ලැබෙන ශක්තිය Read Previous

දරුවාගේ බුද්ධි වර්ධනයට මවගේ ආහාරයෙන් ලැබෙන ශක්තිය

බර අඩු කරගන්න ග්‍රීන් ටී බොනවාද? Read Next

බර අඩු කරගන්න ග්‍රීන් ටී බොනවාද?

Realted Post

Leave a comment