දරුවාගේ බුද්ධි වර්ධනයට මවගේ ආහාරයෙන් ලැබෙන ශක්තිය

දරුවෙකුගේ මොළයේ වර්ධනය, ස්නායු පද්ධතියේ සංවර්ධනය සහ අනාගත ඉගෙනුම් හැකියාවන් සඳහා ගර්භනී සමය ඉතා වැදගත් කාලයකි. දරුවා මෙලොවට බිහිවූ පසු සිදුවන වර්ධනය මෙන්ම, ගර්භාෂය තුළ සිටින කාලයේදීම මොළය සහ ස්නායු පද්ධතියේ මූලික ව්‍යුහයන් වේගයෙන් වර්ධනය වීම ආරම්භ වේ.

ඒ නිසා ගර්භනී කාන්තාවක් ලබාගන්නා සමබර හා පෝෂ්‍යදායී ආහාර වේල දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙයි.

ගර්භයේදී මොළය වර්ධනය වන ආකාරය

ගර්භනීභාවයේ මුල් සති කිහිපයේ සිටම දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනය ආරම්භ වේ. විශේෂයෙන් තුන්වන සතිය ආසන්නයේ ස්නායු පද්ධතියේ මූලික පදනම සැකසීම ආරම්භ වන අතර ඉන් අනතුරුව මොළයේ සහ ස්නායු සෛලවල වර්ධනය වේගවත් වේ.

පළමු ත්‍රෛමාසිකය

ගර්භනී සමයේ පළමු මාස තුන තුළ දරුවාගේ මොළය හා ස්නායු පද්ධතියේ මූලික ව්‍යුහයන් සැකසෙමින් පවතී. මෙම කාලය තුළ මවට ප්‍රමාණවත් පෝෂණයක් ලැබීම ඉතා වැදගත්ය.

දෙවන ත්‍රෛමාසිකය

සිව්වන මාසයේ සිට හයවන මාසය දක්වා කාලය තුළ මොළයේ සෛල වේගයෙන් වර්ධනය වන අතර, ශ්‍රවණය සහ ශරීර චලනය වැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ස්නායු පද්ධතියේ කොටස් තවදුරටත් සංවර්ධනය වේ.

තෙවන ත්‍රෛමාසිකය

හත්වන මාසයේ සිට නවවන මාසය දක්වා කාලය තුළ මොළයේ පරිමාව සහ සංකීර්ණත්වය තවදුරටත් වැඩි වේ. අවධානය, මතකය සහ අනෙකුත් මොළයේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සංකීර්ණ ස්නායු සම්බන්ධතා වර්ධනය වෙමින් පවතී.

මවගේ ආහාර වේලට ඇතුළත් කළ හැකි ආහාර

ආයුර්වේදයේදීද ගර්භනී සමයේ මවගේ පෝෂණය මවගේ මෙන්ම කළලයේ සෞඛ්‍යයට වැදගත් බව අවධාරණය කරයි. එම නිසා පෝෂ්‍ය පදාර්ථ බහුල විවිධ ආහාර සමබරව ලබාගැනීම වැදගත්ය.

එළඟි තෙල්

ආයුර්වේදයේ එළඟි තෙල් ශරීරයට හා මනසට හිතකර ආහාරයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, එය අධික ලෙස නොගෙන වෛද්‍ය උපදෙස් අනුව ආහාරයට එකතු කරගැනීම වඩාත් සුදුසුය.

 එළකිරි

එළකිරි ප්‍රෝටීන්, කැල්සියම් සහ අනෙකුත් පෝෂක ලබාදෙන ආහාරයකි. කිරි හොඳින් රත්කර සුදුසු ප්‍රමාණයකින් පානය කළ හැකිය.

 කජු සහ ආමන්ඩ්

කජු, ආමන්ඩ් වැනි ඇට වර්ග සෞඛ්‍ය සම්පන්න මේද, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ලබාදෙයි. ආහාර වේලට සුදුසු ප්‍රමාණයකින් එකතු කරගත හැකිය.

ගොටුකොළ

ගොටුකොළ ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියේ ජනප්‍රිය පලා වර්ගයකි. විවිධ පෝෂක අඩංගු බැවින් සමබර ආහාර වේලක කොටසක් ලෙස ගොටුකොළ මැල්ලුමක් හෝ වෙනත් ආකාරයකින් ලබාගත හැකිය.

රතු සහල් සහ මුං ඇට

රතු සහල් වැනි සම්පූර්ණ ධාන්‍ය සහ මුං ඇට වැනි පියලි වර්ග ශක්තිය, තන්තු සහ විවිධ පෝෂක ලබාදෙයි. දිනපතා ආහාර වේල විවිධත්වයකින් යුතුව සකස් කිරීම වැදගත්ය.

පලතුරු සහ වියළි පලතුරු

නෙල්ලි, වැල් දොඩම් වැනි පලතුරු මෙන්ම රට ඉඳි සහ මුද්දරප්පලම් වැනි වියළි පලතුරුද සුදුසු ප්‍රමාණයකින් ආහාරයට එකතු කළ හැකිය.

මාස අනුව ආහාරය පිළිබඳ අවධානය

ගර්භනී සමයේ මුල් මාස තුනේදී කිරි ඇතුළු පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම වැදගත්ය. එළඟි තෙල් හෝ මී පැණි වැනි දෑ ඖෂධීය අරමුණින් නිතර භාවිත කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

හතරවන මාසයේ සිට මවගේ පෝෂණ අවශ්‍යතා තවදුරටත් වැඩිවන බැවින් ඇට වර්ග, පලා වර්ග, ධාන්‍ය, පලතුරු සහ ප්‍රෝටීන් බහුල ආහාර සමබරව ලබාගත යුතුය.

ගර්භනී සමයේදී අධික ලෙස සැර, අධික ඇඹුල් සහ අධික ලෙස සැකසූ ආහාර භාවිතය සීමා කිරීමද වැදගත්ය.

විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ, එක් ආහාරයකින් පමණක් දරුවාගේ බුද්ධිය හෝ සහජ හැකියාව වැඩි කළ නොහැකි බවයි. දරුවාගේ වර්ධනය සඳහා විවිධ පෝෂක අඩංගු සමබර ආහාර වේලක්, නිසි ගර්භනී සත්කාර සහ මවගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය වැදගත් වේ.

ගර්භනී සමයේ ඕනෑම ඖෂධීය ආහාරයක්, ඖෂධීය පානයක් හෝ අතිරේකයක් දිගුකාලීනව භාවිත කිරීමට පෙර සුදුසු වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යය.

සටහන – මහේෂානි මීගහපොල
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය තිළිණි අබේරත්න

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව Read Previous

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස් Read Next

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස්

Realted Post

Leave a comment