බර අඩු කරගන්න ග්‍රීන් ටී බොනවාද?

ග්‍රීන් ටී එහෙමත් නැත්නම් හරිත තේ කියන්නේ අද වන විට බොහෝ දෙනාගේ දෛනික ජීවිතයට එක්වී ඇති පානයක්. විශේෂයෙන් බර පාලනය කරගැනීම සඳහාත්, ඇස් යට ඇති කළු පැහැය අඩු කරගැනීම සඳහාත් බොහෝ දෙනා ග්‍රීන් ටී භාවිත කරනවා.

නමුත් ග්‍රීන් ටී පානයක් ලෙස පමණක් නොව, රූ සත්කාර සඳහාද භාවිත කළ හැකි බව ඔබ දැන සිටියාද? එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝග නිසා සම සහ හිසකෙස් සඳහාද ඇතැම් ප්‍රතිලාභ ලබාගත හැකියි.

සිරිකතෙන් අද ඔබට කියන්නේ ග්‍රීන් ටී භාවිත කරගත හැකි සරල රූ සත්කාර කිහිපයක් ගැනයි.

ග්‍රීන් ටීවලින් සමට ලැබෙන ප්‍රතිලාභ

ග්‍රීන් ටීවල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝග සමේ සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී විය හැකියි. විශේෂයෙන්,

  • සමේ තාරුණ්‍ය පෙනුම පවත්වා ගැනීමට උපකාර වීම
  • සමේ අතිරික්ත තෙල් ගතිය පාලනය කිරීමට උපකාර වීම
  • කුරුලෑ ඇතිවීම අඩු කිරීමට සහ සම සන්සුන් කිරීමට උපකාර වීම
  • සමට නැවුම් සහ දීප්තිමත් පෙනුමක් ලබාදීමට උපකාර වීම

වැනි ප්‍රතිලාභ ලබාගත හැකියි.

දීප්තිමත් මුහුණකට ග්‍රීන් ටී ස්ප්‍රේ එකක්

උතුරන වතුර කෝප්ප භාගයකට ග්‍රීන් ටී තේ හැන්දක් දමා විනාඩි 5–10ක් පමණ තබන්න. පසුව එය හොඳින් නිවෙන්නට හැර පෙරාගන්න.

එයට නැවුම් කෝමාරිකා ජෙල් හෝ යුෂ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. පිරිසිදු ස්ප්‍රේ බෝතලයකට දමා ශීතකරණයේ තබා කෙටි කාලයක් තුළ භාවිත කළ හැකියි.

මුහුණ හොඳින් පිරිසිදු කරගත් පසු සුළු ප්‍රමාණයක් මුහුණට ස්ප්‍රේ කරගත හැකියි.

වැදගත්: ගෙදර සාදාගන්නා මෙවැනි මිශ්‍රණවල කල් තබාගැනීමේ ද්‍රව්‍ය නොමැති නිසා දිගු කාලයක් තබා නොගන්න. නරක් වීමේ ලක්ෂණ පෙනේ නම් භාවිත නොකරන්න.

සිරුරට ග්‍රීන් ටී බොඩි මාස්ක්

ග්‍රීන් ටී මේස හැඳි දෙකක් සහ කිරිපිටි මේස හැඳි දෙකක් ගෙන මඳ උණුසුම් ජලය සමඟ මිශ්‍ර කර උකු පේස්ට් එකක් සාදාගන්න.

එය සිරුරේ සුදුසු ප්‍රදේශවල ආලේප කර විනාඩි 10–15ක් පමණ තබා පසුව ජලයෙන් සෝදා හරින්න.

සතියකට වරක් හෝ දෙවරක් මෙය සිදු කළ හැකියි.

කෙසේ වෙතත්, සංවේදී සමක් ඇති අය මුළු සිරුරටම භාවිත කිරීමට පෙර කුඩා ප්‍රදේශයක ආලේප කර පරීක්ෂා කිරීම සුදුසුය.

හිසකෙස් සඳහා ග්‍රීන් ටී රින්ස් එකක්

හොඳින් සකස් කරගත් ග්‍රීන් ටී කෝප්පයක් සම්පූර්ණයෙන්ම නිවෙන්නට හරින්න. එයට ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් එකතු කරගත හැකියි.

ෂැම්පු කිරීමෙන් පසු මෙම මිශ්‍රණය හිසකෙස් සහ හිස්කබල මත වත්කර මෘදුව සම්බාහනය කරන්න. විනාඩි කිහිපයකට පසු ඇල් වතුරෙන් හොඳින් සෝදා හරින්න.

සතියකට වරක් පමණ මෙය සිදු කළ හැකියි.

ග්‍රීන් ටීවල ඇති ඇතැම් සංයෝග හිස්කබලේ සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී විය හැකි අතර, හිසකෙස්වලට නැවුම් සහ මෘදු පෙනුමක් ලබාදීමටද උපකාරී විය හැකියි.

භාවිත කිරීමට පෙර මේ ගැනත් සිතන්න

ස්වාභාවික ද්‍රව්‍යයක් වුවත් සෑම කෙනෙකුගේම සමට එකම ආකාරයෙන් ගැළපෙන්නේ නැහැ. එබැවින් ඕනෑම නව රූ සත්කාරයක් මුහුණට හෝ සිරුරට භාවිත කිරීමට පෙර කුඩා ප්‍රදේශයක පරීක්ෂා කර බැලීම වැදගත්.

ඇස් වටා ප්‍රදේශයට හෝ තුවාල වූ, කැසීම් සහිත සම මත මෙවැනි මිශ්‍රණ ආලේප කිරීමෙන් වළකින්න.

ග්‍රීන් ටී බර අඩු කරගැනීමට උපකාරී විය හැකි පානයක් වුවත්, එය පමණක් භාවිත කිරීමෙන් බර අඩු කරගත නොහැකියි. සමබර ආහාර වේලක් සහ නිසි ශාරීරික ක්‍රියාකාරකම් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම වඩාත් වැදගත්ය.

සටහන – මහේෂානි මීගහපොල

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Previous

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස් Read Next

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස්

Realted Post

Leave a comment