කඨින චීවර මාසෙ අටපිරිකර ජාවාරමක්

රුපියල් 1,500කට ලබාගත් අටපිරිකරක් රුපියල් 5,000කට ආසන්න මිලකට නැවත අලෙවි කරලා

කඨින චීවර මාසය ඉලක්ක කරගනිමින් මාතලේ නගරයේ ප්‍රසිද්ධ අටපිරිකර හා පූජා භාණ්ඩ අලෙවිසැලක පවත්වාගෙන ගිය ප්‍රමිතියෙන් තොර අටපිරිකර නැවත සකස් කර අධික මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරමක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින්  (19) වටලා තිබේ.

පූජා කරන ලද අටපිරිකර නැවත ලබාගෙන, ඒවායේ අඩංගු භාණ්ඩ ප්‍රමිතියෙන් තොර අයුරින් නැවත සකස් කර අසුරා අධික මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් 1,500ක පමණ මුදලකට ලබාගන්නා එක් අටපිරිකරක් නැවත සකස් කර රුපියල් 4,500ත් 5,000ත් අතර මිලකට අලෙවි කර ඇති බවයි.

අදාළ වෙළෙඳසැලේ තෙවැනි මහලේ ඉතා සූක්ෂම අයුරින් රඳවා තිබූ ප්‍රමිතියෙන් තොර සිවුරු, පාත්තර, දැලිපිහි ඇතුළු අටපිරිකර සඳහා යොදාගන්නා පූජා භාණ්ඩ තොගයක් ද මෙහිදී සොයාගෙන තිබේ. ඒවා නැවත ඇසුරුම් කර අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී සොයාගත් අතර, එම භාණ්ඩ තොගයම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

භාරයට ගත් පූජා භාණ්ඩ තොගය සමඟ අදාළ ව්‍යාපාරයේ හිමිකරු ඉදිරි විමර්ශන කටයුතුවලින් අනතුරුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මහේෂ් කීර්තිරත්න

​79 වන ජාතික නිදහස් දින සමරු උළෙල නිදහස් චතුරශ්‍රයේදී Read Previous

​79 වන ජාතික නිදහස් දින සමරු උළෙල නිදහස් චතුරශ්‍රයේදී

නකල්ස් තුරු වියනෙන් කළුගඟට හරිත අනාගතයක් Read Next

නකල්ස් තුරු වියනෙන් කළුගඟට හරිත අනාගතයක්

Realted Post

Leave a comment