ගොවි නියාමකගේ සේවය ඔබේ ගමට නිසි ලෙස ලැබෙනවාද?

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව තුළ පිහිටුවා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 තුළට අදාළ ග්‍රාම නිළධාරී වසම් නියෝජනය කරමින් ලංකාව පුරාම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් පත් කර තිබේ. කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරු 1996 අවුරුද්දේ දී ගොවි නියාමක වශයෙන් පත් වූ අතර 2000 වර්ෂයේදී කෘෂිකර්ම සහ නිෂ්පාදන සහකාර වශයෙන් ස්ථිර පත්වීමක් ඔවුන්ට ලබා දෙන ලදී. 

ඉන්පසු එම නිළධාරීන් ග්‍රාම සේවා වසම් වල සිටින ගොවීන්ට අවශ්‍ය වන සැපයුම් සේවා ලබා දීම මූලික කාරණය වන අතර ගොවීන්ගේ ලේඛන සකස්කිරීම, ලේඛන වලට අදාළ ගොවින්න්ගේ වගා ප්‍රමාණයන් දැක්වීම, ප්‍රදේශයේ පවතින ගොවි සංවිධාන වල කටයුතු නිරවුල්ව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, යම් ගොවි සංවිධානයක් අක්‍රීය වී ඇත්නම් එම ගොවි සංවිධානය නැවත නිළවරණයන් පවත්වා  ශක්තිමත් කිරීම, තම බල ප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් කෘෂිකර්මය නගා සිටුවීමට අවශ්‍ය වැඩසටහන් සංවිධානය කිරීම, ගොවීන්ට ණය පහසුකම් අවශ්‍ය නම් දෙපාර්තමේන්තුවේ පවතින ගොවිජන බැංකු ව්‍යාපෘති හරහා අවශ්‍ය ණය සැපයීමට කටයුතු කිරීම, අස්වැන්න නෙළන අවස්ථා වලදී යම් අස්වැන්නක මිල පහත වැටුණහොත් ගොවිජන බැංකු මඟින් ණය ලබා දී ගොවීන්ගේ මිල පාලනය කිරීමට අවශ්‍ය කටයුතුවලට උපකාර කිරීම, පොහොර අවශ්‍යතා සපුරාලීමට කටයුතු කිරීමද ඔවුන්ගේ රාජකාරීමය වගකීමයි. ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව, ගොවි සංවිධාන රැස්වීම් ආදියට සම්බන්ධ වී තම බල ප්‍රදේශයේ සිටින ගොවීන්ගේ ගැටලු අදාළ සංවිධාන වෙත යොමු කිරීමද මෙම නිළධාරීන්ගේ කාර්යයේ තවත් කොටසකි. 

නිදසුනක් වශයෙන් තම බල ප්‍රදේශයට අයත් වාරිමාර්ගයක, කුඹුරට යාමට තිබෙන මාර්ගයක යම් හානියක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අදාළ ආයතන වෙත යොමු කර ඒවා සංවර්ධනය කිරීම හෝ හානිය වළක්වාලීමට කටයුතු කිරීම ග්‍රාමීය මට්ටමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිළධාරියාගේ වගකීමකි.
එමෙන්ම ගොවි සංවිධාන වල ඇති මුදල් පරිහරණය කිරීමේදී ඒවා නිසිලෙස ප්‍රයෝජනයට ගන්නේද, යන්නත් සලකා බැලීම ඔවුන්ගේ වගකීමයි. එමෙන්ම තම බල ප්‍රදේශයේ ගොවීන් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමත් ඔවුන්ගේ රාජකාරියයි. 

- කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් තම රාජකාරීන් ඉටු කළ යුතු කාලය

සඳුදා දිනයේදී ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ යුතුයි. සතියේ එක් දිනයක් තම ක්ෂේත්‍රයේ රාජකාරී කරන ස්ථානයක් තෝරාගෙන එම කාර්යාලයේ එම දිනයෙහි රැඳී සිට ගොවීන්ට අවශ්‍ය විසඳුම් ලබාදීම හෝ ඔවුන්ට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කළ යුතුයි. 

- කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් විසින් මෙම කටයුතු නිසි පරිදි ඉටු නොවන්නේ නම්,

අදාළ බල ප්‍රදේශයේ, ගොවිජන සේවා මධ්‍යස්ථානය භාරව සිටින ගොවිජන සංවර්ධන නිළධාරියාට දැනුම් දීම කළ හැකියි. ඔහු ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ නම් අදාළ දිස්ත්‍රික්කයේ සහකාර කොමසාරිස් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. 


කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ ප්‍රධානියා වන්නේ ප්‍රාදේශීයව සිටින ගොවිජන සංවර්ධන නිළධාරීවරයායි. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් නම් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් හෝ නියෝජ්‍ය කොමසාරිස් වරයායි. එමෙන්ම ප්‍රධාන කාර්යාලයට පැමිණෙන විට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් වරයා මෙම නිළධාරීන්ගේ ප්‍රධානීන් වශයෙන් කටයුතු කරයි.

 කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් තම බල ප්‍රදේශයේ තිබෙන සංඛ්‍යා දත්ත, තොරතුරු එකතු කරනවා සේම එම තොරතුරු නියම වශයෙන්, සත්‍ය වශයෙන් සැපයීම පිළිබඳවද වගකිව යුතුය. එකී දත්ත මත පදනම්ව රටේ ආර්ථික සංවර්ධනය සහ කෘෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සහ සැපයුම් සේවා ලබා දෙනු ලබයි.

ලංකාවේ සාමාන්‍යයෙන් හෙක්ටයාර් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් වී වගාවට යොදවා තිබේ. එම ප්‍රදේශ වලට අවශ්‍ය පොහොර සැපයීම, කෘෂි රසායන සැපයීම, අවශ්‍ය ණය පහසුකම් සැපයීම, හානිවන වාරිමාර්ග කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සිදු කළ යුතුයි. දෙපාර්තමේන්තුවේ අරමුණ වන්නේ සියළුම කෘෂි කාර්මික ඉඩම් වගා කිරීමයි. ඒ වගේම වී වගා කිරීමට යොදාගන්නා කුඹුරු ඉඩම් වල වෙනත් කාර්‍යයක් සිදු කරනවා නම් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සිදු කිරීම ද කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ වගකීමකි. 

ග්‍රාමීය මට්ටමේ පවතින ඇළවේලි සංස්කරණය කිරීම, කන්නයකට අදාළ පොහොර ලබාදීම, අවශ්‍ය බිත්තර වී ප්‍රමාණයන් ලබා දීමට කටයුතු කිරීම, ගොඩ ඉඩම් වල බීජ හෝ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමත් ප්‍රධාන රාජකාරියකි. එමෙන්ම වර්තමානයේදී ඔවුන්ට විශාල රාජකාරියක් පවරා තිබේ. ඒ තම බල ප්‍රදේශයේ පවතින කෘෂිකාර්මික ඉඩම් මැන ලේඛනගත කිරීමයි. ඉන්පසු ඊට අවශ්‍ය ප්‍රතිපාදන සහ අවශ්‍ය සැපයුම් මෙන්ම ඉඩම් වලින් ලැබෙන ඵලදායී පුරෝකථනයන් කිරීමට කටයුතු ඔවුන් අතින් සිදු විය යුතු වේ.   

විශ්වනී හසලා
අදහස් දැක්වීම: එරංග අතපත්තු- ගොවිජන සංවර්ධ සහකාර කොමසාරිස් නීති අංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

ලංකාදීප Online දැනුවත් විනාඩි තුන වැඩසටහන ඇසුරෙන්

අර්ථවහරනයෙන් පසු කාන්තාවන්ට මතුවන රෝග සඳහා සාර්ථක ආයුර්වේද පිළියම් Read Previous

අර්ථවහරනයෙන් පසු කාන්තාවන්ට මතුවන රෝග සඳහා සාර්ථක ආයුර්වේද පිළියම්

අර්ථවහරනයෙන් පසු කාන්තාවන්ට මතුවන රෝග සඳහා සාර්ථක ආයුර්වේද පිළියම් Read Next

අර්ථවහරනයෙන් පසු කාන්තාවන්ට මතුවන රෝග සඳහා සාර්ථක ආයුර්වේද පිළියම්

Realted Post

Leave a comment