ජනවාරි 08 ඉරිදා

ජනවාරි 08 ඉරිදා
අද කුසල් ගෙදර. උදේ 7.00 වෙනකල් නිදා ගත්තා. 7.30 ට කුස්සියට යනකොට කුසල්ගෙ අම්මා අපේ අම්මාට කියනවා “මෙන්න ගෘහිණියෝ වෙන්න හිතන අය නැගිටින වෙලාව” කියලා. අපේ අම්මා යාන්තමට හිනහ වුණා මිසක් මොකුත් කීවේ නෑ. ඒ අම්මා හිතනවා ඇති පුතා වැඩකාරියක් පුහුණු කරනවා කියලා. මගේ කුසල් නම් එහෙම නෑ. ඉස්සරහට අම්මාගේ පුතා වෙයිද කියලත් බයයි. ඒකයි මේක සටහන් කළේ.


 ජනවාරි 09 සඳුදා
ඊයේ හවස අපි ගෝල්ෆේස් ගියා. ගෙදර ඉඳලා ඇති වෙලා. ටිකක් වෙනසකටත් එක්ක. මිනිස්සුන්ට සල්ලි නැතත් සතුටු වෙනවා. ඒ තරමට සෙනඟ.
අපි හෝටලයකින් රෑ කෑම කාලා ගෙදර ආවා.  හරි සතුටුයි. කුසල්ගේ අම්මාට ඒකත් අවුල්. හෙට උදේ පුතා හොස්පිට්ල් යන්නත් ඕනේ නේද. මේ මොකද රෑ වෙලා කියලා කිව්වේ මට රව රවා. මෙයත් එක්ක ඉන්න එක නං ලේසි නෑ වගේ.


ජනවාරි 10 අඟහරුවාදා
අදත් කුසල් උදේ වැඩට ගියා. මං අපේ අම්මාත් එක්ක මාර්කට් ගියා. ජීවිතේ ඉස්සර වගේම ඔහේ ගෙවෙනවා. කුසල් ඉන්නකොට සතුටුයි. ඒත් වෙනසක් නෑ. විවාහ ජීවිතේ කියන්නේ මේකටද කියලත් හිතෙනවා.
අපි කෙනෙකුට ආදරය කරලා එයාත් එක්ක එයාගේ සතුට වෙනුවෙන් කැපවීමද විවාහ ජීවිතේ කියන්නේ. රස්සාවක් නොකර කාර්ය බහුල කෙනෙක් බැන්දොත් මේ වගේ පාළු විවාහ ජීවිතයක් ගත කරන්න වෙනවාද කියලා මට දැන්ම ඉඳන් හිතෙනවා.


ජනවාරි 11 බදාදා
මං කාමරේට වෙලා ඔහේ බලාගෙන ඉන්න කොට අපේ අම්මා කාමරේට ආවා. ඇයි දුව දුකෙන් වගේ ඉන්නේ. ඉස්සර වගේ ඉන්නකො කිව්වේ අර අම්මාට නෑහෙන්න. අම්මාටත් කුසල්ගේ අම්මා කරදරයක් වගේ. ඇවිදින්න බැරි වුණත් රෝද පුටුවෙන් බස බස ගාලා යන්නේ වැඩ රාජකාරියකට යන කෙනෙක් වගේ. අපි කතා කරන තැනටත් ආවේ එයාට මොනවා හරි කියනවා කියලා හිතලා වෙන්න ඇති. 


ජනවාරි 12 බ්‍රහස්පතින්දා
කුසල්ගේ අම්මා අද එයා ගිය ගමන්ම මගේ කාමරේට ආවා.“දුව හැමදාම මෙහෙම කාමරේට වෙලාද ගෙදර හිටියේ” කියලා ඇහැව්වේ හින්ට් එකකට වගේ. මට තරහා ගියා. මගේ ගෙදර මට ඕන විදිහට ඉන්න බැරිද? මං යාන්තම් හිනහා වෙලා සාලෙට ආවාම ‘ඇයි තරහෙන්ද? ’ අහනවා. 


ජනවාරි 13 සිකුරාදා
අද කුසල් 2.00 ට යන්නේ. උදේ අපි කාමරේ ඉන්න කොට කුසල්ගේ අම්මා දොරට ගැහැව්වේ පුතා අද යන්නේ නැද්ද කියලා අහන්නයි. කුසල්ටත් ටිකක් කේන්ති ගියා. යනවා කියලා දොර ඇරියෙත් නෑ. පව් කියලත් හිතෙනවා. එක පුතා නිසා වෙන්න ඇති ඔය තරමට හොයන්නේ. 


ජනවාරි 14 සෙනසුරාදා
හෙට අම්මා ගෙදර එක්ක යනවා කියලා කුසල් කිව්වා. එයා අපිට කරදරයක් වෙයි කියලා හිතලා වෙන්න ඇති. මං මොකුත් කිව්වේ නෑ. අපේ අම්මා ඒ අම්මාට හොඳට සලකනවා. මාත් එහෙමයි. ඒත් එයාටත් එයාගේ  ගෙදර යන්න හිතෙනවා ඇති. දැන් රෝද පුටුවෙන් ගියාට එයාට ගොඩක්ම සනීපයිනේ.


අපේ අම්මා වගේ නෙවෙයි මේ අම්මා ඉන්න කොට නිදහස නෑ. හරියට හොයනවා. ඒක කුසල්ටත් තේරෙනවා ඇති. පව්..........

 

සිරිකතෙන් කරළියට ආ ’’ඔබ ආයෙමත් ඇවිදින්’’ පොතකට Read Previous

සිරිකතෙන් කරළියට ආ ’’ඔබ ආයෙමත් ඇවිදින්’’ පොතකට

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න Read Next

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න

Realted Post

Leave a comment