ජනවාරි 29 ඉරිදා

ජනවාරි 29 ඉරිදා 
ඊයේ වෙඩින් එකේදි හුඟාක් යාළුවෝ කිව්වේ මං ලස්සන වෙලා කියලා. කුසල් අකමැත්තෙන් වගේ ගියත් මගේ යාළුවන් එක්කයි එයාලාගේ හස්බන්ඩ්ලා එක්කයි මාර විදිහය පෑල් වෙලා.
සුමුදු අද ජ්කක කරලා කිව්වෙත් එයාගේ හස්බන්ඩ් කුසල්ගේ නිහතමානීකම ගැන වර්ණනා කළාලු. අයෝමි කිව්වේ දැන් වෙඩින් එක දවසට වඩා කුසල් මහත්වෙලා ලස්සන වෙලාලු. චාරිකා ඉස්සර වගේම කට හැකරකමට කෑ ගහලා කිව්වේ හැම පැත්තෙන්ම හොඳට කෑම ලැබෙන නිසා දෙන්නාම මහත් වෙලා කියලා. මට ලැජ්ජත් හිතුනා.


ජනවාරි 30 සදුඳා
අනේ මට ඩයරියේ ඊයෙත් ලියන්න බැරිවුණා. පියුමිගේ වෙඩින් එකේදී ගොඩක් දෙනා කතා කළේ තේමිය ගැන. තේමිය බේබද්දෙක් වෙලා. හොඳ රස්සාවක් කළත් දැන් ඒකත් නැතිලු. එයා දිහා බලන හැම වෙලේම බොන එකමයි දැක්කේ. බීලා බීලා පෙරේතයෙක් වගේ වෙඩින් එකේ හිටපු නාකි ගෑනියෙක් අල්ලන් වැනි වැනි නැටුවා. ඒ ගෑනිත් බීලා. දෙන්නා මරු විදිහට නැටුවා. හැමෝම කතා වුණේ මඟුල් ජෝඩුවට වඩා ඒ දෙන්නා ගැන.
පවු තේමියගෙ වයිෆ් දික්කසාද වෙලා. ඒ වගේ කෙනෙක් බැන්දා නම් මං අද අමු අපායේ. අනේ මේ මනුස්සයාගේ බීම නවත්තලා හොඳ තත්ත්වෙට ගන්න පුළුවන් නම්...


ජනවාරි 31 අඟහරුවාදා
අද දවසම වැස්සා. උදේ කුසල් වැඩට ගියෙත් මහ වැස්සේ. කාරෙක එළවන්න බැරි තරම් වැස්ස. මං එයා ගියාට පස්සේ උදේ 8.00 වෙනකල් නිදා ගත්තා. නින්ද ගියේ නැහැ. මහා පාළුවක් හිතට නැගුනා. මුළු ගෙදරම හරිම අඳුරුයි. වැස්ස නිසා. ඒ කළුවරට මට හරිම දුකක් ආවා. තේමිය දැන් ගෙදර යන්නෙත් නැතිලු. අනේ එයා ඇයි ඒ තත්ත්වයට වැටුනේ.


පෙබරවාරි 01 බදාදා
මට හරියට තේමිය මතක් වෙනවා. ඒත් කාටවත් කියන්නවත් බෑ. ඉස්සර කැම්පස් එකේදී තේමිය කියන්නේ රජෙක් වගේ හැම පැත්තෙන්ම දක්ෂ කොල්ලෙක්. හුඟ දෙනෙක් එයාට හිතින් ආදරය කරන්න ඇති. මං වගේ. ඒත් එයා අහංකාරකමින් ඉඳලා අන්තිම අවුරුද්දෙ අර නැට්ටිච්චිට කරගැහැව්වා. ඒ කාලෙත් ටිකක් බොනවා කියලා ආරංචි වුණා. ඒත් මේ විදියට වුණේ පවුලෙ ප්‍රශ්න වුණු නිසා වෙන්න ඇති.


පෙබරවාරි 02 බ්‍රහස්පතින්දා
අද උදේ කුසල් හොස්පිට්ල් ගියාට පස්සේ කුස්සිය දිහාවෙන් වෙනද තරම් සැර නැති වාදයක් ඇහුනා. අම්මා තාත්තිට ‘ආයෙත් පටන් ගත්තාද?’ කියලා හයියෙන් කෑ ගැහැව්වා. අර මඟුල ආයෙත් අම්මාට අහුවෙලාද මන්දා. අනේ මන්දා තාත්ති කොච්චර හොඳ වුනත් මේ කරන බහු බූත.
දැන් එයාට අවුරුදු 50 ත් පැනල. මොන මඟුල්ද මේ. හොර කෙහෙල්මල්...
මං අම්මාගෙන් මොනවත් අහන්නේ නෑ.


පෙබරවාරි 03 සිකුරාදා
අද උදේ තාත්ති මල්ලිට මහරගමින් ගත්ත ඉඩම බලන්න ගියා. ඒකෙ මල්ලිට ගෙයක් හදන්න ඕනෑ කිව්වත් දැන් සල්ලි හුඟක් වියදම් වුණු නිසාත්, මේ කාලේ බඩුවල ගණන් නිසාත් දැන්ම පටන් ගන්න බෑ කිව්වා. ඒ ඉඩම් වල් වැදිලා කියලා නන්දනීලාගේ පියදාසත් එක්ක ගියේ සුද්ධ කරන්න කියලා. ඒ එක්කම මල්ලිත් ගියා.


පෙබරවාරි 04 සෙනසුරාදා
අද නිදහස් දවස සමරනවා. අපිට නිදහස ලැබිලා අවුරුදු 75ක්ලු. සුද්දා කොළ කෑල්ලකින් දුන්න බොරු නිදහස. ඇත්තටම අපිට නිදහසක් ලැබුනද? තවමත් අපේ රටේ ඉංග්‍රීසියෙන් වචනයක් කියන මිනිහට ඔලුව නමන මිනිස්සුනෙ ඉන්නෙ.


ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන්නේ අපි බටහිර වුන්ට තාමත් ඔලුව නමනවා කියන එක නේද කියලා මට හිතෙනවා. ඒත් අද අපේ උන් මේ රටේ ජීවත් වෙන්න බෑ කිය කියා පිටරට්ටුන්ගේ පස්ස හෝදන්න යන්න දඟලන දැඟලිල්ල.  චාරිකාගේ මඟුල් ගෙදරදි  ප්‍රධාන මාතෘකාව වුනෙත් අරයා රට ගියා මෙයා මේ රටට යනවා කියන එකනේ. අනේ මන්දා උගත් උනුත් ඔහොම ගියාම....

 

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න Read Previous

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න

එයා නම් ඇත්තටම සීනි බෝලයක් Read Next

එයා නම් ඇත්තටම සීනි බෝලයක්

Realted Post

Leave a comment