දෙසැම්බර් 25 ඉරිදා

දෙසැම්බර් 25 ඉරිදා
අද නත්තල්. උදේම කුසල් සුබ නත්තලක් කියලා මගේ නළලට කිස් එකක් දෙනකොටයි මට නත්තල්ද කියලා මතක් වුණේ.

ඊයේ දවස හරිම සුන්දරයි. ඒ කුසල්ලගෙ හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර්ගේ පාටි එකට ගිය වෙලාවේ හුඟක් දෙනෙක් අලුත් ජෝඩුව කියලා අපි පිළිගත්තේ හැබෑ හිතවත්කමින් කියලා මට හිතුණා. ඩොක්ටර් ධනංජි මගේ ගවුම හරිම ලස්සනයි කීවේ කුසල්ට ඇහැක් ගහලා. මට ඒක ඇල්ලුවේ නැහැ. ඩොක්ටර් ධනංජි ටිකක් අමුතුයි. මා එක්ක හොඳට කතා කළාට කුසල් එක්ක කතා කරන්නේ එයාට ගහ ගහ. මට නම් ඒවගේ හිතවත්කම් අල්ලන්නේ නැහැ. ඩොක්ටර් තාම බැඳලාත් නැහැලු. වයස පාටයි. කොටට කොටේ ගවුමක් ඇඳලා ආවේ නැවෙන කොට යට ඇඳුම පේන විදියට. පාටි තමයි. ඒත් එහෙම ඇන්දාම ඩොක්ටර් කෙනෙකුට තියෙන ගෞරවයත් නැතිවෙනවා. මං කුසල්ට කීවාම එයා කිව්වේ කොළඹ හතේ ගෑනු ළමයි ඔහොම තමා කියලා. මට ඒකට නම් තරහත් ගියා. අවුරුදු 30 ත් පැනපු පුදුම ගෑනු ළමයෙක්.....?

 


දෙසැම්බර් 26 සඳුදා
ඉරිදා නත්තල් තිබුණු නිසා අද රජයේ නිවාඩු. කුසල් අද හොස්පිට්ල් ගියෙත් නැහැ. ඊයේ රෑ 12.00 වෙනකල් ටී.වීි. බැලුවා කියලා. දැන් එයාට හොස්පිට්ල් යන්නත් කම්මැළියිලු. බැන්දා කියලා ගෙදරට වෙලා හිටියොත් හරි යයි. මම එයාට ටොක්කක් ඇන්නා. පිස්සු කතා කියනවා කියලා. අනේ මගේ කුසල් මට පණ වගේ දැනට නම් ආදරෙයි. ඒ ආදරේ හැමදාම රැකගන්න ලැබේවා.

 


දෙසැම්බර් 27 අඟහරුවාදා
ඊයේ දවස සතුටින් ඉන්න හිතුවත් හවස කෑම කාලා නිදා ඉන්නකොට කුසල්ගෙ අම්මාගේ ෆෝන් එකෙන් කමලාවතී කතා කළා. අම්මා වැටිලා දණඉස පැනලලු. මං බය වුණේ කැඩිලා කියලා. කුසල් කලබල වුණු පාරට ඇඳෙන් වැටෙන්නත් ගියා. අම්මට ප්‍රෙෂරුත්නේ. අපි ඒ ගමන්ම මාරවිල ගියා. අම්මා හොස්පිට්ල් ගෙනිහින්. අම්මට අමාරුවක් නෑ. දණඉස හදලා ඇවිදින්න දෙන්නේ නෑ. ඇඳේම සතියක් ඉන්න වෙනවලු. කුසල් අම්මාගේ ටිකට් කපලා ගෙදර ගෙනාවා. එයාව ගෙනියන්න කීවේ ඒ ඩොක්ටර්මයි. ඒ හොස්පිට්ල් එකේදි වෙන ලෙඩත් එයි කියලා.

ඒ ගමන මාරවිල ගෙදර කමලාවතීටයි සුමනපාලටයි සතියක් බලා ගන්න කියලා අම්මාව මෙහෙ ගෙනාවා. දැන් ඉතිං අපේ ගෙදර වැඩ වැඩියි. 

 


දෙසැම්බර් 28 බදාදා
අද අපිට නෑදෑයෙකුගේ වෙඩිං එකක්. අම්මයි තාත්තයි යනවා. අපි දෙන්නටත් කියලා. දැන් කුසල්ගෙ අම්මා දාලා යන ප්‍රශ්නෙ. එහා ගෙදර පූජනීි අක්කා ඇවිත් බලන්නම් කිව්වානේ. අපේ නන්දනීත් ඉන්නවාගේ ඉතිං. අම්මාට කෑම ටික දෙන්න එහෙම. අනේ මන්දා දැන් අලුත් ප්‍රශ්න. 

 


දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා 
අවුරුද්දත් ඉවර වේගෙන එනවා කියලා අම්මා කුස්සියේ ඉඳන් තාන්තිට කියනවා මං කුස්සියට එනකොට. ඊයේ රෑ වෙඩිං එකට ගිහින් එනකොට රෑ 1.00 විතර වුණා.
ලස්සන..හරි පොෂ් වෙඩිං එකක්. ගොඩක් දෙනෙක් අතරේ අලුත් මනමාලි කිය කියා ළඟ නෑයෝ මට කතා කළා. සාරිය ලස්සනයි කීවේ ලොකු අම්මලා දෙන්නා. අම්මා ඉතින් බෑනා පොඩ්ඩට නිවාඩු නෑ කිය කියා වරුනෙ ගහනවා. ඒ දවසෙත් හරි සතුටෙන් සිටියා. කුසල් මගේ එක්කම හිටියා. මට හරි සතුටුයි.

 


දෙසැම්බර් 30 සිකුරාදා
අලුත් අවුරුද්දට තව දවසයි තියෙන්නේ. ලබන අවුරුද්දේ ජීවිතේ වෙනසක් වෙමු කියලා කුසල් ඊයේ රෑ කීවේ. මට නං බෑ තවම දරුවෝ හදන්න. තව අවුරුද්දක් විතර ඉඳිමු කීවාම කුසල් කියනවා එයාට වයස යනවාලු. ඒකත් ඇත්ත. ඒත් මට සතුටින් තව අවුරුද්දක් විතර ඉන්න ආසයි.
කුසල් කියනවා තව මාස හයකින් විතර බලමු කියලා. දරුවෙක් ලැබුණත් මගේ ඇඟ වෙනස් කර ගන්න එපාලු. එයා ආසලු මගේ ඇඟට. පිරිමි හිතන දේවල්. මට එහෙම කිව්වාම ආසත් හිතෙනවා.

 


දෙසැම්බර් 31 සෙනසුරාදා
අද රෑ 12.00 න් පස්සේ තව අවුරුද්දක්. මට අලුත් ඩයරියේ ලියන්න වෙනවා. මේ ලබන අවුරුද්දේ අපේ ජීවිත කොයිතරම් වෙනස් වෙයිද? තාත්ති රට යවන්නේ නෑ කියලා ඊයේ කෑම මේසෙදි අම්මා කිව්වා. ඒක හොඳයි. නැත්නම් ආයෙත් රණ්ඩු ඇති වෙයි.
කුසල්ගෙ අම්මාට දැන් ඇවිදින්න පුළුවන්. ඒත් කුසල් ඇවිදින්න දෙන්නේ නෑ. එයා අත්වාරුවෙන් ඇවිදින්නෙ පොඩි දුරක්. ඒත් අම්මා හැම තිස්සෙම ගෙදර මතක් කර කර යන්න හදනවා. කුසල් යන්න දෙන්නේ නෑ. අනේ මන්දා මේ ගෙවල් ප්‍රශ්න. එහෙ නවතින්න හරි කුලියට දෙන්න හරි තියෙනවා නං. ඒත් ඒ ගෙදර කුලියට දෙන්නෙ කොහොමද? ඔච්චර බඩු තියාගෙන ලස්සන ගෙදරක්නේ. හෝටලයකට නම් හොඳයි. ඒත් එතකොට නාස්ති වෙයි. ඒ අම්මා කැමැති වෙන එකක් නෑ. අනේ මන්දා... ලබන වසරේ අපිට සතුටින්ම ඉන්න ලැබේවා...... 

 

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න Read Previous

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න Read Next

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න

Realted Post

Leave a comment