නොවැම්බර් 27 ඉරිදා
නොවැම්බර් 27 ඉරිදා
උදේ අපි මාරවිලෙන් පිටත් වුණේ උදේ 7.30 ට. අපෙන් වාහන හතරක් ආවා. කුසල්ගේ වාහනේ අපි දෙන්නා විතරයි. මට මෙහෙම යන්න තිබුණේ පුදුම ආසාවක්. අපේ වාහනේ අම්මත් එන්න හිටියට පුංචි අම්මා අපි දෙන්නට විතරක් ඒකේ යන්න කියලා එයාලගේ ජීප් එකට අම්මාව ගත්තා. චූටි පුංචි ටිකක් ආඩම්බර පාට වුණත් ඒවගේ දේවල් ගැන ගොඩක් හිතනවා.
අපේ කාමරේ හදලා තියෙන්නේ චූටි පුංචි මෙහෙ හොටෙල් එකක එක්කෙනෙක් ගෙන්නලා. ඒක හින්දා අනවශ්‍ය දේවල් කාමරේ පුරවලා නෑ. ඇඳ වුණත් හරි ලස්සනට අස් කරලා තිබුණා. මට ඒක දැක්කම හරි ආසයි. අපේ ගෙදර එහෙම අස් කරලා පුරුද්දක් නෑනේ. ගෙදර ලස්සන වුණත්.
නොවැම්බර් 28 සඳුදා
ඊයේ දවස ගැන මට මේකෙ ලියන්නත් ඉඩ මදි. අපේ තාත්ති ගෙදර පුදුම විදියට වෙනස් කරලා. මඟුල් ගෙදරක් වගේ කෑම. මෙහෙන් ගිය කට්ටියක් හොල්මන් වෙලා වගේ. ගෙදර වෙඩින් එකට නාපු අයත් පිරිලා. තාත්ති හම්බ කරපු සල්ලි ඔක්කොම යන්න ඇති මං වෙනුවෙන්. පවු... තාත්ති හොර වැඩ නොකර ඔහොම තාත්ති කෙනෙක් වගේ ඉන්නවා නං කොච්චර හොඳඳ.....
නොවැම්බර් 29 අඟහරුවාදා
මම මේ ඩයරිය ලියන කොට කුසල් හොරා වගේ පිටුපස්සෙන් ඇවිත් මගේ ඇස් වැහුවා. පුංචි ළමයා අකුරු ලියනවාද කියලා. එයා මට කොච්චර හිනා වුණත් මේකෙ නොලියා නම් ඉන්න බෑ...
මට ගෙදර මතක් වෙනවා. මං හවස එනකොට මෙහෙ ගෙදරදි මාව දාලා යනකොට ඇඬුවට වඩා අම්මා කොච්චර ඇඬුවාද? කෑ ගහලා ඇඬුවේ නැතත් අම්මාගේ සුදු මූණ රතු වෙලා තිබුණා. හොඳ නැති නිසා හිත වාවගෙන හිටියත් මට අම්මව දැක්කාම හෝස් ගාලා පපුව දාලා ගියා.
නොවැම්බර් 30 බදාදා
ලබන සඳුදා ඉඳලා කුසල් හොස්පිට්ල් යනවාලු. එතකොට අපිට ගෙදර යන්න පුළුවන්. මං කිව්වා ඉරිදා ගෙදර යමු කියලා. එයා කියනවා අම්මා කිව්වලු පාළු ගෙදර මල් පිපිලා කියලා. අම්මාට ආයෙත් පාළු දැනේවිලු. ඒත් ඉතිං බැඳපු අලුත එයා එහෙ ගිහින් මට මේ අම්මා රැක රැක ඉන්න පුළුවන්යැ. මං එහෙම වුණොත් අඬනවා. ගෙදර යන්න ඕනෑ කියලා.
දැන් ඉතිං මේ ගෙදර ඉන්නේ අපි තුන්දෙනයි. උදේ හවස උයන්න එන නන්දනියි විතරයිනෙ. අනේ ඒ ගෑනු කෙනා මට හරිම ආදරෙයි. මං කුස්සියට ගියත් මොනවද ඕනෑ කියලා පැනලා අහනවා. පවු....
දෙසැම්බර් 01 බ්‍රහස්පතින්දා
තවත් අලුත් මාසයක්. අවුරුද්දත් ඉවරයි. මේ ගෙවී යන්නේ මගේ ජීවිතේ සතුටුම දින කීපයක්. කුසල් මට පණ වගේ. එයාට හොස්පිට්ල් යන්නත් කම්මැළියිලු. මං ඒ අතින් කොච්චර වාසනාවන්තද? කැම්පස් එකේදි චේතිය වගේ මිනිහෙකුට අහුවුණා නං අද මං ඇඬූ කඳුළින්......
කුසල්ගේ යාළු ඩොක්ටර්ස්ලා වුණත් මට හරිම කැමැතියි. කුසල්ට කිව්වාලු තැඹිලි ගෙඩියේ කපුටෙක් වහලා වගේ කියලා. අප දෙන්නට. ඒත් මගේ කුසල් පාට අඩු වුණත් හරිම වැදගත් පාටයි. ලස්සනයි. උස මහතයිනේ....
දෙසැම්බර් 02 සිකුරාදා
කාලය ගෙවී ගෙන යනවා. අද අපි දෙන්නා මං ගෙදරින් ගෙනාපු අල්මාරිය අස් කළා. අපේ කාමරේ ලස්සන අල්මාරියක් තියෙන හන්දා පුංචිලාහෙම ආවාම ඉන්න කාමරේ ඒක හයි කළා. උදේ ඉඳලාම බාස්ලා ඇවිත්. ඊට පස්සෙ තමා මගේ ඇඳුම්හෙම දාන්න පැත්තකුයි, කුසල්ට පැත්තකුයි විදියට අස් කළේ. කාමරේ අල්මාරියෙන් වැඩිපුරම මගේ ඇඳුම්. මේ අල්මාරියෙත් දාලා මේවා කොහෙ අඳින්නද මන්දා. අපේ ගෙදර ගිහින් ආපු මෙහෙ නෑයෝ අපේ අම්මලාගේ සංග්‍රහ ගැන පුදුම වෙලා. වෙඩින් එකකුත් අරන් මෙච්චර කළාද කියලා.
දෙසැම්බර් 03 සෙනසුරාදා
හෙට යන්න කුසල් උදේ ඉඳන් සැරසෙනවා. අම්මා නිකන් දුකෙන් වගේ. මගේ අම්මලා නම් සතුටින් අපි එනකල් බලා ඉන්නවා. ඇත්තටම මට මෙහෙන් යන්න දුකයි.
අපේ ගොදර තරම් ලස්සන නැති වුණත් හරිම පිළිවෙළට අස් කරලා තියෙන මේ ගෙදර අපි ගියාම ජරා වෙයිද? මෙහෙ අම්මත් වයසයිනේ. ඔය ගෙවල් හරියට අතුගාලා තියෙන එකක් නෑ. ඉස්සරත් ඔහේ තිබුණා කියලා කුසල් කිව්වේ. මේ මං එනවට අම්මයි පුතයි උපරිමයෙන් ගෙදර හැඩ කරලා. ඒත් ඉතිං අපි යන්න ඕනෑ නේ. මෙහෙ ඉඳන් කුසල් කොහොම වෑතර ඉස්පිරිතාලෙට යන්නද?
Leave a comment