නිරූපණය හැමෝටම කරන්න බැහැ

ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ හිරුගේ කිරණෙන් හා මවගේ කිරෙන් යැයි මැක්සිම් ගෝර්කි ද පවසා ඇත්තේ හිරු කිරණ සහ ලෝකය අතර සබැඳියාව කියාපාමින්. ඒ නිසාවෙන් අලුත් අවුරුදු උදාවේදී සූර්යයා නියෝජනය කරමින් අවුරුදු කුමරෙකු අභිසෙස් ලබයි. මනා හැඩහුරු කමින් වගේම හොඳ පෞරුෂයකින් හෙබි තරුණයෙක් මීට සුදුසුකම් ලබන්නෙත් ඒ  නිසාවෙන්. මෙවර සිරිකත Online  කතාබහත්  එවන් අවුරුදු කුමාරයෙක් සමඟ. 2023 සී.ජේ අවුරුදු කුමාරයා ලෙස අභිසෙස් ලැබූ  ඔහු නමින් ළහිරු අධිකාරි.

 

ඔබ ගැන විස්තරයක් කියන්න පුලුවන් ද ?

මම ළහිරු අධිකාරී. මගේ වයස අවුරුදු 24 යි. මේ වෙනකොට මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා.

 

අලුත් තොරතුරු මොනවද?

2023 සී.ජේ අවුරුදු කුමාරයා බවට පත්වීමත් සමඟ නිරූපණ ක්ෂේත්‍රයට වගේම රංගන ක්ෂේත්‍රයටත් ආරාධනා ලැබුණා. දැනට මම නිරූපණ ක්ෂේත්‍රය හදාරමින් ඉන්නවා.

 

ඔබ මේ ලෝකෙ වැඩිපුරම ආදරය කරන කාන්තා චරිතය කවුද ?

මෙලොව එළිය දකින ඕනෑම අයෙක් මුලින්ම දකින කාන්තා චරිතය අම්මා. කාන්තාවක් විදියට මම වැඩිපුරම ආදරය කරන කාන්තා චරිතය මගේ අම්මා.

 

ඔබ කාන්තාව දකින්නේ කොහොමද?

කාන්තාවක්ට පුළුවන් පිරිමියෙක්ව ඉහළට ඔසවා තබන්නත් පිරිමියාව පහළට ඇද දමන්නත් . ඒ වගේම කාන්තාව හොඳම දේවල් දකින සහ පිරිමියාට ශක්තියක් වෙනවා  නම් මං හිතනවා පිරිමියෙක්ට  තමන්ගෙ පවුල් ජීවිතේ වුණත් අනෙක් කටයුතු වලදිත් ඉක්මනින්ම ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් වෙනවා කියලා.

 

වර්තමාන කාන්තා විලාසිතා ගැන ඔබට මොකද හිතෙන්නෙ?

විලාසිතා කියන දෙයට පෞද්ගලිකව මම ගොඩක් කැමති කෙනෙක්. විලාසිතා කරන්න ගැහැණු ද පිරිමි ද කියලා බේදයක් නැහැ. විලාසිතා කියන දේ අපේ රටේ සංස්කෘතියත් එක්ක වගේම රටින් රටටත් වෙනස් වෙනවා. දේශගුණික දේවල් එක්කත් විලාසිතා කියන දේ වෙනස් වීමට ලක්වෙනවා. වර්තමානයේ දිහා බලනකොට විලාසිතා   ඇත්තටම හොඳයි. මම ඒක වරදක් විදියට දකින්නෙ නැහැ.විලාසිතාවක් කෙනෙක් ඇහැට දකිද්දි ආකර්ෂණය කරගන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව ආසයි විලාසිතා කරනවට.

 

කාන්තාවකට සුදුසු මොන වගේ විලාසිතා ද?

පෞද්ගලිකව වගේම පොදුවේ ගත්තත් විලාසිතා කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හැමෝටම හැම විලාසිතාව ම ගැලපෙන්නේ නැහැ.ඒ කෙනාගේ ස්වරූපය ,පෙනී සිටින විදියත් එක්ක විලාසිතා කියන දේ සමබර කරගත යුතුයි. එහෙම නොවුණොත් ඒක නොගැලපීමක් වෙනවා.

 

නිරූපණයට එන්න අවුරුදු කුමරා කුමරිය තරඟයකට යා යුතුම ද?

නැහැ. නිරූපණයට එන්න එහෙම තරගයක් බලපාන්නෙ නැහැ. අපි මුලින්ම ඒ ක්ෂේත්‍රය මොකක්ද කියලා හදාරන්න ඕන. නිරූපණ ශිල්පියෙක් කොහොමද හැසිරෙන්නේ කියන දේ මුලින්ම බැලිය යුතුයි. නිරූපණය කරන්න හැමෝටම  බැහැ. ඒක ලොකු වගකීමක් වගේම විශාල කැපකිරීමක්  කළයුතු දෙයක්. ඒ වගේම ඊට  අදාල උස සහ බර ප්‍රමාණයක් තියෙනවා.ඒක නිසා නිරූපණයට එන්න අවුරුදු කුමරා කුමරිය තරඟයකින් ජයග්‍රහණය කළ යුතු ම නැහැ.නිරූපණ පාසල් පවා වර්තමානය තිබෙනවා. ඒ හරහා වුණත් ඕනම කෙනෙක්ට ඉදිරියට එන්න පුළුවන්. අවුරුදු කුමරා කුමරිය තරඟයකින් ගොඩක් වෙලාවට බලන්නේ ලස්සන. නමුත් නිරූපණයට එන්න ලස්සන කියන දේ බලපාන්නෙ නැහැ.වර්තමානයේ අවුරුදු කුමරා කුමරිය නිරූපණ ශිල්පියෙක් විදියට දකිනවා නමුත් ඒක වැරදි. නිරූපණයට එන්න ගොඩක් දේවල් හදාරන්න වෙනවා.

 


ඔබේ පිටුපසත් ශක්තියක් වෙලා විශේෂ කෙනෙක් ඉන්නවද?

නැහැ .මට නම් නැහැ. නමුත් මම දකිනවා. කාන්තාව පිරිමියෙක්ට ශක්තියක් වෙලා ඉන්න අවස්ථා මම මගේ පවුල තුළ දකිනවා. එහෙම අය ඉන්නේ බොහොම අතළොස්සයි.

 

ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කෙනෙක්ද?

හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මම කරන දේවල් ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම මම ගොඩක් කැමතියි කාලයත් එක්ක යාවත්කාලීන වෙන කෙනෙක්ට. විලාසිතා කරනවාටත් මම ගොඩක් කැමතියි. එහෙම කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

 

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන යමක් කිව්වොත්?

මම "man hunt "ජාත්‍යන්තර  තරගාවලියට සහභාගි වෙනවා මේ නොවැම්බර්වල. ඒක පැවැත්වෙන්නේ වියට්නාමයේ. ලෝකයේ හැම රටකින්ම එක්කෙනෙක් ඒ තරගාවලියට සහභාගි වෙනවා. ලංකාව නියෝජනය කරලා ඒ තරඟයට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.ඒ තරඟාවලිය තුළ ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා මේ දවස් වල සූදානම් වෙනවා. මේ දවස්වල  රංගන කටයුතු වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවලුත් තෝරා බේරගෙන කරන්න තමයි බලාපොරොත්තුව. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක  වැඩකටයුතු කරගෙන යනවා සතුටින්.

 

ඒ කියන්නේ ඉදිරියේදී රංගන ශිල්පියෙකුත් ඔබ තුළින් දකින්න පුළුවන්?

මම රංගන ශිල්පියෙක් විදියටත් විදියටත්  කාලයක් වැඩ කරලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික වැඩ කටයුතුත් එක්ක මට ඒක ටිකක් අතපසු වුණා. ඉදිරියේදී දැක බලාගන්න පුළුවන් වෙයි රංගන ශිල්පියෙක් විදියටත්,නිරූපණ ශිල්පියෙක් විදියටත් .

 

ඔබ ක්‍රීඩකයෙක් විදියටත් කාලයක් දක්ෂතා දැක්වූවා නේද?

මගේ පාසල තමයි මාදම්පේ ඩී.එස්.සේනානායක පාසල.එතනින් මම පටන් ගත්තා වොලිබෝල් ක්‍රීඩාව. පාසල් කාලය පුරාවටම මම ක්‍රීඩාවේ නිරත වුණා.පාසල් මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා තියෙනවා.ඊට අමතරව මම 2018 ශ්‍රී ලංකා වොලිබෝල් කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කළා.ඒ තරඟය ජයග්‍රහණය කරලා ලංකාව ඉදිරියට ගෙන එන අපිට පුළුවන් වුණා.එවිදියට මම ගොඩක් කල් ක්‍රීඩකයෙක් විදියට කටයුතු කළා.  මම මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙන්.

 

ක්‍රීඩකයෙක් විදියටම  ඉදිරියට ගියානම් කියලා හිතිලා නැද්ද?

නැහැ. ක්‍රීඩකයෙක් විදියට පාසල් කාලයේ මට කරන්න පුළුවන් උපරිමය මම කළා. මම හිතන්නේ නැහැ ලංකාවේ වොලිබෝල් ක්‍රීඩකයෙක් ට වෘත්තීමය වශයෙන් ලැබෙන වේතනය වගේම පහසුකම් ප්‍රමාණවත් කියලා.ඒකනිසා අන්තිමේදී එක තැනකට කොටු වෙන්න සිද්ධ වෙනවා.මම ඒකට කැමැති නැහැ.


පවුලේ අයගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ වෙනකොටත්. මගේ අයියත් මේ ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙක් විදියට කාලයක් වැඩ කළා. ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ගෙදරින් කවදාවත් අපිට නීති පනවලා තිබුණෙ නැහැ . නිතරම නිදහස දීලා තිබ්බා අපිට හරි දේ කරන්න. මම හිතනවා ඒ නිසා වෙන්නැති මට කෙටිකාලයක් තුළ ගොඩක් දේවල් කරන්න හැකි වුණේ.

සටහන - නෙත්මි තෂාරා

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Previous

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Next

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

Realted Post

Leave a comment